Saturday, April 30, 2011

ලිබරල් මිත්‍යාව හා ලින්කන්ගේ අතාත්වික හැරමිට්ට



සියල්ල චාටර් ලෝකේ ලිබරල් කියන රටවල් ටික සර්ව සාධාරණ වනු ඇතැයි මට නොසිතේ. ඔය රටවල එළිපිට ඇති සාධාරණත්වය කෙනෙක් මනින්නේ ඔවුන් විසින් ම ගොඩ නැගු සාදාරනත්වයේ මිනුම් දඬු වලින්. වෙනත් රාමුවක් තුල ඔවුන් සුළුකොට තකන දේ බලවත් වීමත්, ලොකුවට සලකන දේවල් අරුත්සුන් වීමත් බලාපොරොත්තු විය යුතුයි නේද?

ලිබරල් මාකට් නාමයෙන් පසුගාමී ලොකු කොමපැනි තාක්ෂණයෙන් පෙරට ආ පුංචි කොම්පැනි වට්ටන්නට කල දේවල්, තෙල් වෙළෙන්දන් පිරිසිදු ශක්ති ප්‍රභව වට්ටන්නට කල දේවල් සාධාරණය කල නොහැකියි. මට ඔවුන් පෙනෙන්නේ කීම යොන් ඉල් කස්ත්‍රෝ ගඩාෆි වගේම තමයි. බලය වෙනුවට ධනය යොදවන කිසියම් ක්ෂේත්‍රයක ඒකාධිපතියන්.

එමෙන්ම ඉන්ටෙලිජන්ට් ඩිසයින් කල්පිතයේ විද්‍යාත්මක බව පාර්ලිමේන්තු චන්දයක් හරහා විසඳන පට්ට ලිබරල් ක්‍රමය විහිළුවක්. මෙහිදී සංඛ්‍යාත්මක එකඟතාවය නොවේ බුද්ධිමය එකඟතාවය තමයි වැදගත්.

ගැහැණියට දරු බරින් වන කරදරය නවතන්නට [ලිබරල්] උපදින්නට ඉන්න දරුවෙක් මැරීම නීති ගත කිරීම සාධාරණද? එසේ නොකිරීම සාධාරණද? උපදින තුරු ලිබරල් අයිතිය අහිමිද? අම්මට හා තාත්තට වෙන්වන්නට ඇති ලිබරල් අයිතීයෙන් සිත් තැලුම් කන දරුවන්ට, වෙනත් දරුවන් මෙන් තම දෙමව්පියන්ට එක වර තුරුළු වන්නට “ලිබරල්” අයිතියක් ඇද්ද? [මගේ දුවගේ ලොකුම විනෝදාංශයක්] එහෙනම් වෙන්වීමේ ලිබරල් අයිතිය තහනම් කරමුද? සමලිංගික මිනිසුන්ට අන්‍යයන්ට මෙන් දරුවන් හදන්නට අයිතියක් නැද්ද? එසේ හැදෙන දරුවන්ට පැහැදිලිවම අහිමි වන මව් හෝ පිය සෙනෙහස ඔවුන්ගේ ලිබරල් අයිතියක් නොවේද?

මෙතැනදී  කාට හෝ තම අයිතිය අනිකා වෙනුවෙන් බිලිදෙන්නට සිදු නොවන්නේද?

මේ ලෝකයේ සම්පත් සියල්ල අප සියලු දෙනාට ලිබරල් ව ජිවත් වන්නට ප්‍රමානවත් නැති බැවින්, දියුණු රටවල අත් විඳින [බව සිතා සිටින] ලිබරල් අයිතිය වෙනුවෙන් වෙනත් රටක අය ජිවිත වන්දියෙන් වහල්කම් නොකරන්නේද? කෙලින් හෝ වක්‍රව වන මේ වහල්කමින් උන්ට ලිබරල් නිදහස දුන්නොත් අර දියුණු රටවල ලිබරල් නිදහස අහිමි නොවන්නේද?

මිනිසාගේ සියලු ලිබරල් අයිතීන්  වෙනුවෙන් [මස් කන්නට ඇති අයිතිය ඇතුළුව] පෙනී හිටින අපට, අපේ අහරට කැප කරන සතුන්ට ඇති ජීවත්වීමේ අයිතිය ගැන හිතෙන්නේ මොකද්ද? මස් කන මා මේ ගැන අහවල් දෙයක් කරන්නද? වෙජිටේරියන් වීමෙන් වැඩේ හරි යයිද? එක ඊට වඩා ලොකු රැවටිල්ලක් නොවේද?

ලිබරල් අයිතීන් මිනිසුන්ට පමණක් සිමා කරමුද? එය ගෝත්‍රවාදී ප්‍රාථමික මතයක් නොවේද? සියලු සතුන්ගේ ලිබරල් අයිතිය අගැයු පෙරදිග චින්තනය ඔය කියන තරම් ප්‍රායෝගිකද, අවංකද? නැත්නම් ලේබල් වලට කරන රැවටිල්ලක් නොවේද?

මේ ඔක්කොටම උත්තර නැහැ නොවේ. ඔබ මනින මිනුම් දන්ඩේන් ඔබ උත්තර දෙයි. මා වෙනත් මිනුම් දණ්ඩකින්. ධනවාදීන් එකකින් සමාජවාදීන් තවත් එකකින්. කතෝලිකයින් එකකින්, බෞද්ධයින් තවෙකකින්.


සියල්ලේම පොදු සංගුණකය නම්, අප හැමෝම අප ප්‍රියකරන ලිබරල් අයිතියක් වෙනුවෙන් වෙනත් එවැනි අයිතියක් යටපත් කරන බවයි.

දුප්පත්කම නැති කරන්න ලෝකයේ ඔක්කොම සමාන කරන්නට තතනන සමාජවාදීන් ඒ තුලින් ඉතිරි ලෝකයත් දුප්පත් කිරීම කරන්නා සේ සියල්ල ලිබරල් කරන්නට බැරි බවයි මට සිතෙන්නේ. මිනිසුන් එකිනෙකා හා බැඳෙන තරම වැඩි නිසා එකෙකුගේ ලිබරල් අයිතිය අනිකාගේ වෙනත් ලිබරල් අයිතියකට කැපී යයි.

එකෙකුට  හැරමිට්ට වනන්නට ඇති අයිතිය තවෙකකුගේ නාසය අගින්  කෙළවර වන බව වගේ කතාවක් ලින්කන් ලොක්ක පවසා ඇත. මේ ලින්කන්ගේ හැරමිට්ට හුදු අතාත්වික රැවටිල්ලක් පමණි. ප්‍රායෝගික ඇත්තනම් ඕක නිකම් බිම ඇන්නත් එතනත් තියෙන්නේ තවත් නාසයක් බවයි. ලෝකය එතරම්ම පිරීගිය සම්පත් හිඟ වූ තැනකි.

4 comments:

  1. Thanks Sujeewa. This is good stuff. Appreciate the fact that you write and share. Here I go!

    "සියලු මතවාද සාපේක්ෂයි, එබැවින් මම මතවාදයක් නොගනිමි" යන්න හරිම රොමෑන්ටික්, දාර්ශනිකව ඉහල තලයක තියෙනව වගේ පේන, තත්වයක්. එනමුත් මෙහෙම කියල හුඟක් පුද්ගලයන්, ගෙදර ලමයින් එක්ක ඉන්නකොට, බිරිඳ/සැමියා එක්ක ඉන්නකොට, පාරට බැස්සහම, කඩේ ගිහින් බඩු ගන්නකොට, රැකියාව කරනකොට, චන්දෙ දාන (හෝ නොදාන) කොට බොහොම තදින් මතවාදයක් ගන්නව. එකම වෙනස, ඔවුන් තෝරාගත් ප්‍රසිද්ධ සභා වල තම මතයන් වෙනුවෙන් පෙනී නොසිටීම හා අනෙක් අය තමන් අප්‍රසිද්ධියේ කැමතිවන එම මතවාද වෙනුවෙන් කඩේ යයි කියල බලාපොරොත්තුවීම.

    මගේ මිතුරු සුජීව කොකාවල තරහ වෙයිද දන්නෙ නැහැ මම එතුමාට එහෙම චෝදනාවක් කලා කියල. ඇත්තට සුජීව මේ ලිපිය තුල අවසන් නිගමයකට ඇවිල්ල නැති නිසා, හා සංවාදයට විවෘත කරල තියෙන නිසා මම එහෙම කිව්වොත් ඒක වැරදියි. මගේ අදහස සංවාදයකට ප්‍රවේශයක් විතරයි.

    ඇත්තටම මම ලිබරල් වාදියෙක් හෝ අතීතකාමියෙක් හෝ ආගමික පුද්ගලයෙක් හෝ නොවේ. නමුත් යම් යම් දේ සම්බන්ධ තීරන ගැනීමේ දි එල්බ සිටින මතවාද මට තියෙනව. අපි දැනට එල්බ සිටින මතවාදය ගැන සාකච්ඡා කිරීමට වඩා වැදගත් වෙන්නෙ කිසියම් මතවාදයක වලංගු භාවය තීරනය කිරීමට අපි භාවිතා කරන මිනුම් දඬු මොනවාද, එම මිනුම් දඬු කොතරම් දුරකට මතවාදයෙන් ස්වයායත්තද කියන එක කියලයි මට හිතෙන්නෙ.

    තමන්ගෙ හදවතට අවංකවම තට්ටු කලහම එලියට පනින මතවාද තෝරාගන්න තමන් භාවිතා කරපු මිනුම් දඬු මොනවාද කියල මාන්නයෙන් තොරව විමසා බලන්න පුලුවන් නම් මෙම සංවාදය ප්‍රායෝගික වෙනව.

    සාකච්ඡාවක් මේ වගේ තල වලට යනකොට අපිට "දැනුමේ ස්වභාවය" (epistemology) වගෙ දේවල් ගැනත් කතා කරන්න වෙනව. නමුත් ඒ තරම් ලොකු වචන භාවිතා කලත් නැතත් අන්තිමට අපි ඔය දෙවල්ම කතා කරාවි. මානව සමාජය මේ කරුනු සාකච්ඡා කලේ අද ඊයෙක නොවේ. අපි මේ සාකච්ඡා කරන්නෙ අලුත් දෙයක්ම නොවේ. නමුත් සාකච්ඡා කිරීම වැදගත්.

    ඉතින් කතාකරනවා නම් අපි මතවාද ගැන නොවේ, මිනුම් දඬු ගැන කතාකරමු. (කතාකරමු කියල පටන් ගත්තට මට මේ සංවාදයට එතරම් සක්‍රීයව සහභාගි වෙන්න බැරිවෙන්න පුලුවන්, කාලවේලා ප්‍රශ්නය නිසා)

    ReplyDelete
  2. අඩවියට ගොඩ වදින්නට බැරි වූ බව කියන අරුනිට මොකද වුනේ කියල හොයා ගන්න අමාරුයි. නිකම් චැට් එකේ කොමෙන්ටුවක් දාපු ටිජි ටත් ඒකම වුනාද දන්නේ නැහැ. ඒ දෙන්න කියපු කතාවලට සාධාරණ උත්තර ඉදිරි සටහනකට ගොනු කරමු. දැනට කෙටියෙන්.

    අරුණිගේ අඩවියේ ඇය කියූ සේ ම මගේ මතය වුනේ ලිබරල් කියන පොදු කුලකය තුල විවිධ කාල වල එක්වූ අදහස් වල අසංවිධිත බවත්, අතාත්වික බවත්, සුරංගනා කතා ගතියත් පෙන්නා දීමයි. ලිබරල් වාදියෙකුට දෙන්න තියෙන හොඳම ක්‍රියාකාරකම තමයි ඉන්දියාව වගේ තැනක තම මුලධර්මය සාධාරණව කරන හැටි පෙන්නා දෙන්න කියන එක. මා ලිබරල් විරෝධියෙකු නොවේ. ඒත් ලිබරල්වාදය ෆැන්ටසියක් රවටා ගැනීමක් සහ 100%ට කල නොහැක්කක් බව පෙන්නා දීමයි මට ඕනේ වුනේ. මෙහිදී ඇතැම් කරුණු ආන්තික වැඩි වුවා මෙන්ම ඇතැම් කරුණු වලට සංඛ්‍යා ලේඛන දාලා නැහැ. හැකි වෙලාවක එවැනි දෙයක් කරන්න බලන්නම්.

    ටීජි; වැඩිපුර දැනුම සොයා මිනිසුන් ඇමරිකා යන්නේ එය ලිබරල් නිසාම නොවේ. දැනුමේ උපරිමයට එය පැමිණ ඇති නිසා. චීනයේ පිඑච්ඩි කරන්නේ සමාජ වාදීන් ම නොවේ. කොටින්ම මගේ සටහන ඇමරිකන් විරෝධී එකක් නොවේ. ඇමරිකන් කියා තනි දෙයක් නැහැනේ. මගේ සටහනින් ඇතැම් මතවාදයක් විවේචනය වුවාට එය පවා සහමුලින් අත් හරින්න කියා කියන්නේ නැහැ.

    RJ; මා නිතර උත්තර නොලියන්නේ වැඩ නිසා. හැකි පරිදි උත්තර දෙන්නම්.

    පළමුව, "සියලු මතවාද සාපේක්ෂයි, එබැවින් මම මතවාදයක් නොගනිමි" කියා මා කියන්නේ නැහැ. එහෙත් සියලු මතවාද අසම්පුර්ණ හා අඩුපාඩු සහිත වන අතර මා තීරණ ගන්නේ තනිකර ඉන් එකක එල්බ ගෙන නොවේ. ඇතැම් තීරණ වලදී ඇතැම් මතවාද ගැන වැඩි බරක් දෙන්නේ එ සම්බන්ධ අවශ්‍යතා වල වැඩි බලපෑමක් ඇති වුනොත්. මතවාද වලින් වියුක්ත නොවුනාට මතවාද වල එල්බ ගන්න අවශ්‍යත් නැහැ නේද?

    මා ගත් මතවාද මා හංගලා නැහැ. යුද්ධය ගැන මගේ මතය වත්මන් රජය ගැන මගේ මතය මේවා පැහැදිලිව අරගෙනනේ චන්දෙ දාන්නේ. මං ඒවා හන්ගලත් නැහැ. එක මතයක ම ඉඳලත් නැහැ. යුද්ධය වවාගෙන කන 2000 මා දරපු මතය සාමය වවා ගෙන කන 2005 වෙනකොට වෙනස් වෙලා.

    සමහරු මෙහෙම නැතුව තනි මතවාදී "ගැට්ටක්" අල්ලන ඉන්නවා [උදාහරණ අපි හැමදාම "සාමෙට තමයි"]. ඔන්න ඔය අය යි කියන්නේ "මා සමාජවාදියෙක්", "මා ලිබරල් වාදියෙක්" කියලා. මං කොහොමද අහවල් වාදියෙක් වෙන්නේ. මං වෙනස් වෙනවා. හැම වෙලේම යම් % ක් ඔය කොයි වාදෙත් මගේ තියෙනවා. 100% කියන්නේ අනන්තය වගේ එකක් නෙ. මං එතෙන්ට එන්නේ නැහැ.

    හැබැයි මේ සටහනේ මගේ "වාද රහිත" බව ගැන සඳහන් වන්නේ නැහැ. එමෙන්ම මා ගැනත් නැහැ. අනික මේක විවෘතයි. ලිබරල් කියා හැර පද්ධතියක් හඳුන්වන කෙනෙකුට පුළුවන් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මං කියන්නේ නෑ උත්තර දෙන්න බැහැ කියලා. ඒත් එහෙම දෙන්නෙක් ආවොත් දෙන්නේ උත්තර දෙකක් වෙන්න පුළුවන්. එ දෙකේම තියෙන්නේ සර්ව ලිබරල් වූ දෙයක් නොපවතින බව. ඕකයි මගේ හරය. මා මතු කලේ සර්ව ලිබරල් වෙන්න බැරි පැරඩොක්සියන් සමුහයක්.

    [[නමුත් යම් යම් දේ සම්බන්ධ තීරන ගැනීමේ දි එල්බ සිටින මතවාද මට තියෙනව.]]

    එක මොහොතකට නම් ඇත්ත. ඒත් දිගටම ඇයි "එල්බ ගෙන" ඉන්නේ. "එල්බ ගෙන" කිව්වේ ප්‍රතිවාදී කාරනා පෙනෙද්දීත්, ඊට එරෙහිව යමින් එල්ලිලා ඉන්නවා කියන එක ද?

    [[තමන්ගෙ හදවතට අවංකවම තට්ටු කලහම එලියට පනින මතවාද තෝරාගන්න තමන් භාවිතා කරපු මිනුම් දඬු මොනවාද කියල මාන්නයෙන් තොරව විමසා බලන්න පුලුවන් නම් මෙම සංවාදය ප්‍රායෝගික වෙනව.]]

    හදවතින් මතවාද තෝරනවා කිව්වම එන්නේ හැඟීම්බර ව පෙර නිගමන වලට එනවා කියන ඒක. වඩා හොඳ නැද්ද කරුණු දිහා බලලා ප්‍රායෝගික වූ උත්තරයක්‌ හොයන එක, ඔබ දන්නා සියලු මතවාද ඇසුරින්. ඒක 35.78% සමාජවාදී, 40.33% ධනවාදී, 84.751239837273%ක් ලිබරල්, 17.11 % ජාතිකවාදී වෙන්න ඇති [එකතුව 100% නොවෙන්නේ ඇයි කියලා දන්නවා නේද?]. "හූ කෙයාස්‌" !!

    [[ඉතින් කතාකරනවා නම් අපි මතවාද ගැන නොවේ, මිනුම් දඬු ගැන කතාකරමු]]

    ඔබ දුටුවාද මන්දා මා මෙතන කිව්වෙත් මිනුම් දඬු ගැන කතාව මිස නිරපේක්ෂ මතවාද නැති බවයි. එමෙන්ම මිනුම් දඬු 100%ක් සාධාරණව සැමට ගැලපෙන්න හදන්න බැහැ.

    මේ අඩවිය ලිබරල් වාදය හෝ සමාජවාදය ගැන කතා කරන්නට වෙන්වූ එකක් නොවේ. ඒත් මේවා නැවත අපි කතා කරමු. ඉඩ ලැබෙන හැටියට.

    ස්තුතියි තුන්දෙනාටම මෙහි ගොඩ වැදුනාට.

    ReplyDelete
  3. Hello Sujeewa!

    ReplyDelete
  4. ආයුබෝවන් අරුණි. ස්තුතියි ආවාට.

    ReplyDelete