Sunday, April 22, 2018

කඩදාසි සෙල්ලිපි

මම පොත් කියවන්නේ අඩුවෙනි. කියෙව්වොත් සයි ෆයි පමණි. ඒ ද ඉස්සරය. කසාද බඳින්නට සහ ගෙදරට නෙට් ඇක්සස් ලැබෙන්නට පෙර කාලෙය. මෑතදී කියවීමට ගත් උත්සහ බොහෝ සෙයින් ව්‍යර්ථ විය. කරන බාග කියවීම් සයිබරයේය.

මට කඩදාසි පොතක් ලියන්නට නම් මලාට නොසිතේ. සයිබර පොතක් [කින්ඩ්ල් වැනි] ලියන්නට සූටි ආසාවක් ඇත.

කියවීම සම්බන්ධ කාරණා මත සෙට් වන මගේ ලාංකීය නොවන මිතුරන් අතර විසි ගණන් වල ඉන්න උන් කඩදාසි පොත් කියවන්නේ නැත. උන් පොත් කියවීම් කියන්නේ පොත වොයිස් එකකින් කියවෙන ලෙස දාගෙන එදිනෙදා වැඩ කිරීමයි. හතලිස් පනස් ගණන් වල උන් කඩදාසි පොත් කියවා ඇත්තේ උන්ගේ විසි ගණන් වලදී ය.

කඩදාසි පොත් ලියන මගේ මිතුරියක් අද කියූ පරිදි සත් වසරක ඇගේ ලේඛන උත්සාහය විකිණී ඇත්තේ කොපි 2000 කි. මීට ටික දිනකට පෙර කඩදාසි පොත් ලියන තවත් මගේ මිතුරෙක් එවැනිම ඉලක්කමක් පළ කළේය.

මිනිස්සු කඩදාසි පොත් කියවන්නේ නැත්තේ උන්ගේ අමන කමට අධම කමට නොවේ. ඒක ඔය රටේ අවුලක් නොවේ. මිනිසුන් කඩදාසි පොත් කියවන්නේ නැත්තේ ඒ කාල ස්ලොට් එකට වෙනත් දේ ආ නිසාය. දර්ශීය උදාහරණය ලෙස මා ම සැලකුවොත් ඒ කාල ස්ලොට් එකට මට බිරියක් දරුවෙක් කුටුම්බයක් ඒ සියල්ලට වඩා අන්තර්ජාල සම්බන්ධයක් ස්මාට් ෆෝන් එකක් ලැබී ඇත. ඉස්සර කෝච්චියේ පොත් කියවූ මුත් ඒ කාලයට ද කෝච්චියේ ෆේස්බුක් කියවීම බාධා කරයි [පහුගිය සති දෙකේ ඔබ සියල්ලන් මගේ වෝල් එක මත දමන සැරසිලි ඉග්නෝ කර අමාරුවෙන් එක පොතක් කියවන්නට සමත් වීමි].

මිනිස්සු කඩදාසි පොත් කියවන්නේ නැත්තේ කඩදාසි පොත් උන්ගේ දින චරියාවට ෆිට් නොවන නිසාය. කියවන්න වෙනත් විකල්ප ක්‍රමවේද තියෙන නිසාය. ඒ අතර කඩදාසි පොත් කියවන්නෙක් වීනම් ෆේස්බුක් ඉග්නෝ කර කෝච්චියේ කියවන මාවැනි එකෙක් පමණි. පබ්ලික් ට්‍රාන්ස්පෝට් විනාඩි 45 පැය වගේ කාලයක් රස්තියාදු වෙන එහෙත් ඉඳගෙන කියවන්න තරම් සුවපහසු සිඩ්නි වැනි තැනක පමණි.

මේක සමාජයේ රටේ හෝ නව පරපුරේ අමන කම ලෙස කියන්නට කීප දෙනෙක් උත්සහ කරනු ඇත. ඒ සියල්ලන් හතලිස් පනස් හැට දශක වල ඇත්තන් බව ඔවුන්ට සිහිපත් කල යුතු වේ.

ලංකාවේ සමාජයේ උගත්කම ඉහල සාක්ෂරතාවය සහ කඩදාසි පොත් අතර ඇති සම්බන්ධය ඔබ සිහිපත් කරනු ඇත. ජාතික මට්ටමේ පොත් සල්පිලක් වාර්ෂිකව කරන ආගමික රිචුවල් වැනි පොත් දොරට වැඩුම් කරන රටකි ලංකාව. එහෙත් ඒ සියලු තැනට එක්රැස් වන්නේ සමස්තයෙන් සුළු පිරිසකි. එක්කෝ ඉහල වයස් පරපුරු වල කඩදාසි පොත් වලට බැඳුනු නොස්ටල්ජීය ආදරයක් ඇති අයයි. නොවේනම් කළා අංශයෙන් ඉගෙන තවම ලංකා ඉපැරණි සිලබස් නිසා දශක කීපයක් පස්සෙන් ඉන්න අයයි. එහෙමත් නැතිනම් විවි හෝ වෙනත් මගින් කිසියම් දේශපාලන කල්ට් එකකට පිළිපන් අයයි. මේ සියල්ලේ සමුච්චිත පලය ලෙස මගේ හිතවතියට පොත් 2000 ක් සහ මගේ හිතවතාට තවත් එවැනිම ගණනක් විකුණා ගත හැකි විය.

ඔබ දෙදෙනාම මේ ඉලක්කම් වලට ස්තුති වන්ත විය යුතු වන්නේ ඔබ කරන ක්‍රියාව වත්මන් ජීවන රටාවෙන් ඉවත් වූ දෙයක් බැවිනි. ලංකාව සෙල් ලිපි ලිවීමේ ඉදිරියෙන් උන් රටක් වුවත් දැන් ඔබ සෙල් ලිපි ලියා කඩේ වික්කොත් ඒවා කියවන්නේ පුරා විද්‍යා ලෝලීන් පමණි, ඔබ ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.

මිනිස්සු දැන් පොත් කියවන්නේ වෙන වැඩක් කරන ගමනය. ඒ ෆෝන් එකේ ඇප් එකක එය කියවෙන්නට දාලා ය. ඔබේ පොත් එතනට තවම පැමිණ නැත.

ඇමසන් කින්ඩ්ල් ගැන ලියන්නට ගොහින් දැනගත් පරිදි ඔබේ සිංහල ලියමන් වලට තවම එතනට එන්නට තාක්ෂණය නැත.

මේ නිසා විය යුත්තේ ලේඛකයින් සහ ප්‍රකාශකයින් මේ යුගයට ගැලපෙන තාක්ෂණික ගැප් එක පියවා වර්තමානයට ගැලපෙන සේ "පොත්" පළ කිරීමයි. ඒ සඳහා වෙහෙසීමට අවශ්‍ය ශක්‍යතාවය ඔබට ඇත. උදාහරණයකට සිංහල යුනිකෝඩ් නිර්මාණය කලේ වසර 12 කට පමණ පෙර ස්වෙච්චා වෘත්තික සමූහයක් විසිනි.

මේ අවු අස්සේ ඔබටම ගැලපෙන ඔබේම යහපාලන රජය මේ අමාරුවෙන් කඩදාසි පොත් ලියන පළ කරන විකුණන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හිඟන මාකට් එකෙන් 14% වගේ ගානක ටැක්ස් එකක් ගහයි. මෙය මේ රජයේ බංකොලොත් බව ගැන කදිම සාධකයකි [රජය එය පත්කළ ජනයාගේ ප්‍රතිමූර්තියකි]. එහෙත් ඊට එරෙහි වෙනගමන් උන්ට උන්ගේ ගල් යුගයේ ටැක්ස් එක තියා ගන්න දී ඔබ කඩදාසි පොත් වෙනුවට නව ප්‍රකාශන ක්‍රමවේද කරා සංක්‍රමණය වන්න. ඒ සඳහා මේම නව බද්ද හේතුවක් කරගන්න.

1 comment:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_840.html

    ReplyDelete