Sunday, March 26, 2017

බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ

බ්ලොග් සම්මානයක් ගැන ලොකු කතාවක් යනවා, මේක ලියන්නේ වෙනද වගේ කොන් නොවී ඉන්න නෙවි. මේක මගේ දරදඬු දේශපාලන මතයක් එක්ක ලියන එකක් 

මේක වුණේ අදට වසර හතකට කලින්. එවකට ලංකාවේ නායකයා වුණේ මහින්ද රාජපක්ෂ. ඒ කාලේ තිබ්බ මහින්දගේ යුද වැඩසටහනෙන් කැඩිලා ආපු මානෙල් මල් වියාපාරේ කියල එකක්. ඕක දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ. 2010 විතර ඔවුන් පටන් ගත්ත සම්මාන උළෙලක් තියල බ්ලොග් කාරයින්ට සම්මාන දෙන්න. ඕකත් දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ.

පළවෙනි සම්මාන වටේ පට්ට, ටැබූ ට සම්මානයක් දීල තිබ්බ පට්ට දේශපාලන බ්ලොගා ලෙස. සුපුරුදු පරිදි අතත්යභාවය ගැන ලොරි ටෝකක් දීල පොර ආවේ නැහැ. හැබැයි පස්සේ ලියල තිබ්බ ප්‍රේක්ෂකයෙක් ලෙස ගිහින් දැක්ක ටික වෙනම. රසිකට දීල තිබ්බ නොස්ටල්ජීය ආත්ම ප්‍රකාශනය ගැන සම්මානය. චාමි ව්‍යන්ග රචනය සහ පැරඩි අංශය දින්න. සූර්යාලෝකයට නිරාවරණය වුනොත් වාෂ්ප වෙන්න තියෙන අවදානම නිසා චාමි ආවේ නැහැ, විපුලව එවල තිබ්බ [ඒ වෙද්දී ඌ අබිනිස්ක්රමනේ කරලා නැහැ]. මේ අය විතරයි මතක මුන් මගේ ෆේවා හින්දා. තව තිබ්බ හෙළ බ්ලොගා කියල එකක්, ත්‍රස්ත විරෝධී නිර්මාණය අරක මේක. මානෙල් මල් එකේ නේ.

පළවෙනි එකේ ප්‍රධාන අමුත්තා කාලෝ ෆොන්සේකා. දර්ශනය රඹටි හැලෙන්න දාලා කාලෝ දුන්න දේශනෙකුත්. පට්ට.

ඕක අවුරුදු කීපයක් කෙරුනා. 2012 වෙද්දී සම්මාන උළෙල කරපු කට්ටියගේ නම වෙනස් වෙලා තිබ්බ නිල් බලකාය කියල. 2012 පොඩි සීන් එකක් වුනා රසික එක්ක. මොකද කිසිම කෙනෙක් නොදැන සම්මාන ලබාදෙන වෙලාවේ සම්බාවනීය අමුත්තන් අතර ඉඳල තිබ්බ අර රගරුත් ගහන චන්දෙත් ඉල්ලන රාජපක්ෂ බුවා. දීර්ග කාලින බ්ලොග්කරණය පිලිබඳ ස්වර්ණ ස්පේස් බාර් සම්මානය ගන්න ගිය රසික මේ ගැන පොඩි කොක්කක් ඇද ගෙන. රසිකට සාමාන්‍යයෙන් ඔය වගේ "කුප්‍රකට" දේශපාලක ඩයල් වලින් සම්මාන ගන්නවා තියා එකම වේදිකාවේ ඉන්න පවා අපුලයි කියල අපි දන්නවානේ. මේ කේස් එකේදී ඉවෙන්ට් ඕගනයිසර් කියල තිබ්බේ අපි නිල් බලකාය අපි අපේ ආරාධිතයෝ තෝරන්නේ ඔහෙට පාන් ද කියල. රසිකහේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා ආයි නිවාඩුවට ආවම හම්බෙමු කියල අමු සීන් එකයි. ඕක ගැන චාමි මොකද්ද කතාවක්   ලියල චාමිය වෙනුවට එදා ආපු විපුලය පස්සේ මොකද්ද වාහනයක් නිතර පන්නන සීන් එකකුත් උනා, අබිනිස්ක්රමනෙට හේතුවක් වුනා මගේ හිතේ ඕක.

ඔය සීන් එකෙන් පස්සේ බ්ලොග් වල ගිය සංවාද වල ඉස්මතු වුණේ තාරක පලන්සූරිය කියන චරිතේ. පොර තමා මානෙල් මල් එකේ ඉඳල මේක ඔගනයිස් කල ඉවෙන්ට් ඕගනයිසර්, පොර බ්ලොග් ලියලා නැහැ. ඉවෙන්ට් එකට අවශ්‍ය කීපයක් ඇරෙන්න කියවලත් නැහැ. එහෙත් මේ වෙද්දී පොර මේ සීන් එක ගැන වලි යන එව්වට කොමෙන්ට් ලිව්ව. 


වැඩේ උග්‍ර වුණේ 2013 උළෙලේ. ඒ පාර වෙද්දී සම්මාන දෙන්න ආවේ සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි කියන පළාත් සබා මන්ත්‍රී. මේ මහින්ද ලා බ්ලොග්කාරයින් මරලා දාපු කාලේ. සතිස් බුවා මේ වෙද්දී බ්ලොගාලා හතලිස් නව දෙනෙකුගේ ජීවිත වලට වග කිව්වා කියා චෝදනා තිබ්බ. [එහෙම මරල නැහැ, කොටින්ම සතිස් කියල එකෙක් හිටියෙත් නැහැ කියලත් කතා තියෙනවා. එව්වා සංවාදයට විවෘත දේවල්]

ඔක්කොම සීනියර් බ්ලොග්ගු [කිව්වේ පරණ එකාල] ගියේ නැහැ. ඒ වුනාට අලුතෙන් පිබිදෙන පුංචි බ්ලොග් කැකුළු එකතු කරගෙන වැඩේ කරගෙන ගියා. නොගිය උන් කීපයක් වහෙන් ඔරෝ ලිව්වත් ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු.

ඇත්තෙන්ම මේක ආයිත් වෙන්නේ නැහැ. 2015 අපි ඒ යුගය නිමා කලානේ, ආයිත් මෙහෙම තත්වයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. අපිට මාර ෂුවර් ඒ ගැන. ඒ නිසා මේක දැන් පරණ සීන් එකක්. මේ බ්ලොග් සම්මාන උළෙල මිසක් වෙන එකක් ගැන නොලිව්වේ එව්වා ගැන ලිව්වොත් කට්ටියට නොතේරෙන නිසා. 


බ්ලොග්  ලෝකෙට  අලුතෙන්  ආපු අය  සීරියස්  ගන්න  ඉඩ  තියෙන  නිසා කියන්න  ඕනේ.  මේක  වෙච්ච  දෙයක්  නෙවි. හදාපු  කතාවක්. හැබැයි  මෙතෙක්  නොවුණට හෙට වෙන්න බැරි  නැති  එකක්.

කොටිම්ම ඔය  මානෙල්  මල්  එකෙන්  ඔහොම  සම්මානයක්  දුන්නද  නැතිනම්  මෙව්වා  හදල  ලිව්වද  කියන  එකත්  අදාළ  නැහැ.  අදාළ  වන්නේ ඕනෑම තත්වයක ඕක  වෙන්න  පුළුවන්  බවයි. මල මොකද්ද දේශපාලන  ප්‍රවාහය  මොකද්ද  කියන  එක  වෙනස්  වෙන්න  පුළුවන්.


දැන් මෝරල කොලම මොකද්ද? බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ. ඕකයි කතාව.

මේ මුළු කතාවම දේශපාලනිකයි. බ්ලොග් ලිවීම තුල දේශපාලනයක් පවතී කියා හිතන දේශපාලන වැඩසටහන් තියෙනවා. ඒ දෙවැනි දේශපාලන වැඩ සටහන් වලට දිගටම ඒ අවකාශය තුල පැතිරී එහි අයිතිය දරන්න ඕනේ වෙනවා, සරල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ සඳහා බ්ලොග් කරණයේ මධ්‍ය ලක්ෂය අවශ්‍ය වෙනවා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ස්පොන්සර් කරන්න අවශ්‍ය වෙනවා.

හැබැයි බ්ලොග්කරණයේ මධ්‍ය ලක්ෂයක් නැහැ. මේක ලෝක බෝලේ වගේ ගෝලයක්. කැරකෙන්නේත් නැති නිසා මැද්දක් කියල එකක් නැහැ. හැම එකාම ඌ ඉන්න තැන මැද්ද කියා හිතාගෙන ඉන්නවා. ඒකයි මේක නිදහස් කියන්නේ. මේ සිදුවීමෙන් වෙන්නේ කෙනෙක් මේ බෝලය කරකවලා ධ්‍රැවයක් හදලා මධ්‍ය ලක්ෂය නිර්මාණය කිරීම. කාලෙකින් ඒක කැරකෙන්නේ එතන වටේ. 

අන්න ඒ දවසට සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි ඇවිත් සම්මාන දුන්නත් අපිට මොකුත් කියන්න බැහැ. ඇත්තෙන්ම කිව්වත්  කවුරුත් අහන්නේ නැහැ. බෝලේ කැරකෙන්නේ මධ්‍ය ලක්ෂය වටේ. අපි වටේ නොවේ.


පුද්ගලිකව මේ කාටවත් මගේ විරෝධයක් නැහැ, පරණ හිතවත්කම් එලෙසින්ම පවතී කියා හිතනවා. හැබැයි මම හිතනවා සම්මාන නොදිය යුතුයි කියල. නොගත යුතුයිත් කියල. මේ විවේචනය බ්ලොග් සම්මාන දීම ගැනීම එහි අභ්‍යන්තර දේශපාලනය ගැන විනා ගත්ත එවුන් දීපු එවුන් සම්මාන දෙන්න ආපු එවුන් වගේ සිල්ලර කරුණු ගැන නෙවි. 

මෙහෙම කිව්වම නිදහස සීමා වෙනවා සම්මාන දෙන්න සහ ගන්නත් නිදහස අවශ්‍යයි කියල මට විවේචනයක් එන්න බැරි නැහැ. ඕනෑම දෙයක් කරන්න, විවේචනය කරන්න, ඒ විවේචනය විවේචනය කරන්න ආදී ලෙස බාබර් සැලුන් එකේ සමාන්තර කන්නාඩි දෙක ඉස්සරහ අනන්තය දක්වා තියෙන නිදහස හැමෝටම තියෙනවා. ඉතින් මේ අපි කියන මතය. මේක කිව්වම අහිංසක බ්ලොග් කැකුළු වල සම්මාන වලට අවනම්බු වෙනවා වගේ කතානම් කියන්න එපා. අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ.


ආයිමත්, බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ 

සම්මාන දිනා ගත්ත අනාගතේ දිනා ගන්න හැමෝටම මගේ සුබ පැතුම්.

Wednesday, March 15, 2017

ලෝක සම්මතයේ පාටියට හොරෙන් කඩා පැනීම

කුඩා කාලයේ මා  ඇසුරු  කළ  පොතපත  අතර  වැඩියෙන්  තිබ්බේ  රුසියන් පොත්ය.  නිවෙස්  වලට  නොමිලේ  බෙදු සෝවියට්  දේශය  පොත  "ලෝකය  ගැන  දැනගන්නට තිබු"  එක  ප්‍රධාන  දොරටුවක් විය. බයිකල්  වෙරළක, යුක්රේන් ගොවිබිමක, උස්බෙකිස්ඨාන  කපු බිමක සොඳුරු පින්තුරවලින් අපේ  ළමා  සිහින  පිරවූ සෝවියට්  දේශය සඟරාව   කොමියුනිස්ට්  වාදයෙන්  අපට  වඩා  මදක්  වියපත්  පරපුරට බලාපොරොත්තුවක් දුන්නේය. ඒ  කිසිවක්  කුලාක් නමින් සිදුකල ඝාතන  ගැන  හෝ සිරකරුවන්ගේ  මල මිනි වළලා දැමීම  නිසා අද "මිනි  ඇට පාර" ලෙස  හඳුන්වන  සයිබීරියාවේ  කොල්මා  හයිවේ එක  ගැන කතා  කලේ  නැත. අප  ලද ඒ  ලෝක  දැනුම  හුදු  ෆැන්ටසියකි.

ලංකාදීපයෙන්  අපි  වික්ටර්  හාරා  ගැන  කියෙව්වෙමු. සිංහල පොතේ කැප්පෙටිපොලයන්  සුද්දාගේ  ආයුධ  අහක  දමා  හටන්  කළ  හැටි  කියා දුන්නේය. 
නන්දා සුනිල් දෙපල වම  සහ  රට  ජාතිය ගැන  කියා  දුන්හ. ඉන්දියන් බුද්ධිය   රට  හැර  ගලා ගොස්  බටහිර  ප්‍රාග්ධනය  පැකට්  කර  රටට  එවද්දී නන්දා සමග  අපි  සරුංගලේ  වරල්  සැලේ  ගැයුවෙමු.

අපේ  මුරලි  ලෝකය  දෙවනත්  කලේ  අමුතු  අතකිනි. අපේ මාලිංග  ස්ටම්ප්  කුඩු  කලේ  අමුතු  ඇක්ෂන්  එකකිනි.  විසල් ක්‍රිකට්  ලෝකයක  මිලියන  විස්සක්  වූ  අප ඒ ක්‍රිකට්  ලෝකයේ  අසාමාන්‍යතා  තොග වශයෙන්  නිපදවන්නෙමු.

මේ  කිසිවක් වැරදි  ලෙස  නොදකිමි.  එහෙත්  මුළු  කතාවෙන්  ගන්නට  ඇති  දේ  නම්  අපි අසාමාන්යතාවය  හඹා  යන  පිරිසක්  බවයි.  අපි  පද්ධතිය ප්‍රතික්ෂේප  කරන්නෙමු.  අපි  පද්ධතියට  පිටින්  අමුතු  යමක්  තනන්නට  වෙර  දරන්නෙමු.  අපි  පද්ධතිය  නොතනන්නෙමු.  අපි  ක්‍රමයට  විරෝධී  වන්නෙමු.

මේ  ක්‍රම  විරෝධය  එලියට  එන්නේ  වසරක්  පාසා  රතු  පටි  බැඳගෙන  චේ  වගේ මෝටර්  බයික්  පදින  ලාංකීය  කොලු  කෙල්ලන්ගෙන්  පමණක්  නොවේ.  ඒ  එළිපිට  අපි  දකින  ක්‍රම  විරෝධයයි.  ඊට  වඩා  අභ්‍යන්තරික  ක්‍රම  විරෝධයක්  අපි  බොහෝ  ලාංකිකයන්ගෙන්  දකිමු.

ලාංකිකයෝ  තාක්ෂණික  විෂය  මූලික  ක්ෂේත්‍රවල  කෙල  පැමිණියද  දක්ෂ  ඉංජිනේරුවන්  වෛද්‍යවරුන්  බිහිකළ  ද,  ලාංකිකයන්  අතරින් ඉදිරි පෙළ  මැනේජර්  වරුන්  පාලකයන්,  සාමාන්යධිකාරින්,  ව්‍යවසායකයන්  බිහි  වී  නැති  තරම්ය.  තාක්ෂණික  හෝ  විෂය  මූලික  අන්තවල  සිටින  අපේ  විද්වත්තු ඒ  අන්ත  ගැන  සතුටු  වෙති.  මැනේජරයින් ආයතන  ප්‍රධානින්  වැනි  මජරයන්  නොවීම  ගැන  තුටු  වෙති.  රටේ ජාතික මට්ටමේ  ව්‍යාපාරික  ව්‍යවසායක  මෙහෙයුම  පාදඩ දූෂිත  වංචනිකයන්ට  ඉතුරු  කරති. අක්‍රිය  සැඟවුණු  ක්‍රම  විරෝධය  මෙයයි.  චේ වෙන්න  දඟලන  කොලු  කෙල්ලන්ට  වඩා  පද්ධතියට  හානිකර  මෙයයි.

මේ  තුලින්  මගේ  මිතුරියක්  වරක්  ඇසු ඇගේ  අසල්වැසි  ඉගෙනුමට  දක්ෂ  තරුණයා  සත්‍යා  නදෙල්ලා  නොවුනේ  මන්ද,  ඒ  වෙනුවට  පූර්ණ  කාලින  වාම  දේශපාලන  ක්‍රියාධරයෙක්  වූයේ  මන්ද  කියන  පැනයට  සහ  මගේ  තවත්  මිතුරෙක් ඇසු  කවදාවත්  ලාංකිකයෙකුට  ෆෝචුන් 500 ව්‍යවසායකයෙකු  වෙන්න  නොහැකි  වනුයේ  මන්ද කියන  පැනයට පිළිතුරක්  ගැබ්ව  තිබේ.


බටහිර ප්‍රාග්ධනය  පෙරදිග  ශ්‍රමය  සොයද්දී උන්  ඉල්ලුවේ  සරල  තත්වයන්  කීපයකි. සම්මත  කරමවේදය  සමග  යාමේ  සරල  අවශ්‍යතාවය  පමණි. ඒ තත්වයන් ලබා දුන්නේ පෙරදිග  තිබු දියුණුම  පද්ධති  පමණක්  නොවේ.  සිංගප්පුරුව තායිවානය  මැලේසියාවෙන් පටන්ගෙන දකුණු  කොරියාව  චීනය හරහා  හමා  යන  ඒ  ප්‍රවාහය අද ඉන්දියාව  බංග්ලාදේශය  බුරුමය  තායිලන්තය  වියට්නාමය  වැනි  රටවලට  ද,  ඉනුත්  නොනැවතී ඉතියෝපියාව  කෙන්යාව උගන්ඩාව රුවන්ඩාව  වැනි අප්‍රිකානු  රටවලට  ද පැතිරේ. 

ඇත්තෙන්ම බටහිර  ප්‍රාග්ධනය හරහා කාර්මීකරණය  වෙන  කතාවේ  කවුරුත්  අපව පසුකර නැත. අප  ආරම්භයේදී  ඔවුන් සියල්ලන්ට වඩා  ඉහලින් හුන් බව කීවද එය  වැරදි කතාවකි. සත්‍යය නම්  අප  කවදාවත්  ඔවුන්  සමග  එකම  රේඛාවක නොසිටි  බවයි. මේ  රටවල්  බටහිර  ප්‍රාග්ධනයට  ශ්‍රම  වෙළඳපොල  සපයද්දී   අප හිතා  උන්නේ  සහලින්  රට ස්ව්‍යන්පෝෂණය  කරන්නය.  එහෙමත්  නැතිනම්  අපේ  සහජ  දක්ෂතා  ඇති  නිර්මාණකරුවන්ගේ  [අමුතු] නිෂ්පාදන වෙන  රටවල එවුන්ට  හොරකම්  කරන්න  නොදී  අපේ  රටේ තියාගෙන  අපේ  රජයේ  ආධාරයෙන්  දියුණු කරන්නය.  අපි  උන්ට  පේටන්ට්  අරන්  ඒ  පේටන්ට්  බහුජාතික  සමාගමකට  විකුණන්න  කියා  කීවේ  නැත. අපි ලෝකයේ  සාමාන්‍ය දේ  කලේ  නැත.

අපි  සාමාන්‍යයෙන් අසාමාන්‍ය  අය  වන්නෙමු. 


අප  සතු ක්‍රම  විරෝධය  ඉච්චා  භංගත්වය  සහ  අසාමාන්‍යතාවය  එලි  දකින්නේ  විවිධකාරයෙනි.  එය  රතු පටි  බැඳගෙන  මෝටර්  බයික්  පදින  උන්ගේ  සිට  ටෙකි  පොරවල්  වී  නර්ඩ්  මුළුවල  ලගින්  උන්ගේ  සිට  මෙන්න  මෙවැනි  අමුතු  එවුන්  දක්වා  පැටලේ. ලංකා  පවුලේ  මේ  පුත්‍රයා  අද  ජාත්‍යන්තරයට  යන්නේ  අනුන්ගේ  පාටි  වලට  කඩා  පැනීමේ  කලාව  ප්‍රගුණ  කිරීමෙනි.  පාස්පෝට්  වැටවල්  සීයක්  පැනගොස්  දෙයියනේ  කියා  කාල  බීල  ඉන්න  හෝ  ඊට එහා  ගමනක්  යන්න  සීමාවක්  නැති  අවකාශයක  අපේ  එකා  ලෝකාවධානය  දිනන්නේ  ක්‍රමයට  මෙන්න  මෙහෙම  අභියෝග  කිරීමෙනි. ඒ ක්‍රියාවලිය  තුල ලෝක  සම්මත  වැදගත්  උත්සව  හා ඉතා  වැදගත් ආධාර අරමුදල් ද   අස්සෙන්  හිරිකිත  ලෙස  රිංගා  යාමට  ඔහු  සමත්  වී  ඇත. ඊට  දැරූ  මහන්සියෙන් ඔහුට මාක්  සකර්බර්ග්  සර්ජි  බ්රින්  කෙනෙක්  නොවේනම් අඩුම  ගානේ චැරිටි  එකකට  කීයක්  හෝ  එකතු  කර  දී  ලෝකයට  යමක්  කර  ලොවෙන්  නමක්  දිනන්නට  ඉඩ  තිබුණි.

මගේ  තර්කය  බිඳින්නට  සමත්  ලෝක  පූජිත  නම්  දහයක් කොමෙන්ට්  වල  කොටන්නට  ඔබට  හැකිය.  එහෙත් ඒ  එසේ  නොවන  දහසකගෙන්  කීපයකි. ලෝකයේ  වේදිකාවේ  අපට  ලයිම් ලයිට්  වදින්නේ  මෙහෙම  සිද්ධි  වලටම  පමණි. ඉතිරි  සියලු අපේ කෙරුම්  රිවිර  පත්තරෙන් හෝ  ගොසිප් කොලමකින්  අපිම  අපට  ගහගත්  ලක්ෂපාන  ටෝච් එකක්  පමණි.

කතාවේ  හැම  තැනම  ඇති  පොදු  සාධකය  නම්, බහුතර  
අපි  මේ  පද්ධතිය කෙරෙහි  තනාගත්  විවිධ  ඉච්චා  භංගත්වයෙන්  එහි  විවිධ  අහුකොන්හි  සිටිමින්  එහි  ප්‍රධාන  ධාරාවට  පය  නොතබා  අපට  අවැසි  අමුතු  පාර  හොයමින්  ඉන්න  බවයි.  අපි  මේ  පිටස්තර  මෙට්ටයේ  නොලැග  ඉස්සී  අමුතු පාරක්  බලන  කූඩැල්ලන්  බවයි.
අපි  සාමාන්‍යයෙන් අසාමාන්‍ය  අය  වන්නේ  එබැවිනි.

ප.ලි. අවංකවම  මෙහි  සැහෙන  තරමක්  ස්වයන්  විවේචනයක්  ද  වන  බව  නොකියාම   බැරිය.  මා  ද  ලාංකිකයෙක් මි.