Friday, December 29, 2017

ලංකාවේ විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරන ක්‍රමවේදය හද්දා මෝඩ ගණිතමය මිස්ටේක් එකකි

මේ බ්ලොග් සටහනේ මම වෙනස් දේවල් දෙකක් කියවන්නාගෙන් බලාපොරොත්තු වෙනවා

එකක් තමා මේ ලියන කරුණු වැරදිනම් ඒවා නිවැරදි කරන්න. දෙවනුව ඔබට හැකිතාක් මීට ප්‍රචාරය ලබා දෙන්න. මා දන්නා තරමින් මේක හරි ගස්සන්න පුළුවන් වැරැද්දක්.

මාතෘකාව වනුයේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය. මගේ මේ ගැන අත්දැකීම් පරණ සහ අසම්පූර්ණ නිසා වරදින්න පුළුවන්. හැබැයි මේ තමා මා දන්නා තරමින් උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය.

1. 40% පමණ ජාතික මට්ටමේ මෙරිට් ලිස්ට් එකකින්.

2. 5% පමණ විවිධ බාහිර ප්‍රමුඛතා

3. ඉතිරි 55% ඒ ඒ දිස්තිරික්කයේ මුළු ජනගහන අනුපාතය අනුව බෙදෙන කෝටාවකින්.

මෙතැනදී මම ෆෝකස් කරන්නේ අංක තුන හෙවත් ජන අනුපාතය මත කරන තේරීම ගැන. ඒ ඒ දිස්ත්රීක්කේ කටෝෆ් මාක් කියල එකක් එන්නේ මේ ස්ථරයෙන්.

දිස්ත්‍රික් ජන අනුපාතවලට විවි ප්‍රවේශ අවස්ථා දෙන්න තීරණය කල එක හේතුවක් වනුයේ අධ්‍යාපන අවස්ථා සෑම දිස්ත්‍රික්කයකම සමාන නොවීම. ඒ නිසා රටටම එකම කටෝෆ් එකක් දැම්මොත් පහසුකම් අඩු පළාත් වලට ලොකු ගැටලුවක් වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය සහ ජාතික පාසල් සංකල්ප තියෙන නිසා විෂමතා වැඩි වෙනවා. ඒ නිසා වෙනස් කටෝෆ් කීපයක් දිගටම තියාගන්න වෙන බව ගැන විවාදයක් නෑ.

හැබැයි දැනට අපි මේකේ අසාමාන්‍යතාවයක් දකිනවා, එනම් කොළඹ මහනුවර වැනි දිස්ත්‍රික්ක කීපයක සිසුන්ට දරාගන්න බැරි තරම් අමාරු කටෝෆ් එකක් ලැබෙන්නේ. මේ නිසා ඒ දිස්ත්‍රීක්ක වල ඉහල ප්‍රතිපල ගත්ත සිසුන්ටත් රජයේ විවි අවස්ථා අහිමි වෙනවා. මේක ලොකු ගැටලුවක්. අපි උත්සහ කරන්නේ ඊට හේතු සහ හැකි තරමින් විසඳුම් ගැන කතා කරන්න.

ඇයි මේ සමහර දිස්ත්‍රික්ක වල කටෝෆ් අසාමාන්‍ය ලෙස ඉහල යන්නේ?

1. පළවෙනි හේතුව නම් පුදුමාකාර එකක්. එය තමා මේ කරන ගණනය ගණිතමය ලෙස වැරදි නිසා. දිස්ත්‍රික්කයක පාසල් වල සිසුන් ඒ දිස්ත්‍රික්කයේ ජන කෝටාවෙන් යවන එක නිවැරදි වන්නේ ඒ ඒ දිස්ත්‍රික්ක වල සිසුන් ඒ දිස්ත්‍රික්කයෙන් පිට පාසලකට නොයන තාක් පමණයි. හැබැයි යම් සිසුවෙක් තමන්ගේ දිස්ත්‍රික්කේ නැතුව වෙන දිස්ත්රික්කෙක පාසලක ඉගෙන ගතහොත් ඒ සිසුවාගේ සහ පවුලේ ජනගහන ඉලක්කම පිරෙන්නේ එක දිස්ත්‍රික්කයක වුනාට එයා පාවිච්චි කරන්නේ වෙන දිස්ත්රීක්කයක කෝටාව.

මේකට උදාහරණයක් තමා කළුතර ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ කටෝෆ් අඩු වෙලා කොළඹ ඉහල යාම. කළුතර ගම්පහ දෙකෙන් සැලකියයුතු   සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ කරන්නේ කොළඹ දිස්ත්රීක්කේ. ඒ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල ජන සංඛ්‍යා  කළුතර හෝ ගම්පහ කෝටා ඉහල දැම්මට ඔවුන් විවි යන්නේ කොළඹ කෝටාවෙන්. කොළඹ කටෝෆ් වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් මේක.

මේ වැඩේ වැරදියි, අසාධාරණයි නෙවි ගණිතමය ලෙස ම වැරදියි. මම හිතන්නේ විවි ප්‍රවේශය සම්බන්ධයෙන් කල යුතුම සහ ලෙහෙසියෙන් කල හැකි වෙනස්කමක් වන්නේ මේ වැරැද්ද හදන එක.

කොහොමද මේක වෙන්න ඕනේ? විවි ප්‍රවේශයට අදාළ මුළු කුලකය කවුද? උසස් පෙළ ලියන ළමයි. එහෙමනම් අනුපාත හදන්න ඕනේ ඒ ඒ දිස්ත්රීක්කෙන් උසස් පෙළ අයදුම් කල සිසු ගණන් වලින්. මුළු නියැදිය යම් ගණනක් නම් ඒ අනුපාතයට අපි අවස්ථා බෙදනවා. එතකොට ඒ නියැදියෙන් වඩාත් නිරවද්‍ය උප නියැදි තේරෙන්න පුළුවන්. උසස් පෙළ සිසුන් ගණනේ අනුපාතයට අවස්ථා බෙදලා කෝටා හැදුවනම් තමා නිවැරදි. එහෙම කලොත් ඔය අසාමාන්‍ය ලෙස වැඩි කටෝෆ් තියෙන දිස්ත්‍රීක්ක වල කටෝෆ් අඩුවෙනවා.

මේක කරන්න බැරි එකක් නෙවි. වැඩියෙන් වියදමක් යන එකකුත් නෙවි. සිම්පල් ගණිත ගැටලුවක් පමණයි ඒකත් කරන්න කිසිම අමාරුවක් නෑ.

මේක කියවන හැමෝගෙන්ම තදින්ම ඉල්ලා සිටිනවා මේ සරළ වෙනස වත් කරගන්න උත්සහ කරන්න කියල. මොකද මේක අසාධාරණයක් දේශපාලන මතයක් නෙවි. මැතමැටිකලි කරන වරදක්.

2. දැන් මේ දිස්ත්‍රීක් පදනම භාවිතයේදී කරන උපකල්පනයක් තමා දිස්ත්රීක්කයක පාසල් ඔක්කොම එකම ගානේ ඇති වෙනත් දිස්ත්රීක්කයක ඒවා අනිකට වඩා එක පිටින් වෙනස් කියල. ඉස්සර එහෙම ඇති.  දැන් ඕනෙම දිස්ත්රීක්කෙක ඉතා හොඳ පාසල් රාශියක් තියෙනවා. ඒ වගේම කාලයක් මේ සිස්ටම් එක දුවලා ඉතාම අවුල් ජරා පාසල් පවා හැම දිස්ත්රීක්කෙම තියෙනවා. කොළඹ දිස්ත්රීක්කෙම තියෙන සැහෙන ප්‍රමාණයක් පාසල් ගන්නම දෙයක් නෑ. තව දුරටත් මේ දිස්ත්‍රීක් මත තීන්දු වෙන ක්‍රමය තාර්කික ද? මම හිතන්නේ දිස්ත්රීක්කේ වෙනුවට වෙන වෙනම පාසල් තමා සැලකෙන්න ඕනේ. පාසල් වල තත්වය බලල තමා කටෝෆ් එන්න ඕනේ. පාසලෙන් පාසලට වෙනස් කටෝෆ්.

3. එහෙම පාසලින් පාසලට බලන්න අමාරු නිසා වඩාත් ලෙහෙසියි සෝන්ස් හෙවත් කලාප ක්‍රමයක් ගෙනෙන එක. වාර්ෂිකව පාසල් වල තත්වයන් සලකා ඒවා විවිධ කලාප වලට වර්ගීකරණය කරනවා. කැමති කලාප ගණනක් තියා ගන්න පුළුවන්. ඒ ඒ කලාප වල උසස් පෙළ කරන මුළු සිසු ගණන් බලල ඒ අනුපාතයට කලාප අතර විවි ප්‍රවේශ තීන්දු කල හැකියි. දැන් තියෙන විදිහමයි. හැබැයි දිස්ත්‍රික්ක වෙනුවට රටේම පාසල් අතර හැදෙන කලාප. ඒ ඒ කලාපයේ සිසු අයදුම්කරුවන් ගණනේ අනුපාතයට ඒ කලාපයට ලැබෙන විවි කෝටා එක තීන්දු වෙනවා. මේක තමා පාසල් අතර අසාධාරණය අඩුකරන්න තියෙන හොඳම විදිහ. මේක කෙරුනොත් ජනප්‍රිය පාසල් වලටම රිංගන ලෙඩෙත් තරමක් සුව වෙන්න පුළුවන්. මොකද එතරම් හොඳ නැති පාසලක උසස් පෙළ කටෝෆ් එක එතරම් වැඩි නෑ.

--------------

ඔය තමා දැනට පවතින සිස්ටම් එක එහෙමම තියෙද්දී ඉලක්කම් එක්ක සෙල්ලම් කරන අමාත්‍යංශ  වල නෝනා මහත්තුරුන්ගේ ගණන් හදන ක්‍රම පමණක් වෙනස් කරලා වඩාත් නිරවද්‍ය සහ සාධාරණ ක්‍රමවේදයක් හදන ක්‍රම.

උසස් පෙළ පවත්වන  හැටි හොඳද? විවි අධ්‍යාපනය නිකම් දෙන්න ඕනෙද? විවි ප්‍රවේශය මිස් වෙන සිසුන්ට වෙන්නේ මොකද්ද? ඔය වගේ බරපතල ප්‍රශ්න කතාවෙන් අහක දැම්ම.

මේ ටිකවත් කෙරුනොත් ලොකු දෙයක්.

Wednesday, December 13, 2017

ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මිය යයි [චායාරූප රහිතයි]

පසුගිය සඳුදා උදෑසන හයහමාරට පමණ නොදුම්රිය [විදුලි කෝච්චි දුම් දමන්නේ නැත] මගට වන් ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මළේය. ඒ අප සිටින ස්ථානයට නැවතුම්පොළ කීපයක් නගරය දිහාට වන්නටයි.

උදෑසන ගෙවී යත්ම ඔෆිස් යන්නට ගිය පරක්කු ජනතාව වන අපිට සේවකයෙකු පවසා සිටියේ මාරාන්තික අනතුරක් නිසා සියලු නොදුම්රිය ප්‍රමාද වී ඇති බවයි. ස්ටේෂන් කීපයක් කොටමින් ගොස් වෙනදාට වඩා පරක්කු වී ඔෆිස් යාගත හැකිවිය.

නොදුම්රිය කොටන අතර සුහුරු බණුවෙන් අන්තර්ජාලය පිරික්සූ විට ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මිය ගිය බවක් කියා තිබුණි. දහවලේ කෑම වෙලාවේ නැවත පිරික්සූ මුත් ඊට එහා මොකුත් තිබ්බේ නැත. රාත්‍රියේ ගෙදර පැමිණ කියවූ විට ට්‍රෙස්පාසරයා නිසා පොලිසිය ක්‍රයිම් සීන් එකක් මාක් කර ඒ මාර්ග වල නොදුම්රිය ධාවනය පැය කීපයකට අඩාල කල බවත්, අපේ නොදුම්රිය සේවා මාර්ග භාවිතාවේ කටෝෆ් එකට ඇවිත් නිසා උදේ පරක්කුව හවසටත් බලපාන බවත් රාත්‍රිය වනතුරු සියලු නොදුම්රිය ප්‍රමාද වූ බවත් දකින්න ලැබුණි.

දැන් මේ සිදුවීම වී දින දෙකක් ගෙවුණු මුත් තාමත් අන්තර්ජාලයේ මේ ගැන ඇත්තේ එපමණකි.

ඇත්තෙන්ම මේ ට්‍රෙස්පාසරයා මොකෙක්ද? ගැහැණියෙක් ද පිරිමියෙක්ද පිටසක්වල ජීවියෙක්ද? කිසිවක් සොයාගත නොහැක. ඌ දුම්රියේ හැපුණා ද පැන්නා ද අපි දන්නේ නැත. දුම්රිය මාර්ග බාහිරයට සීල් තබා ඇති නිසා මහාමාර්ග ගේට්ටු වෙනුවට බයිපාස් ඇති නිසා [බටහිර සිඩ්නි වල මා තවම දැක ඇත්තේ එකම එක රේල් ගේට්ටුවක් පමණි] නිකම් අහම්බෙන් වූවක් නම් නොවේ. මේ ගැහැනියක් නම් දරුවෙකු සමග ජීවන බර දරන්නට බැරුව පැන්නාද? කොලුවෙක් නම් වලත්ත කමට අකුරු පේන්ට් කරන්න ගොහින් හැපුනාද මේ කිසිවක් කොහෙවත් නැත.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මේවා දෙන්න ඕනේ නැද්ද?

පොලිසිය සහ මාර්ග සේවකයින් එතනට ගිය වෙලාවේ ගත්තු ෆොටෝවක් නිවුසියක හෝ ගොසිපයක නැත. මේවා ලීක් කිරීමේ වගකීම පොලිසිය සහ සේවකයින් සපුරා පැහැර හැරියාද? මිනිය අස් කරන්නට පෙර ඔලුව කඳින් වෙන්වූ ඒ ත්‍රාසය හා ශෝකය මුසු පින්තුරය මාධ්‍ය වලට ගන්න දෙන්න බැරිද? ඒ මොහොතේ අසල මගක ගිය එකෙකුට ෆෝන් එකකින් මේවා ෆොටෝ ගන්නට බැරිවීද ? මගීන් නොදුම්රිය පොලේ සිට තම ජීවිත පරදුවට තබා එතනට ඇවිද ගොස් මේ අනුවේදනීය මොහොත චායාරූප ගත නොකළේද? මාර්ගයේ ආරක්ෂාවට හෝ ගෙදරක ඇති සී සී ටී වී පටයක මේ අනතුර සටහන් වී නැද්ද? කළු අළු පසුබිමේ අපැහැදිලි ට්‍රෙස්පාසරයා රාමු අඩු නිසා ටික් ටික් ගා පැන පැන යන නොදුම්රිය ටොක් ටොක් ගාගෙන පනිමින් එන ඒ දෙන්න හැපෙන දඩස් ගා වැටෙන සීන්ස් පෙන්නන්න බැරිද?

දෙදිනක් ගියද තවමත් ට්‍රෙස්පාසරයා ගේ නිවසට කිසිවෙක් ගොස් නැත. ප්‍රේමයේ විරහයෙන් විබාගේ අබාගෙන් ඔහු හෝ ඇය තැවුණු හැටි ගැන අපිට පිටු එකාමාරක කඳුළු කතාවක් නැත. අම්මා බෝම දුකෙන් ඉන්න ෆොටෝවක් නැත. ට්‍රේස්පාසරයාට ද අම්මෙක් ඇතිවා විය යුතුය. ඒ අම්මා ට සෙලිබ්‍රිටියක් වෙන්නට අයිතියක් නැද්ද? රාත්‍රී රූපවාහිනියේ මේ පවුලේ කඳුළු කතාව ගැන "විශේෂාංගයක්" පුරා සතියක් හැමදාම නොයන්නේ ඇයි? ඔලු කට්ට කුඩු වෙච්ච පුළුන් දමා වෙළුම්පටි දැමු ට්‍රෙස්පාසරයාගේ මෘත දේහය වළලා පණුවන් දමන තුරුත් රූපවාහිනියේ පෙන්වන්නේ නැත්තේ ඇයි? අර වෙන්ට්වර්ත්විල් ඇක්සිඩන්ට් එකේ ෆොටෝ මෙන්න අපෙන් විතරයි කියා මගේ ෆේස්බුක් වෝල් එකේ ලින්ක් ප්ලීස් වැටෙන්නේ නැත්තේ ඇයි?

දෙන්නට කිසිම පින්තුරයක් නැතිනම් යහතින් ඉන්න එකෙකුගේ හෝ පින්තුරයක් ෆෙස්බුකියෙන් උස්සා නොදුම්රියක පින්තුරයක් සමග ඇල ඉරකින් වෙන්වන සේ පාස්පෝට් සයිස් එකක් හදා එය පත්තර හෙඩිම අයිනෙන් එල්ලන්නේ නැත්තේ ඇයි?

මේ කිසිවක් නැත.

මේවා ජනයාට අකැප ද? ඔස්ට්‍රේලියාවේ උන්නත් අපේ හදවත් උණු වන්නේ නැද්ද? ඒ උණුවන හදවත් වලට අනේ අපොයි කියවෙන අතර දැන්වීම් පටි වල වටිනාකම් ඉහල යන්නේ නැද්ද? විකුණන්න ඇති මගුලකුත් නැති රටේ ඔහොමවත් ඔන්ටප්රිනර්ශිප් නැද්ද? සිරාවටම මේ මළ මිනියට කිසිම වටිනාකමක් නැද්ද?

මා උපන් ලංකාවේ නම් ජීවතුන් තර සිටිනා කාලයට වඩා වටිනාකමක් මේ ට්‍රේස්පාසරයාට දෙන්නට අපේ පොලිසිය මාධ්‍ය ගොසිප් ඒ හැමටම සහය දෙන ජනයා පෙළඹෙනවා නොඅනුමානය.

ප්‍රවුඩ් මි. සෑඩ් මි.

Sunday, December 10, 2017

දෙමල බෙදුම්වාදය කුඩු පට්ටම් කරන විග්නේස්වරන් මහතා

සිංහල සහ දෙමල වාර්ගිකයන්ගේ/ජාතීන්ගේ අතීතය ගැන විග්නේස්වරන් මතය වඩාත් සවිස්තරව කියවෙන දෙවැනි ලිපියක් ඒ මහතා පළකර තිබේ.

දුටුවනින් ප්‍රශ්න කලයුතු කාරණා කීපයක් දකින්න ලැබෙන අතර එහි සමහර දත්ත පවතින දැනුම තුල නිරවද්‍ය වන බවක් නොපෙනේ. එහෙත් ඒ ගැන සංවාදය කරන වගකීම සහ වෘත්තීය නිපුනතාවය හිමිවනුයේ විෂය ප්‍රාමානිකයන්ට නිසා ඒ ගැන වැඩිපුර ලියන්නේ නැත.

විග්නේස්වරන් නගන පහත තර්ක සලකන්න.

1. විජය කෙනෙකු ලංකාවට ආ බවට ඉන්දීය මූලාශ්‍ර නැත. ඒ නිසා එය තනිකර වංශකතා කරු ගේ නිර්මාණයකි [මෙය විවාදාත්මක එහෙත් සපුරා අහක දැමිය නොහැකි කතාවකි]

2. විජය හෝ වෙනත් කාට හෝ බිරියන් ගෙනාවේ මදුරා පුරයෙන් හෙවත් පාන්ද්‍ය දේශයෙන් නිසා ඔවුනුත් අර්ධ දමිළ වේ [මෙය සිංහල වංශකතා අනුව ද එසේමය]

3. විජයාගමනයට පෙර පටන් ලංකාවේ පැවති ශිෂ්ටාචාරය දකුණු ඉන්දීය කලාපයේ හෙවත් අනාර්ය ශිෂ්ටාචාරයකි [තාර්කිකව නිරවද්‍ය ලෙස සැලකිය හැකිය]

4. දේවානම් පියතිස්ස සහ පූර්වජයෝ දමිළ බස කතා කළෝය [කිසිම තාර්කික පදනමක් නැත. ඒ කාලවල සෙල්ලිපි ලියවී ඇත්තේ දෙමලෙන් නොවේ. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

5. සිංහල බස බිහිවන්නේ දෙවානම්පියතිස්සට සියවස් අටකට හෝ දුටුගැමුණු ට සියවස් හයකට පසුය. ඒ අනුව මේ රජුන් ද දමිළ බෞද්ධයෝ ය [සිංහල බස එහි පූර්ව අවස්ථා එක්ක දක්වන සම්බන්ධය දමිලයෙන් පිටස්තරය. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

6. අනුරාධපුරයේ දමිළ රජුන් දමිලයින් ලෙස සැලකුවද සිංහල රජුන් සිංහල ලෙස වංශකතා වල සලකා නැත [මගේ කෙටි දැනුමෙන් මෙය නිරවද්‍ය නොවේ. සිංහල කියන යෙදුම විජයාදී පරපුරට යෙදෙන බව මගේ මතකයයි. එහෙත් මෙවරත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

තර්කයේ පහසුවට ඒ මහතා කියන කතාව නිවැරදිය කියා සලකමු. එපමණකින් ම පවා දමිළ බෙදුම්වාදයේ ඉතා වැදගත් තර්කයක් බිඳ වැටේ.

ඔහුට අනුව ලංකාවේ රාජ්‍ය කල මිනිසුන් දමිළ බස කතා කල මිනිසුන් පිරිසකි. විජය නම් කෙනෙක් පැමිණි නැති අතර අනාදිමත් කලෙක සිට දකුණු ඉන්දීය ශිෂ්ටාචාර සලකුණු සමග ඔවුහු ජීවත් වූහ, පසුව අශෝකගෙන් බුදුදහම සහ පාලි බස ඔවුන්ට දායාද විය. පසුව ඒ පාළි බස දමිළ බස සමග මිශ්‍ර කොට සිංහල බවට හරවන ලද්දෝය. එදා පටන් අද දක්වා සිංහල කියන්නේ ඒ ප්‍රජාවටයි. මේ මගේ මතයක් නොව විග්නේස්වරන් කියන මතයයි.

විග්නේස්වරන් මේ හරහා වැදගත් කාරනාවක් පිලි ගනියි. එනම් කිනම් බසක් කියෙව්වත් කිනම් සංස්කෘතික ලක්ෂණ දරුවත් සින්හල නම් ප්‍රජාව එදාපටන් ලංකාවේ හිටි අය බවයි. ඔවුන් රටේම පැතිරී හුන් බවයි. අනුරාධපුර අගනුවර ඔවුන්ගේ රාජ්‍ය කාල අමුතුවෙන් සිංහල ලෙස ලියා නැතිමුත් දමිළ රාජ්‍ය කාල එසේ ලිවීමෙන් ඒ දෙවැන්නා ගේ බාහිර භාවය සනිටුහන් වේ. ලෝකයේ වෙනත් බොහෝ ජාතින් මෙන්ම සිංහල ප්‍රජාවත් උතුරු දකුණු ඉන්දියා දේශ සහ දූපතේ පාරම්පරික ජනයාගේ මිශ්‍රණ විය හැකිය. පාන්ද්‍ය සම්බන්ධය ඒ නිසා අමුත්තක් නොවේ. ඒ සියලු සම්බන්ධ වලින් බිහිවූ එක ප්‍රජාවක් ඒ මුළු කාලයේම සිය අනන්‍යතාවය බිහිකරගත් බව පමණක් වැදගත් කාරණයකි. මොන බසක් කතා කලාද මොන සංස්කෘතියකින් පටන් ගත්ත ද යන්න අදාළ නැත.

මේ සියල්ල අනුව සිංහල නමින් දැන් හැඳින්වෙන ප්‍රජාව මිස ඇතැම් බෙදුම්වාදීන් කියන්නාක් මේන් දමිළ ප්‍රජාව ලංකාවේ අනාදිමත් කලෙක සිට පාලනය ගෙනගිය ස්වදේශික මුල් පදිංචි කාර ඉන්ඩිජිනස් හෝම්ලෑන්ඩ් එකක හිමිකරුවන් නොවේ, අදාළ අර්ථදැක්වීම හිමිවන්නේ දේවානම් පියතිස්ස දුටුගැමුණු ආදීන්ගෙන් පැවතෙන ප්‍රජාවට බව විග්නේස්වරන් කතාවෙන් ගම්‍ය වේ.

ප්‍රජාවෝ කාලය තුල බස සංස්කෘතිය ක්‍රමිකව වෙනස් කරති. ඒවා ගැන විග්නේස්වරන් හරි හෝ වැරදි විය හැකිය. දෙමල බසට වඩා අතීත පැවැත්මක් දිනා සිංහලය ලෝක වාර්තාවක් කරන්නට කාටවත් ඇම්මක් ඇති බවක් නොපෙනේ.

එහෙත් විග්නේස්වරන් අතින් දෙමල බෙදුම්වාදයේ එක සුරංගනා කතාවක් මනාකොට බිඳ වැටෙන බව පමණක් අපි දකින්නෙමු.

Saturday, December 9, 2017

ගීසා හි පිරමීඩයේ ප්‍රවේගය ආලෝකයේ අක්ශාන්ශයට සමානද?

අපි මිත් බස්ටර සේවා සපයන්නේ නෑ. ලෝක ගෝලේ ලස්සන වන්නේ සුට්ටක් මෝඩ සුට්ටක් ලස්සන කෙල්ලන් සොරි කතන්දර නිසා කියා හිතනවා. විවිධ මිත්‍යා නැත්නම් මේක මාර පාලු ලෝකයක්. ඒ වුනාට ඉඳහිට අපිට රිදෙනකම් ඇනෙනකම් පෙනෙන බූත කතා දැක්කම එකක් දෙකක් එක්ක ගණුදෙණු කරන්න හිතෙනවා. ඒ එහෙම එකක්. ඔය පහල තියෙන්නේ සීන්ස් එක.




මට වගේ ඔබටත් මේක දැකලම එපාවෙලා ඇති. මේ හදන්නේ ඔය කුනුහරුපේ දිග පළල හොයන්න. අවසානේ තීන්දු නෑ. වී රිපෝට් යූ සපෝට්.

ඉස්සරින්ම කතාව ඇත්තද? අක්ෂාංශය [ආසන්නව] හරි. ආලෝකයේ රික්තය තුල ප්‍රවේගය [හෙවත් අයින්ස්ටයින් භෞතික විද්‍යා සංකල්ප වල පවතින ප්‍රවේගයේ උපරිමය] නිවැරදියි.

1. ඉස්සරින්ම සරල සාමාන්‍ය  දැනුම. ඔය දෙකේ ඒකක දෙකක්. ඒකක වෙනස් වුනාම [ඒකක කියන්නේ මිනිස් අර්ථ දැක්වීම් නිසා] වටිනාකම් හි තේරුමක් නෑ.

2. මීටරය අර්ථ දැක්වෙන්නේ පිරමීඩයට පස්සේ නිසා මේක සත්‍ය නම් සලකන්න වෙන්නේ කාලය ඔස්සේ ඉදිරියේ වෙන්න තියෙන දෙයක් එක්ක අතීතේ දෙයක් පෑහීමක් කියල. එනම් ගීසාවේ  පිරමීඩ්  එක  හදන්න  පොලොව  සකසන එකා  තව  අවුරුදු  දාස්  ගානකින් මිනිස්සු  මීටරය  අර්ථදක්වාගෙන  අක්ෂාංශ  අර්ථදක්වාගෙන  ආවාම  මෙන්න  මෙතන  අක්ශාන්ශේ  අර  ආලෝකයේ  රික්තයේ  ප්‍රවේගය  එක්ක  ගානට  සෙට්  වේවා  කියල  කොරල  තියෙන්නේ. 

3. අක්ශාන්ශයක් කිමි 111 වෙනවා. ආසන්නව 100 කියල හිතුවොත්. 29.9792458 කියන එක සෙන්ටිමීටරේට තමා ගණනය වන්නේ. ගීසා පිරමීඩය මීටර දෙසිය ගානක්. ඉලක්කම හරිම උනත් ගීසා පිරමීඩයේ සයිස් එකත් එක්ක ලියන්න වෙන්නේ 29.978, 29.979 හෝ 29.98 වගේ ගානක් පමණයි. ඉතිරි ටික ඕනේ හැටියට ලියා ගන්න පුළුවන්. ඔය ටික අතරේ ඔක්කොම වැඩි ප්රෙසිෂන් අගයන් තියෙන්නේ පිරමීඩය තුල.

ඒ අනුව ආලෝකයේ රික්තයේ ප්‍රවේගය හෙවත් උපරිම ප්‍රවෙගයේ තත් ට මීටර් අගය මිලියන දහයෙන් බෙදා ලැබෙන අගය අක්ශාන්ශයක් කියා සැලකුවොත් එය ගීසා පිරමීඩයේ ඇතුලේ තියෙන එවැනි අක්ෂාංශ අගයන් 20000 න් එකක්.

ඔන්න ඕක හරි. වට් එවර් ඉට් මීන්ස්.

දැන්  අහවල්  බක්කද  ඕකෙන්  වෙනවා  කියන්නේ?

රාජාලියා සහ දෙවියන්ගේ නගරය

එක නගරයකි. රාජාලි කුරුල්ලෝ දෙදෙනෙකි. එක පොතක කොපි තුනකි.

ඒ දෙවියන්ගේ නගරයයි. දෙවියන් තැනු බව කියන නගරයයි. සාමයේ නගරයයි. සාමයක් කවදාවත් නොමැති නගරයයි. දෙවියන් යයි කියා මිනිසුන් තැනූ පුරෝගාමී නගරයයි.

තෝරාගත් ප්‍රජාව දෙවියන්ගේ නගරය තැනූහ. දෙවියන් ඒ නගරය තැනු බවට ඇදහූහ. දෙවියන්ගේ පළමු පොත ලියුහ.
දෙවියන්ගේ නගරයට මදක් ඔබ්බෙන් පහල වූ දෙවියන්ගේ පුත්‍රයා බව පැවසී මිනිසෙක් දෙවියන්ගේ පොත කොපි කර වෙනස් කළේය.

එක් රාජාලි කුරුල්ලෙක් දෙවියන්ගේ නගරය වැනසීය. බාල මහලු ගැහැණු පිරිමි සියල්ලෝ ම භක්ෂණය කළේය. මළ කඳන් වලින් පිරී ගිය දෙවියන්ගේ නගරයේ වෘක කැනහිල් ආදී වන සත්හු පිරී ගත්හ. දෙවියන්ගේ දෙවොල් බිඳ ලූහ. දෙවියන්ගේ පොත් ගින්නෙහි ලූහ.

සාමයේ දහම පහල විය. දෙවියන්ගේ පොත නැවත වරක් වෙනස්කම් සහිතව කොපි කෙරුණි. තෝරාගත් ප්‍රජාවෙන් මුක්ත වූ දෙවියන්ගේ නගරයේ සාමයේ දහම අදහන්නෝ එක්රැස් වූහ. සාමයේ නාමයෙන් යුදයේම යෙදුණහ.
බොහෝ කල් ගතවිය.

අනෙක් රාජාලි කුරුල්ලා පහල වී තිබුණි. ඌ දෙවියන්ගේ එක පොතක එල්බගෙන තිබුණි. තෝරාගත් ප්‍රජාවේ එකෙක් රාජාලි කූඩුවේ ම බිජු ලා තිබුණි.

අද දෙවියන්ගේ නගරයේ ඉන්නේ සාමයේ දහම වෙනුවෙන් යුද කරන්නෝය. තෝරාගත් ප්‍රජාව වෙනත් තැනක් තෝරාගෙන ඇත. ඒ සියල්ල නොසලකා රාජාලි කුරුල්ලා නැවතත් දෙවියන්ගේ නගරය තෝරාගත් ප්‍රජාවට පවරන්නට තීරණය කර තිබේ.

අනුන්ගේ දේවල් වල හොට පටළා එපා වී හුන් රාජාලියා තවත්නම් අනුන්ගේ දේවල් වල හොට නොදාන බවට පොරොන්දුවක් දී තිබුණි. එය ද බිඳ දමා මේ සා සුවිසල් හොට දැමීමක් කරන්නේ රාජාලියා දෙවියන්ගේ එක පොත් කොපියකට දක්වන අසීමිත අන්ධ භක්තිය නිසාද නොවේනම් තම කූඩුවේ ම බිජුලන තෝරාගත් ප්‍රජාවේ එකා ගේ බලපෑමෙන් ද කියා නොදනිමි.

එහෙත් එකක් පැහැදිලිය. සාමයේ දහම තව තවත් යුද වදින තෝරාගත් ප්‍රජාව තව තවත් මිනි මරණ මිය යන හෙට දවසකට කාලය පැමිණ තිබේ. රාජාලි හොට  දැමීම්  වලින්  තුවාල  කරගන්නේ  උන්  ය.

පරණ කතා