Friday, October 6, 2017

ඔරෙක්ස් පෑනෙන් දේදුනු නිර්මාණය කල හැකි බව දැනගත්තේ ශිෂ්‍යත්ව විබාගය දවසේය

පහේ ශිෂ්‍යත්ව ප්‍රතිපල අවුට් වී ඇත. ඒ නිසා බොහෝ දෙනා මයිසේල්ෆ් රචනා ලියා ඇත. මා දුටු ශිෂ්‍යත්වය වගේ නොස්ටල්ජියාවල සිට නොදකින් ශිෂ්‍යත්වය වැනි විවේචන දක්වා පරාසයක ඒවා විසිරේ. 

ඔරෙක්ස්  පෑනෙන්  දේදුනු  නිර්මාණය  කල  හැකි  බව මා දැනගත්තේ  ශිෂ්‍යත්ව  විබාගය  දවසේය. ඒත් මේ ඒ ගැන අහිංසක නොස්ටල්ජිය ටච් එකක් නොව වෙනත් ලොරි ටෝකකි.

විශ්ලේෂකයෝ වර්ග කීපයකි. අපි ඔවුන් දළ වශයෙන් කණ්ඩායම් වලට කඩමු.

1. ශිෂ්‍යත්වේ දක්ෂ ලෙස ෆේල් වූ අය [එයාල කියන්නේ එහෙමය]. එහෙම වුනත් අද උන් ඉන්න තැන ගැන අපට ආඩම්බර විය හැකිය.

2. මෙලෝ මහන්සියක් නැතුව පිස්සු කෙළිමින් හිඳ පාස් වුන අය. ටියුෂන් නොගිය නිසා තමයි මම පාස් වුනේ කියා උප වර්ගයක් ඇත

3. ශිෂ්‍යත්වේ ගැන මෙලෝ මතකයක් නැති අය. සමහරු පාස් වුනේ නිකම්මය මෙලෝ මතකයක් නැත, තව සමහරු ෆේල් උනේ නිකම්මය මෙලෝ මතකයක් නැත.

4. අම්මලාගේ ඇම්ම [ හෙවත් ටෙක්නිකලි ස්පීකින් ටයිගර් පේරන්ටින් ] නිසා ශිෂ්‍යත්වයට අකමැති අය. වාර්ෂිකව මවිපියන් දරුවාට අමන ලෙස සැලකීමෙන් ඉස්මතුවන විවිධ සිද්ධි ගැන උදාහරණ සහිතව මේ අය අදහස් දක්වති.

5. ඔය විබාගේ නිසා අපි තැනකට ආවේ ඒ නිසා කුහක කතා නොකියන ලෙස කියන අය

6. මන් දන්නා ඕක පාස් එවුන් ඔක්කොම විනාස වුනා කියන අය

7. ඔය ඔක්කොම ලොකු පාසල් වලට යන්න තියෙන උණ නිසානේ කියන අය

8. මම

මේ මුල් අංක හතටම සාධාරණ පොයින්ට් ඇත. තාත්වික උදාහරණ ඇත. නොස්ටල්ජිය කතා ඇත. ඔවුන් බොරුකාර පොරටෝක් කාරයින් නොවේ. එහෙත් ඔවුන් හතම කවර් කරන්නේ සමස්තයෙන් සුළුතරය නිසා මම බහුතරය වෙනුවෙන් පෙනී සිටිමි. අංක අටට මම කිව්වේ ඒ නිසා මිස මේ මම ගැන කතාවක් නිසා නොවේ [මේ දවස්වල මම ගැන කතා කරන්නට ෆේස්බුක් එකේ පිරිසක් වෙනම පත්කර තිබේ].

පළමු වැදගත් පොයින්ට් එකනම් ශිෂ්‍යත්වය පවත්වන හේතුවයි. ලංකාවට ශිෂ්‍යත්ව විභාගයක් අවැසි වන්නේ පාසල් අතර ඇති පරතරය නිසාවෙනි. ඒ පරතරයන් හුදු දුර නිසා හෝ දුෂ්කරත්වය නිසා පමණක් ඇති වූවන් නොවේ. එකම රජයක් යටතේ පාලනය වුවද පාසලින් පාසලට වෙනම ඉතිහාස කතාවක් ඇති රටකි ලංකාව. ඒ අනුව එකිනෙක පෙනෙන සීමාවේ පිහිටි පාසල් දෙකක වුවද අහසට පොලොව වැනි වෙනසක් ඇතිවිය හැකිය. ඊට අමතරව ලංකාවේ තැන තැන ඇති නාගරික කුට්ටි හැර සෙසු ගං සියල්ල පවතින්නේ හද්ද ග්රාමියත්වයකය. අධ්‍යාපනයට පරිබාහිර වූ විවිධ හේතු [ප්‍රවාහනය පදිංචි ස්ථාන වැනි ඒවා පවා] නිසා ගුරුවරු මේ ස්ථාන අප්‍රිය කිරීම නිසා ද අර්බුදයක් හටගනියි. ශිෂ්‍යත්වය සමාජ අවශ්‍යතාවයක් වන්නේ ඒ නිසාවෙනි. කිනම් හොඳ නරක තිබ්බත් ශිෂ්‍යත්වය නොවෙන්න සමාජයේ එක්තරා සිසුන් පිරිසකට තමා ලද අධ්‍යාපනය ලබන්න ඉඩ නොලැබේ.

ඉහත ලිස්ට් එකේ ශිෂ්‍යත්වේ ෆේල් වී මාර පොරවල් වූ අය එක්කෝ කුඩා කල සිටම ගියේ ලොකුවයින් ඉස්කෝල වලටය. නොවේනම් ග්‍රාමීය පරිසර වල ඔවුන් අධ්‍යාපන සාර්ථකත්වය කරා යද්දී එසේ යා නොහැකි වූ තවත් සියගානක් ඔවුන්ට අමතකව ගොසිනි. සමස්තයක් හැටියට මව්පියන් සතු හැකියාවකින් අහවලිස්ට් හෝ අහවලියන් කෙනෙක් ලෙස බෞතිස්ම නොවන ලද ශිෂ්‍යත්වේ ෆේල් එකෙකුගෙන් අධ්‍යාපන කන්ද නැග්ගේ එහෙමත් එකෙකි. ඒ එකා කොච්චර දුර්ලභ ද යත් එය පට්ට කනා පාරක්  මිස කොහෙත්ම සැලසුම් කල නොහැක්කක් කියා සිතීමට සාධාරණ හේතු ඇත. ඒ  එකෙක්වත්  වැරදිලාවත්  තම  දරුවෙක්  ඒ  කනා  පාර  දිගේ  එවන්නේ  නැත.

එසේ මව්පියන් සතු හැකියාවකින් අහවලිස්ට් හෝ අහවලියන් කෙනෙක් නොවූ ශිෂ්ත්වේ ෆේල් වී  අධ්‍යාපන කන්ද නොනගීන එවුන් අද පෝස්ට් නොදමති. අවාසනාවකට දූපතේ නිහඬ බහුතරය ඔවුන් වේ. අංක අටට මම කියා කැටගරියක් දැම්මේ ඔවුන් ගැන කතා කරන්නයි. ශිෂ්‍යත්වය ෆේල් වීම අධ්‍යාපන කන්ද නොනගීමට ඔවුන්ට බලපෑ ප්‍රබලම හේතුවයි. ඒ නිසාම ඔවුහු ශිෂ්‍යත්වයේ යහපත් පැත්ත මෙන්ම අයහපත් පැත්ත ගැන ද එකවර දර්ශීය උදාහරණ සපයති.

ශිෂ්‍යත්වය අමන විබාගයකි. ඒ ගැන කිසිම තර්කයක් නැත, එය පවත්වන වයස ඊට සුදුසුද, එය පැවැත්වෙන කටපාඩම් ක්‍රමවේද ඊට සුදුසුද, තෝරාගත්  විෂය  සහ  විෂය  නිර්දේශ සුදුසුද, ඒ සඳහා කෙරෙන ටියුෂන් මැරිල්ල සහ ටයිගර් පේරන්ටින් ක්‍රමවේද ඊට සුදුසුද, එසේ පිරිසක් තෝරාගෙන උන්ට සුපිරි අවස්ථා දීම සුදුසු ද ආදී ලෙස විවිධ තර්ක රාශියක් ඇත.

එහෙත් ඒ හරහා පහ වසරේ ඒ දවසේ කිනම් හෝ හේතුවකට දක්ෂ ලෙස මුහුණ දෙන සැලකිය යුතු ප්‍රතිශතයකට කවදාවත් නොලැබෙන අවකාශයක් ලැබේ. ඒ අයගේ පාදස්පර්ශයෙන් පූජනීය වන කිසියම් තෝරාගත් පාසල් කීපයක සුවිශේෂී තරගකාරී බවක් ඇතිවේ. එහි පාරිසරික තත්ත්ව ඔවුන්ට මෙන්ම ඒ සුපිරි පාසල් වලට මව්පිය හැකියාවෙන් ආ අයටද උරුමය. සුපිරි පාසලට මව්පියන්ගේ හයියෙන් ගිය අයටත් යන්න ඒ පාසැල සුපිරි තත්වයක් නිර්මාණය කරන්නේ එයට එන ශිෂ්‍යත්ව පාස් උන්ගේ හැකියාවන් තුලිනි. ඒ තුල නිර්මාණය වන සුපිරි අධ්‍යාපන රාමුව හෙවත් ස්පිරිට් එක මත ලංකාවේ අධ්‍යාපන අවුට්පුට් එකෙන් විශාල ප්‍රතිශතයක් පවතියි. රටක් ලෙස ලංකාව ලෝකයේ තමන්ගේ කැලාසියේ රටවලට වඩා උගතුන් තැනීම අතින් ඉහලින් සිටින්නේ මේ තත්වය නිසාවෙනි. අද ශිෂ්‍යත්වයට බණින බහුතරයක් කෙලින් හෝ වක්‍රව ශිෂ්‍යත්වය විසින් නිර්මාණය කල තත්වය නිසා ඉහලට ආ  අයයි. මුළු රටම එහි ප්‍රතිලාභ ලද අයයි.

ශිෂ්‍යත්වය ගැලෙව්වොත් මේ සියල්ල කඩා වැටීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙනම් ඉගෙන ගන්නේ ඉගෙනුම සහ පවුල් බලය උපතින් ගෙනා කීපයක් පමණි. ඉස්සර වැඩ කෙරුණේ එහෙමය. ඒ කාලේ ජොබ් දුන්නේ ඉගෙනීමට වඩා ඉස්කෝලේ නමටය. ඒ කාලේ උසස් පෙළ සමතෙක් කියන්නේ පට්ට වැඩ්ඩෙකි.

එහෙත් ගැටලුව ඇත්තේ සමස්තය සහ ස්පිරිටය විඳින මේ ප්‍රගතිය පිටුපස බහුතරයක් විඳින අගතියක් ඇති නිසාය. සාපේක්ෂව කොහොමත් අධ්‍යාපන මට්ටමින් පහල පාසල් ශිෂ්‍යත්වෙන් ඉගෙනුමට දක්ෂ සිසුන් ඉවත්ව යාමෙන් සපුරා බිඳ වැටේ. ඒවායේ අධ්‍යාපනික රාමුව පැවතෙන්නේ යන්තමිනි. ගුරුවරුන් පවා ඔවුන්ට සලකන්නේ නොහොබිනා මැට්ටන් රැලකට මෙනි, ශිෂ්‍යත්වයේ අයහපත් බලපෑම එන්නේ ඔවුන්ටයි.

දෙවැනි අවාසනාවන්ත පාර්ශ්වය නම් ටයිගර් පේරන්ටින් වල මානසික පීඩනය නිසා විනාස වන අයයි. ටයිගර් පේරන්ටින් වචනය වැඩියෙන්ම  යෙදෙන චීනයේ එක මවක් සිය දරුවා අනවශ්‍ය ලෙස තමාගේ ආදරයේ සුරතල් වීම වැලකීමට ඇය තමන් අරන් හදාගත් කෙනෙකු බවත් තමන් ආදරයට වඩා දෙන්නේ අධ්‍යාපනය බවත් කීවාය. මේ නිසා අම්මා දුවට සැලකුවේ සමාගමක ප්‍රධානියෙක් ගෝලයාට සලකන පරිද්දෙනි. අවසානයේ ඇය ඉහල උගත්කමක් සහ මව් සෙනෙහස අහිමි වීමේ මානසික ආතතයකින් ජීවත් වේ. ලංකාවේ  නම්  දරුවන් සියදිවි  නසාගන්න සිද්ධි  පවා  වාර්තා වේ. කෙසේ වෙතත් ටයිගර්  පේරන්ටින්  කියන්නේ  රෝගයක්  නොව  සිම්ටම්  එකකි.  ටයිගර්  පේරන්ටින්  නැති  කරන්නට  අම්මලට  බෙහෙත්  කර  බැරිය  අධ්‍යාපන  පද්ධතියට  බෙහෙත්  කල  යුතුය.

කතාවේ අවසානය හිතන තරම් සිම්පල් නැත. ශිෂ්‍යත්වය විසින් නිර්මාණය කරන ගැටළු වලට විසඳුම එය කැන්සල් කිරීම නොවේ. එය හරියට තරබාරුකමට විසඳුමක් ලෙස කිසිම ආහාරයක් නොදී උන්නා වැනි වැඩකි. ශිෂ්‍යත්ව තරබාරු කමට අවශ්‍ය නිසි ඩයටින් ප්ලෑන් එකනම් පාසල් අතර පරතරය අඩු කිරීමයි. එය කිසියම් දුරට හෝ සාර්ථක කලොත් සිසුන් ශිෂ්‍යත්වය සමත් වුවත් පාසලේ ම සිටිනු ඇත. එහෙම වෙනවානම් මව්පියන් ඕනවට වඩා දරුවන් මරවන්නේ නැතිව සිටිනු ඇත. එහෙම තත්වයකදී ශිෂ්‍යත්වය තිබ්බත් නැතත් මහලොකු වෙනසක් ඇත්තේ ද නැත. ඒ තත්වයක කාට හෝ අවැසිනම් පමණක් පාසල මාරු කරන්නට මේ විබාගය යොදා ගත හැකිය.

පෙර පරිච්චේදයේ කී දෙය කරන්නට ලෙහෙසි නැත. විවිධ ආණ්ඩු වල වාගාලාප රාශියක් ආවත් කරන බවක් පෙනෙන්නට ද නැත. එසේ නොවෙන තත්වයක බිහි වන්නේ විෂම චක්‍රයකි. ඒ විෂම චක්‍රයේ ශිෂ්‍යත්වය යන හැටියට පවත්වා ගැනීම මිස වෙන විකල්පයක් නැත. අවාසනාවකට රටේ බර බහුතරයක් අධ්‍යාපනයෙන් පස්සට තල්ලු කර සමස්ත අධ්‍යාපන අවුට්පුට් එකට ස්පිරිට් එකක් සැපයීම දිගටම සිදුවනු ඇත.

මෙය ශිෂ්‍යත්වය සහ ටයිගර් පේරන්ටින් වලින් පීඩා විඳින ලංකාවට මෙන්ම නිව් සවුත් වේල්සයට ද පොදු කතාවකි. අදාළ ගැටළු දෙකම ලංකාවටත් වඩා තදින් මෙහි ඇති අතර අපේ ශිෂ්‍යත්වය ලංකාවේ එකටත් වඩා ටෆ් එකකි.

කෙසේ වෙතත් නැවත අපි ප්‍රශ්නයට ආවොත්; ඔබ දරුවෙකුනම් කල යුත්තේ නාකි ඇන්ටිලා අන්කල් ලා ආතල් එකට ෆේල් වී හෝ නිකම්ම වගේ පාස්වී දෙන නොස්ටා ටෝක් දෙස නොබලා කලාතුරකින් කෙනෙකුට ලැබෙන මේ අනගි අවස්ථාවට ඇතුළු වීමට මහන්සි වී උත්සහ කිරීමයි. ඔබ මවක් හෝ පියෙක් නම් කල යුත්තේ ඔබේ දරුවා ඊට මැරවීම නොව දරුවාට ඒ ඉලක්කය කරා යාමට නොහැකි වුවහොත් ඔබ ඒ වෙනුවෙන් කරන ද්විතීයික සැලසුම සකස් කිරීමයි. ඔබ දෙපළම පුරවැසියන් ලෙස කල යුත්තේ ශිෂ්‍යත්වය කැන්සල් කරවීම නොව ශිෂ්‍ය්තවය තිබ්බත් මෙලෝ වැඩක් නැති ගානට දුර්වල පාසල් වලින් වැඩි තරමක් වත් නගා සිටුවන්න උත්සහ ගැනීමයි.

කියන්න  ලෙහෙසිය. ඒත් මේවා මෙහෙම  සිද්ධ  වෙන්නට  දේදුණු  හතක්  එකවර  පායන්න  ඕනෑය. මම ඔරෙක්ස්  පෑනෙන්  දේදුනු  නිර්මාණය  කල  හැකි  බව  දැනගත්තේ  ශිෂ්‍යත්ව  විබාගය  දවසේය.  හතට වඩා නිර්මාණය  කර  ඇත්තෙමි.

8 comments:

  1. මම විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. ප්‍රථමික අංශය භාර නියෝජ්‍ය විදුහල්පතිලෙස මගේ සෑහෙන කාලයක අත්දැකීම් තියෙනවා. එහිදී මං දැකලා තියෙනවා ළමුන් ඒ වසරට එන හැටි සිට 13 වසරෙන් පසු පාසලෙන් නික්ම ගොස් ජිවිතයට මුහුණ දෙන අන්දම.

    මගේ නිරීක්ෂණය නම් ශිෂ්‍යත්වය විභාගේ කඩයිම් ලකුණු වලට වඩා පහලින් යම් මට්ටම ඉන්න ළමයි (කඩයිම් ලකුණු වලට ආසන්නයේ ලකුණු ඇති) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හොදට සමත් වීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම ලකුණු 175 ට එහා අරං ශිෂ්‍යත්වය ඉහලින්ම සමත් වෙන ළමයිත් වැඩි හරියක් හොදට උසස් විභාග කරගන්නවා.

    හැබැයි දැන් අපි හිතමු මෙවර විභාගයේ කඩයිම් ලකුණු 140 ක් කියලා ,එතකොට 140-160 වගේ අතර ලකුණු අරං විභාගේ සමත්වෙන අය උසස් විභාග ඇන ගන්නවා වැඩියි. මේක මං බොහෝ නිරීක්ෂණය කොට, ඒවා ගැන විශේෂයෙන් සලකලා එම ළමුන් ගැන උනන්දුව කටයුතු කල නිසා දන්නා දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ සටහනට. මෙය මම වගේ බාහිර නිරීක්ෂකයෙකුට වඩා බොහෝ දුර ගිය අගනා නිරීක්ෂණයක්. හැබැයි ඔබ හිටි පාසලේ ශිෂ්‍යත්ව ෆේල් දරුවන්ට උසස් පෙළින් ඉහල ප්‍රතිපල ගන්න හැකියාව තිබ්බනම් ඒ පාසලට ශිෂ්‍ය්තව්‍යෙන් ලොකු බලපෑමක් නෑ නේද? මම පාස් වෙලා ගිය පාසලෙත් ළමයි තිහ හතළිහක් පාස් වෙලා තිබ්බ. හැබැයි එයාල ශිෂ්‍යත්වේ නිකමට ලිව්වට ඉස්කෝලෙන් ගියේ නෑ. ඒ පාසලේ ෆේල් වෙච්ච අයගෙනුත් සැහෙන්න තරමක් බොහෝ දුර ඉගෙන ගත්ත.

      සංසන්දනාත්මකව මා හැර ගිය පාසල බැලුවොත් කීපයක් ශිස්ය්තවෙනුත් තව කීපයක් මව්පිය හැකියාවෙනුත් එය හැර ගියා. අපිත් එක්ක ළඟ ළඟ තරග කල අනිත් මිතුරන් [ඔවුන් දිගටම ඉගෙන ගන්න උනන්දුව තිබ්බ] උසස් පෙළේ එස් එකක් දෙකකට එහා ගත්තේ නෑ. උනන්දුව අතින් අප සමාන වුනත් මම පස්සේ ගිය පාසල අප ඔසවාගෙන ගියා. මගේ පරණ පාසල එය කලේ නෑ. තනියෙම්ම වැඩ කරලා මෙඩිසින් ගිය එකෙක් ඇරෙන්න මම හැර ගිය පාසලේ කිසිවෙක් කැම්පස් ගියේ නෑ.

      මම කතා කරන්නේ ශිෂ්‍යත්වේ නැතත් බොහොම හොඳ පාසලකට යන අය ගැන හෝ ශිෂ්‍යත්වේ පාස් අය ගැන නොවේ. රටේ බහුතරය ඉන්නේ වැලේ වැල් නැති ඉස්කෝල වල රටේ බහුතරය ඒක ෆේල්.

      අන්න ඒ සෙට් එක 90% ට වඩා අධ්‍යාපනයේ ෆේල්. එකෙක් උඩට ආවත් ඌ මාර කණා ෂොට් එකක්.

      Delete
    2. මා අවසන් වරට සේවය කරේ කොළඹ සිට කිලෝමීටර් 300 ක පමණ දුරින් ඇති ප්‍රදේශයක විදුහල්පති ලෙස. එය ළමුන් 4000 ක් පමණ සිටි පාසලක්‌. එහිත් තත්වය මං මුලින් කී නිරීක්ෂණයට සමානයි.

      මගේ නිගමන මේවායි.

      ශිෂ්‍යත්වවය කඩයිම ලකුණු වලට ආසන්න ලකුණු අරන් ඒක අසමත් වෙන දරුවෝ (අසමත් කියන වචනය භාවිතා කරන්න මා කැමති නැහැ, එනමුත් මෙලෙස සීමිත අයුරින් මේ දෙය පැහැදිලි කරද්දී එය බාවිතා කිරීම පහසුයි.) හයේ පන්තියේ ඉදලා ගොඩක් උනන්දු වෙනවා. මොකද ඔවුන් කල්පනා කරනවා ඇයි ශිෂ්‍යත්වය මේ වගේ ආසන්න ලකුණු ගණනකින් ෆේල් උනේ කියලා. සමාජයෙන් උනත් ලකුණු අහලා කියන දේවල් වලින් ඒ අය උනන්දු වෙනවා. ඒ නිසා අනෙකුත් විභාග වලින් හොදට සමත් වීමේ සම්භාවිතාව වැඩියි.

      ඊළගට ශිෂ්‍යත්වය වගේ විභාගයක් ලකුණු 175 න් එහා අරං සමත් වෙනවා කියන්නේ ඒ ළමයි උපතින්ම තාර්කිකව සිතීමේ හැකියාව වැඩි අය. මොකද ශිෂ්‍යත්ව විභාගය සකස් වෙලා තියෙන්නෙම ගොඩක් තාර්කිකව හිතලා උත්තර ගන්න පුළුවන් විදියට. ඉතින් එහෙම හිතන ළමයි උසස් පෙළ ගණිත විෂයන් වලින්, විශේෂයෙන් ඇප්ලයිඩ් මැත්ස් වගේ විෂයන් හොදට සමත් වෙනවා. මේ ළමයි අකමැති යාන්ත්‍රිකව ලිවිය හැකි පියෝ මැත්ස් පේපර් එකට.

      ඒ වගේම ශිෂ්‍යත්වය කඩයිම් ලකුණු ආසන්නයේ අරං සමත් වෙන ළමයි අනික් විභාග වලදී පසු බසින්නේ, තමන් දක්ෂ බව සිතා නිකං සිටීම නිසයි. ඒ අය දන්නේ නෑ උපතින්ම තාර්කික බව වැඩි සිසුන් සහ, ශිෂ්‍යත්වවය අසමත් වෙලා හිටපු සිසුන් පාඩම් කිරීම නිසා ඒ අයව පහු කරගෙන ගිහිං කියලා.

      මං කියන දේ සරලව පරික්ෂා කරන්න පුලුවන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රථිපල ආවම. ඉන්පසු ලංකාවේ ඉහලින්ම එම විභාග සමත් වෙන සිසුන් තුන් දෙනා සමග සිදුකරන පුවත්පත් සාකච්චා ආදිය පුවත්පත් වල පලවෙනවා ඔබ දැක ඇති. ඒවායේ එම සිසුන් ගොඩක් වෙලාවට සදහන් කරනවා ඔවුන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිපල ගැන. ඒ අනුව බැලුවම පේන දේ තමයි උසස් පෙළ, සාමාන්‍ය පෙළ ඉහලින්ම පාස් සිසුන් හැමෝම වගේ ශිෂ්‍යත්වය පාස් වෙලා තියෙන්නේ ඉහලම ලකුණු අරං කියන එක ඒ වගේම කලින් වතාවේ මං දැක්කා උසස් පෙළ පළමුවෙනියෙක් ශිෂ්‍යත්වවය ෆේල් කියලා එම සිසුවිය සදහන් කර තිබෙනවා.

      ස්තුතියි අදහස් පල කිරීමට අවස්ථාව ලබා දීම ගැන

      Delete
  2. විශිෂ්ට අර්ථකථනයක්

    ReplyDelete
  3. Excellent!.. දැන් එතකොට ශිෂ්‍යත්වේ පාස් ළමයින්ට ශිෂ්‍යාධාර දෙන ස්කීම් එක නැද්ද? මම ඕක පාස් වෙච්චි එකෙන් මට ලැබිච්ච ලොකුම ප්‍රතිලාභය තමයි මාස තුන හතරකට සැරයක් මාසෙකට රුපියල් සීයක් ගානේ දීපු ආධාර මුදල.. ඒකෙන් සමහරවිට ගෙදරට කන්න හාල් පොල් පවා ගෙනියල තියෙනවා.. කොලඹ රෝයල් එකට උනත් යන්න ලකුණු තිබ්බත් මාව ඒ කාලේ ශිෂ්‍යත්වයෙන් පස්සෙ ගමේ මහ විද්‍යාලේට දැම්මේ ආර්ථික අමාරුකම් නිසා.. හරියටම අවුරුදු තිහකට කලින්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මාසෙකට සීයක් නේ. මගේ සීන් එක මරු, තාත්ත ආණ්ඩු සේවක. පඩිය තිබ්බේ හයසිය ගානයි [මාසෙට] හැබැයි ඒ කාලේ ආදායම් සීමාව පන්සීය ගානක්. මම තනියෙන් ෆෝම් එක පුරවල ලෝඩ් ෆකීර් වගේ තාත්තගේ පේ ස්ලිප් එකකින් පඩිය දාලා යැව්වා. සීමාව පන්නල නේ. ඉතින් මට සිස්සාදාරේ ලැබුණේ නෑ. මාසෙට දාහ දෙදාහ ගන්න උන්ගේ ළමයින්ටත් ලැබුණා. අවංක මන් හැමදා දුකේ. අම්ම තමා ඒ බූරු වැඩේ කට්ට කෑවේ.

      ඒ පාර ඊට මාස හයකට විතර පස්සේ තාත්ත නැතිවුනා. දැන් ආදායම බින්දුවයි. අපි ඇපීල් කළා ඒත් සල්ලි ලැබුණේ නෑ. මම ඉගෙන ගන්න කාලය පුරාම දන්නා හැම තැනින්ම කියෙව්වා. අන්තිමට කේස් එක අධ්‍යාපන වැය ශීර්ෂය සාකච්චා කරන දේශපාලන සබාවක් දක්වා යවාගන්න පුළුවන් වුනා [හැමෝම කිව්වේ පව් මේ අසරණ මිනිස්සු කියල] අම්බලන්ගොඩ සහ ගාල්ල අධ්‍යාපන් කාර්යාල වලට අඩුම ගානේ දහ පාරක්වත් යන්න ඇති [මට මුලින්ම ශ්‍රී ලංකා රාජ්‍ය අංශය මුණ ගැහුනේ එහෙම]

      සල්ලි හම්බුනේ ඕ ලෙවල් කලාම. ඇරියස් එක්ක හයදාස් ගානක්. හැබැයි ඒක ඒ වෙලාවේ හෙල්ප්ෆුල් උනා. වින්ද දුක සහ වින්ද හිත් වේදනා වලට වන්දි ගත්තනම් අධ්‍යාපන කාර්යාලේ දාපු බිල්ඩිම සල්ලිවලට අරගෙන උන්ටම කුලියට දෙන්න තිබ්බ.

      ලොකුම ආතල් එක ආදායම සාමාන්ය් රජයේ සේවක හයසීය වෙච්ච කාලේ සීමාව පන්සීයයි මාසෙට සීයයි නේ. දැන් රජයේ සේවකයෙක් විසිපන්දාහක් විතර ගනිද්දී තාම පන්සීයයි සීයයි නේද?

      Delete