Sunday, June 18, 2017

බිම්බරක් සෙනග දැන් නැත - චන්ද්‍ර සූර්යයා වෙනතක - හද්ද ගන් තුලානේ විඳවන්නෙ මොකටදෝ

මේක  මට  ඇත්තටම  වෙච්ච  වැඩක්  නොවේ  කියා  සමාජයේ  කටකතාවක්  තියෙනවා.  හැබැයි  මේක  වුණා  වගේ  ලියන්න බලාපොරොත්තු  වෙනවා.  ඒ  හරහා  පොඩි  නාසිස්ටික්  ආතල්  එකක්  ගත්ත   කියල  චෝදනා  කරනවානම්  ඔහේ  කරපුවාවේ.  ලයිෆ්  ඉන්  ප්ලාස්ටික් - ඉස් නාසිසිටික් කියල  ඩෙන්මාක් දේසේ  සුන්දර  ගැනු  ළමයෙක්  කියල  තියෙනවනේ.

රායිට්  මේකයි  සිද්ධ  වුණේ.  දැන්  මම  ලිව්වනේ  සුනිල්  සහ  නන්දා  දෙපළගේ  සුභාවිත විප්ලවීය  ගීත  සංධ්වනිය  වන පවන  ගැන  සමාජ  විද්‍යාත්මක  විවරණයක්.  ඊට  පස්සේ  මට  දැන්  බේරිල්ලක්  නැහැ විප්ලවීය  ගීත ගැන  සමාජ  විද්‍යාත්මක  විවරණ  ඉල්ලලා  පත්තරවලින්.  මේ  වතාවේ  ජර්නස්ලිස්ට්  කෙනෙක්  කතාකලේ රත්න  ශ්‍රී  ලිව්ව  කපුගේ  ගයන 'බිම්බරක්  සෙනග'  ගීතය  ගැන කතා  කරන්න.

ජර්නලිස්ට්  කිව්වට  පිටකෙනෙක්   නොවේ.  වෛද්‍යාචාර්ය මිහිඳු  ඉඳුනිල් ජයරත්න  මැතිඳුන්.  එතුමා  මේ  දවස්වල   නෙවිල්   ප්‍රනාන්දු  අනුස්මරණ  උත්සව වලට   දිගටම  නිවාඩු නිසා   දැන්  පාට්  ටයිම්   ජර්නලිසම්  කරනවා.

දැන්  මේ  ඔරිජිනල් පුවත මාධ්‍යයේ  යන්නේ  මෙහෙමම  නොවෙන්න  පුළුවන්  මම  ලියන්නේ මට මතක  හැටියට. හරියට  ලියාගන්න  එක  එයානේ  කරන්න  ඕනේ. මම  ලෙඩා  එයා  ඩොකා  - සොරි  මම විචාරක  එයා  මාධ්‍යවේදී නේ.

සීන්  එකට  එන්ටර්  වෙන්නේ මෙහෙම.

ඔහු: "තනිවචන කොච්චර කටෝරද වචන එකට ඈදුවාම ඒ කටෝර වචන කොච්චර මට සිලුටු වෙනවද කියන්න හොදම උදාහරනයක් රත්න  ශ්‍රී  ලියු කපුගේ  ගයන 'බිම්බරක්  සෙනග'  ගීතය. අපි  මේ  ගීතය  ගැන  කතා  කරමු. මුලින්ම  ගීතය  අහල  ඉම්මු"

බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව දෝ 


ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි

මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි

බිම්බරක් සෙනග...

කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඩු කොයි


වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා 

මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමවු
කඩුව බිම දමවු

බිම්බරක් සෙනග...


ඔහු: "සුභාවිත විප්ලවීය  සංගීතයේ දැවැන්ත  සන්ධිස්ථානයක්. ගෝලීය කරණය  බටහිර  ධනවාදය දිහාවට  බලෙන්ම  හාරාගෙන  ගිය  ලංකා  ආර්තිකය කියන  යෝද  ඇලේ  ඔරු  බැඳී  සියඹලාව ලෙස මේ  ගීය නැගී උන්නා.

 ඔය, .... "

[මට මතක  නැහැ හරියටම   පූර්විකාව. කෝම හරි මේ ගීය මාරයි කියල තමා කිව්වේ]

මම: "ඔය සින්දුව ඇඟට දැනෙන්නේ කම්පන සංගීත ප්‍රසංගයක අනූ එකේ විතර අහද්දී. පාරිසරික සාධක රාශියක්, පාසල් අවධියේ තිබ්බ විප්ලවවාදී අදහස් සහ කැරැල්ල මර්ධනයේ යටපත් වී ගිය හෙවත් යටපත් කරාපු අදහස් නැවත අවදිවෙන මොහොතක්. දැන් මම දරණ මතය ඊට වෙනස් වීම වෙනම කතාවක්"

ඔහු: "ඔබ ඒ  ගැන  දරණ  මතය  වෙනස්වීම  කනගාටුවට  කරුණක්.  ඊට  පෙර  කියන්න  ඔබේ  පැරණි  මතය"

මම: "ඉස්සරින්ම මම මගේ මතයේ  පොදු කොටස  කියල  ඉන්නම්.  ජයවර්ධන  රජය  ක්‍රියාත්මක  වුණේ  ඉතාම  අමන  ආකාරයට.  ඔවුන්  අමු  අමුවේ නියෝජනය  කලේ  තමන්ගේ  ගජ මිතුරු  ජාවාරම්කරුවන් - උන්ට  ධනවාදීන්  කියා  කියන්න  හොඳ  මදි. චන්දය අහේතුකව  ටර්ම්  එකක්   කල්  දාලා,  මිනිස්සු  බිය  ගන්නලා,  විපක්ෂය  කියල  තිබ්බ  පොඩි  කෑල්ලටත්  ප්‍රජා  අයිති  තහනම්, පක්ෂ  තහනම්  එතකොට කුමන්ත්‍රණ  චෝදනා  මත  හිර  දඬුවම්  දීලා,  රටට  කිසිම  වැදගත්කමක්  නොපෙන්වූ  බෙදුම්වාදී  විපක්ෂ  නායකයෙක්  එක්ක  තමන්ට  ඕනේ  දේ  ම  කරගෙන  ගිය  ආණ්ඩුවක්.  ආණ්ඩුව  මහජනයාට  පෙන්නුවේ  අපි  තොපි  ගැන ඩෝන්ට්  කෙයා  කියන  මතය.  ඒ  වගේම තපි  ඕනෙනම්  අපි  පස්සේ  වර  කියලා  ජොබ්  කාඩ්  සමාදාන  විනිශ්චයකාර  තනතුරු  ග්‍රාමෝදය  මණ්ඩල  එතකොට වගා  නිලධාරි  ආදී  තමන්ගේ  පක්ෂයෙන්  පහලට එන  ධූරාවලියක  රටම  එල්ලුවා. රජයෙන්  ඒලියනෙට්  වෙන  මිනිහට  කිසිම  විකල්පයක්  නැහැ.  ශ්‍රීලනිපයේ නිළ  නායකත්වයට  නඩු  දාලා  සයිඩ්  ලයින්  කරලා  අනුර  බණ්ඩාරනායක  වැනි  විසුළු  චරිතයකට  පක්ෂය  බාර  දුන්න.  ඊ  ගාවට  යම්කිසි  බලයක්  තිබ්බ  ජවිපෙ  තහනම්  කළා.  ඒ  වගේ  පසුබිමකයි  ඔය  සින්දුවට  පාදක  වන  පැලවත්තේ  විදෙස්  ආයෝජනයකට  කියා උක්  වවන්න  මිනිස්සු  පදිංචි  හෝ  මුඩු  ඉඩම්  වෙන්  කෙරුණේ.  ඉතින්  ඒ  වගේ  අමන  හැසිරීමකට  සංවේදී  කලාකාරයින්  ලෙස  ඒ  වෙලාවේ  එම  ස්ථානයේ  උන්නු  විරෝධතාවයට  පවා  සහබාගි  වුන  කෙනෙක්  ලෙස  රත්න  ශ්‍රී  ඔහොම  ලිව්ව  එක  සාධාරණයි. ඒ  නිසා  සිද්ධිය  හෙවත්  අවස්තාව  ගැන  මගේ  මතය  නොවෙනස්"

ඔහු: "හරි  ඒ  කොටස  තේරුම්  ගන්න  පුළුවන්. දැන්  වෙනස්  වුණේ මොකද්ද?"

මම: "ඔය  ටිකට  අමතරව ඒ  කාලේ  මම  හිතා  උන්නා  විදේශික  සමාගම්  වලට  දේශීය ග්‍රාමීය  පාරම්පරික  කෘෂි  ආර්ථිකය  කියන  මහා  අගනා  සම්පත  වනසන්න දෙන්න  බැහැ  මේක  මාර  අසාධාරණයි  කියල.  පැලවත්තට  පමණක්  සීමා   නොවී  මේ  චින්තනය  ලංකාවේ  ආර්ථිකය  මෙහෙයවීමේ,  විදේශ  ආයෝජන  හැසිරවීමේ,  සහ  සම්පත් භාවිතාවේ  පූර්වාදර්ශය  වෙන්න  ඕනේ  කියල. තරමක්  සමාජවාදී,  තරමක්  සාමුහිකවාදී,  තරමක් දේශියවාදී  සිහිනයක්. සතුරා  බටහිර, ධනවාදී, අධිරාජ්‍යවාදී පාර්ශ්ව.  අදටත්  ගීය  යෙදෙන්නේ  එහෙම  අර්ථයකින්. පොදුවේ  සංවර්ධන විරෝධී"

ඔහු: "සංවර්ධනයට අකමැති වීම  නොවේ, අකමැති ඒ හූරගෙනම යන එකට, පාගලා චප්ප කරලා දාන එකට"

මම: "ආපහු සින්දුවට ගියොත්, ඔහු විරුද්ධ හූරගෙනම යන එකට ද, පොදුවේ විදේශ  ආයෝජන  මත නිර්මාණය  වන  සංවර්ධනයට ද? දැන් අවු සියගානකට කලින් හටන් කළ හටන් බිමේ, පාරම්පරික සොහොනේ, මිනිස්සු වගා කළ හෝ පුරන් වෙච්ච ඉඩමේ නැතුව සංවර්ධනයට ලංකාවේ වෙන ඉඩම් තියේද?

ඔහු: "දැන් මොනරාගල සංවර්ධනය වෙලාද?"

මම: "සමහරවිට පැලවත්තෙන් යමක් වෙන්න ඇති. ඒක අපේ කළමනාකරණ ගැටළු නිසා විනාශ වුනා වෙන්නත් පුළුවන්. ජවිපෙ කැරැල්ලේ ප්‍රහාර වලටත් ලක් වුනා මතක හැටියට.

කතාව ඒක නෙවි, විදේශීය කාර්මික කෘෂිකාර්මික ආයෝජන වලට කැමතිද නැද්ද? මොකද ඔය සින්දුව අද භාවිතා වෙන්නේ මොනරාගල පැලවත්ත ගැන නෙවි, පොදුවේ විදේශීය ආයෝජන, ධනවාදී ආර්ථික සංවර්ධනය, ඉඩම් පවරාගනීම් ආදියට එරෙහිව.

පුද්ගලිකව මටත් ජයවර්ධන රජය ගැන ලොකු ප්‍රසාදයක් නැහැ, ඒ වුනාට ඔය කන්සෙප්ට් එකට ගහනකම් ඉතුරු වෙන්නේ ඔප්ෂන් කීපයයි. ඒ තමා අර වැසුණු දේශීය ආර්ථිකය, අපේ පෞරාණික ජීවන රටාව. ඒක නියෝජනය කරනවා කියන උන්වත් එහෙම ජීවත් වෙන්න   කැමති නැහැ අපි එතන ලත වේවි ඉද්දි සංවර්ධනය සහ ආයෝජන සිංගප්පුරුව මැලේසියාව තායිවානය කොරියාව ඉඳල තායිලන්තය චීනය වියට්නාමය හරහා අද බන්ග්ලාදේහය බුරුමය ඉතියෝපියාව රුවන්ඩාව කෙන්යාව වගේ අස්සටම ගිහින්, අපිව ඉග්නෝ කරලා""

ඔහු: "ඉතින්  අපිව ඉග්නෝ  කෙරෙන්නේ  ඇයි?"

මම:  "අපිට  උවමනාවක්  නැති  නිසා.  අපි  නිසි  පිළිගැනීමක්   එක්ක  විදෙස්  ආයෝජන  ගෙන්වන්නේ  නැති  නිසා.  අවිශ්වාසය  මූලිකම  හේතුව,  අනාරාධිතව  එන්නෙත්  නැහැනේ.

එක ප්‍රධානම ගැටලුවක් තමා  ඒ සංවර්ධනයට එරෙහිව කෙලින්ම පාරට බහින්න ඉන්න ජනතාව. සංවර්ධනය අවශ්‍යතාවයක් ලෙස සලකන්න සූදානම් නම් එය සැහෙන මධ්‍යස්ථ තැනකට ගෙන එන්න සමත් වෙනවා. එහෙනං  ආණ්ඩු  වලට  මිනිස්සුන්ට  ගහල බලෙන්  මන්නලා  කම්බි  ගහල  පොලිසිය  දාල  කරන්න ඕනේ නෑ.

සංවර්ධනයේ  නාමයෙන්  කෙරෙන ඕන   එකක්  මාර  සිරා  නැහැ.  එහෙත්  සංකල්පයක්  ලෙස  අපි  යන්න  ඕනේ  දිශානතිය  එය.  දේවල්වල  හොඳ  නරක  වෙන  වෙනම  සලකන්න  ඕනේ.  එක  ප්‍රොජෙක්ට්  එකක  වරදක්  තිබ්බත්  සංකල්පයට  ගහන්න  හොඳ  නැහැ.
"

ඔහු: "අපි මහා කාලකන්නි ජාතියක් නිදහසට ලෑස්ති නැති කාලෙක නිදහස හම්බුනා, කාර්මීකරණයට ලෑස්ති නැති කාලෙක ඒක බලෙන් පැටෙව්වා, සංවර්ධන වෙනුවෙන් ගෙව්න්න උන දඩය මාර වැඩියි , දන් අපි ඒකෙන් ඇති උන විකෘතියට අහුවෙලා හුල්ලනවා"

මම: "මම ඕක කියවන්නේ එහෙම්ම අනිත් අතට. ඔව් අපි මහා කාලකන්නි ජාතියක්. මිනිස්සු නිදහස ගැන සටන් කරද්දී ජාතික හැගීම ජාතුක අනන්‍යතා ගොඩ නගද්දී අපි සුද්දගේ සපත්තු ලෙව්වා. අපේ වාසියට රටේ මිනිහට චන්ද බලය අධ්‍යාපනය දෙන්න එපා කියල සුද්දට ගතු කිව්වා. එතකොට ලෝකේ කාර්මික දියුණුව ලබද්දී අපි රට සහලින් ස්ව්‍යන්පෝෂණය කර පෙරදිග ධාන්‍යාගාරය ආයි හදන්න හිතුවා. රටවල් ලෝකෙට විවෘත වෙලා ආයෝජන පස්සේ යද්දී අපි එවකට ආපු ආයෝජන වහල ආර්ථිකේ වහල දැම්ම. ඊට පස්සේ ලෝකේ බහුවිධ සංස්කෘතික චින්තනයෙන් මිනිස්සු දිහා ජන වර්ගය වෙනුවට ස්කිල් සෙට් එකෙන් [මේකත් වර්ගවාදයක්] බලද්දී අපි අපේ සුළු මහා වාර්ගික අම්මගේ රෙද්දවල් තෘප්ත කරන්න දැඟලුවා [තාම දඟලනවා සුළු මහා හැම වර්ගෙම වෙනුවෙන්. විද්වත්තු බෙදිලා කඩේ යනවා ඒ ඒ වර්ගවාදෙට]. දැන් කාර්මික සංවර්ධනය පවා  යල්  පැනගිය  එකක්.  කොස්ට්  එක නිසා  එයත්  වඩාත් නොදියුණු රටවලට යන කාලයක්.  මේක  සේවා සහ  තොරතුරු යුගය. එතනට දියුණු වෙන  ලෝකේ යද්දී දැන්  තමා  අපි හදිස්සියේ කර්මාන්තශාලා දාල රට හදන්න කතා කරන්නේ - හැබැයි  බලු  බල්ලෙක්  දැන්  එන්නේ  නැහැ. අපි අපේ විකෘතිය ගැන ඒ මදිවට ලෝකෙට බනිනවා."

ඔහු: "දැන් ඔය සින්දුව ගැන හිතන්නේ මොකද්ද?"

මම: "සින්දුවේ අර්ථය මට තේරෙන්නේ, පාරම්පරික ගම්බිම් සංවර්ධනය සඳහා [විදෙස්] ආයෝජන වලට ලබාදීමට එරෙහිව.

දැන් කවුද ඔය පාරම්පරික ගම්බිම් වල ජීවත් වන්නේ? ඉස්සර කෘෂිකර්මයෙන් යැපුණු පරම්පරාවල වර්තමාන මිනිසුන්. ඔවුන්ගේ ගොවිබිම්. දැන් ගොවිබිම් කිව්වම පුරන් වෙලා, හැල් වෙලා ගියපු ගොවිබිම් අස්සේ තැන තැන වගාකෙරෙන බූදල් බෙදිලා ඉතුරුවෙච්චි හුන්ඩු කුඹුරු කෑලි. දැන් ගොයිතැන් කරන එව්වයෙන් යැපෙන පවුල් ගණන බොහොම ටිකයි. හැබැයි ඉස්සර කෘෂිකර්මයෙන් යැපුණු පරම්පරාවල ඉතිරි මිනිසුන් කරන්නේ මොකද්ද?

වෑ තලෙන් එන සීතල හුළඟත් එක්ක බංඩි ගොයම මැද්දෙන් පයින් හෝ බයිසිකලෙන් ගම් මන්ඩියට ගාටලා එතනින් ලොරියේ පස්සේ ලෑලි ගහපු හෝ දෙකට නවල වෑන් එකට පටවන ලෝකල් ට්‍රාන්ස්පෝට් එකේ ළඟ ටවුමට ඇවිත් එතනින් බස් එකේ හෝ කෝච්චියේ යනවා එදා වේල හොයාගන්න. සමහර විට ගෑනියි මිනිහයි දෙන්නම. මධ්‍යම පන්තිකයා පමණක් නෙවි, කුලී වැඩ, මේසන් වැඩ, බේකරි වැඩ කන්කරු සිකුරිටි ඔක්කොම. උන්නේ ළමයි එක්කෝ අහල පහල කිව්වට කිලෝමීටර ගානක තියෙන ඉලුක් ගාල් අස්සෙන් ගිහින් දොලෙන් එගොඩවෙලා ගලෙන් බැහැලා යන හුට්ටලම් පොඩි ඉස්කෝලෙට යනවා අකුරක් මලවගෙන කන්න. නැතිනම් ඊටත් කට්ට කාලා ටවුමේ ඉස්කූල්ස් එකට ගාටනවා.

එතකොට උන් වසන යන එන බිම කියන්නේ සමහරවිට වාසයට නුසුදුසු නාය යන්න නියමිත එකක්, නැතිනම් අලියා ගහන තැනක් නොවේනම් වතුර නැති පලාතක්, නොවේනම් ගංගාවක පිටාර තැන්නක් [හෙවත් වසරෙන් කොටසක් ජලයෙන් යටවන පෙදෙසක්]. සිම්ප්ලි පාරම්පරික ලේබලේ තිබ්බට වාසයට වර්තමානේ නුසුදුසු තැනක්.

නාගරිකයා දැක්ක කිව්ව  ගැමි සුන්දර ජීවිතේ ඕකයි - ගැමියා නාගරිකයාගේ  අම්මට කියා කියනවා  ඒ  වෙලාවට.

දැන් ඔය මනුස්සයින් ඔය පාරම්පරික ගම්බිම් වල ජීවත් වන්නේ ඇයි? ඔය මිනිසුන්ගේ ජීවිතේ දුක් කන්දරාව තියෙන්නේ අර කට්ට කාලා ළඟ ටවුමට රීච් කරන එකේ නේද? ඌට පරචස් කීපෙක දීසන්ට් වාසස්ථානයක් ඒ ටවුමේ ඇත්නම් ජීවිතේ සැහෙන්න යහපත් වෙනවා නේද? වැඩි මූල්‍ය අවකාශයක් එනවා නේද? අර කිලෝමීටර ගානක තියෙන ඉලුක් ගාල් අස්සෙන් ගිහින් දොලෙන් එගොඩවෙලා ගලෙන් බැහැලා යන හුට්ටලම් පොඩි ඉස්කෝලෙ වෙනුවට ළමයි සංකේන්ද්‍රගත වීමෙන් නගරයේ ඉස්කෝලේ කොලිටිය තවත් නගිනවා නේද? [අපි උගත් ප්‍රාදේශීය හොඳ ඉස්කෝල එහෙම වුණේ ජනගහන ඝනත්වය නිසානේ]

ඒ මිනිහට පාරම්පරික ගම විසින් දෙන එකම දේ අවස්තාව අහිමි කිරීම පමණයි. කැප්පෙටිපොළලා හටන් කොරාපු මුතුන්  මිත්තන්ගේ ඇටකටු නිදන ඒ භුමිය ඔවුන්ට දෙන්නේ ඔච්චරයි.

ඒ මිනිස්සු අහල නාගරික වලට ගන්න පුලුවන්නම්, ගොවියට හේනක් කුඹුරක් හෝ ලංකාවේ වැඩිය නැති ගොවිපොලකට අවශ්‍ය ඉඩ ලැබෙනවා, අලියට සංක්‍රමණ අවකාශයක් ලැබෙනවා පහල ඉන්න එවුන්ට නාය යන අවදානම අඩුවෙනවා භුමිය නැවත වනගත වීමෙන්, ගංගා පිටාර අවහිරය වැලකිලා ගංවතුර වේගෙන් බහිනවා. සිම්ප්ලි ඔය පාරම්පරික ගම්බිම් කියනෙන් මේ මොහොතේ ස්වභාව ධර්මයට උස්සන පත මැද ඇඟිල්ලක්.

ඉතින් ඕකයි ගැටලුව. රත්න ශ්‍රී ලාගෙන් ඕනේ විප්ලවීය වෙනස නම් වර්තමානය වෙනුවෙන් අතීතකාමී මනස වෙනස්කිරීම  විනා අතීතය වෙනුවෙන් වර්තමාන මානසිකත්ව සැකසීම නොවේ. බිම්බරක් සෙනග ගැවසුනාට දැන් උන් නැහැ, මැරිලා. මැරිච්ච උන්ගේ ඇටකටු වෙනුවෙන් පනතියෙන උන් කටු කන්න ඕනේ නැහැ. චන්ද සූර්යයා ඉපදුනාට දැන් උන් පායන්නේ වෙන කොහාටවත්. කාලේ හරි එහෙට යන්න. පාරම්පරික ගම්බිම් කිව්වට සෑම මිනිස් වාසස්තානයක් ම ස්වභාව ධර්මයෙන් කුලියට ගත්තුවා. නිසි කල් පිරුණම එව්වා භුමි හිමියාට දීල හෝ රටේ යහපතට අතහැර වර්තමානය සොයා යන්න ඕනේ.

ඔය කතාවට තරමක් ආසන්න දෙයක් කලිනුත් ලිව්වා. මේ එහි ම දිගුවක්."

සංවාදය  එතනින්  සමාප්ත  වුණා.  කෙසේ වෙතත්  මේක  ඇත්තටම  වුණා  හෝ  නොවුණා,  කෙනෙක්  උපුටා  ගන්නවා  නම් [කලින්  එකක්  ගත්ත  නිසා  කියන්නේ]  නම්ගම්  මකා  ගන්න. මමනම්  මොකා  වුනත්  එතුමා  ප්‍රකට  වෛද්‍යවරයෙක්.