Thursday, May 25, 2017

එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ...

[(අ)ස්වාභාවික  විපත්ති  ම  වවාගෙන  කනවා  කියන උන්ට  තඩි  මැද  ඇඟිල්ලක්  හරිය]

ලංකාව වර්තමානයේ මුහුණදෙන මූලික අර්බුදයක් තමා තෙත් කලාපේ පදිංචි වෙලා වියලි කලාපිය චින්තනයෙන් සිතීම. ඔය සහලින් රට ස්ව්‍යන්පෝෂණය කිරීම වාරි සංස්කෘතිය අපේ පැරණි ගම, ඔය ඔක්කොම ඇවිල්ලා වියලි කලාපේ වියලි බව එක්ක ආපු දේවල්. පස්සේ මිනිස්සු ඒ පළාත අතහැර ගියා. ආපහු දැන් වියලි කලාපේ ඉන්නෙත් වැඩි හරිය තෙත් කලාපෙන් පහුගිය අවුරුදු 100 අස්සේ ආපු එවුන්.

ඉතින් දැන් වෙන්න ඕනේ අධික ජල ධාරිතා සහිත නිතර වහින වැස්ස හා සමගාමිව යන තෙත් කලාපිය පරිසර පද්ධතියේ නිර්මාණය කරගන්න පුළුවන් ශිෂ්ටාචාරය හදා ගන්න එක. එය මොකද්ද කියන එකවත් හිතා නැහැ. වියලි කලාපේ කළ වගාවම එද්දී උස්සගෙන ඇවිත් තෙත් කලාපේ අතුරාගෙන. කොටින්ම තෙත් කලාපේ වගා කොරනවද වෙළඳම් කොරනවද නිෂ්පාදන කොරනවද ටුවරිසම් කොරනවද ඔය වගේ මට්ටමකින් සුසමාදර්ශී වෙනසක් වෙන්න ඕනේ හරිනම්.

අසීරු පරිසරයක වගා කරන්න අවශ්‍ය සියුම් ජල තාක්ෂණයක් නිර්මාණය කිරීම මත දියුණු ශිෂ්ටාචාරයක් හදාපු ලාංකිකයාගේ පසු පරපුර ගංගා වල වතුර වැඩිනිසා ගංවතුර එනෝ එනෝ කියල කෑගහන එක අමු ජෝක් එකක්. අඩු වතුර ප්‍රමාණයක් නිසිලෙස බෙදාහරින්න බිසෝකොටු හැදුවානම්, කුඩා දිය මූලාශ්‍ර රාශියක ජලය විශාල පෙදෙසක බෙදා හරින්න සමෝච්ච රේඛාවක් දිගේ "දික් ගැස්සුණු වැවක්" වන යෝධ 'ඇල' හැදුවානම් ඒ වගේම සියුම් ආකාරෙට කළු කැළණි ගින් නිල්වලා ඇතුළු තෙත් කලාපිය ගංගා වල පිටාරයන් වලට තමන්ගේ තාක්ෂණික ක්‍රමවේද හදා ගන්න බැරි වුණේ ඇයි? තාමත් බැරි ඇයි? මේකත් වැව් හදාගෙනම ගොඩ දාන්න බෑ. වියලි කලාපයේ තින්කින් එකෙන් කරන්න බෑ.

ලංකාවේ ජල කළමනාකරණය ගැන පරමාදර්ශය වන්නේ "අහසින් වැටෙන එක දිය බිඳක් වත් මිනිසාගේ පරිහරණයට නොගෙන මුහුදට නොයැවිය යුතුය" කියන පරාක්‍රමබාහු රජතුමා කිව්වා කියා හිතන කතාවනේ. දැන් මේකත් හද්ද වියලි කලාපිය එකක්නේ. කොටින්ම අපි දන්නවද ඒ ස්පීච් එකේ ඊට කලින් රජතුමා කිව්ව ටික. එයාගේ ස්ටේට්මන්ට් එක බේස් කරන කන්ටෙක්ස්ට් එක. පෙර වගන්තියේ තිබ්බද "මේ වියලි කලාපයේ" කියල කෑල්ලක්. මොකද එතුමාගේ කාලෙත් තෙත් කලාපේ වතුර ඔහොම කාටවත් පරිහරණය කර කර ඉන්න වෙලාවක් තිබ්බේ නැහැනේ. කොටින්ම පරාක්‍රමබාහු රජතුමාම ඊට කලින් කළුතර හරියේ ප්‍රාදේශීය රජෙක් වෙලා ඉන්න කාලේ කළුතර වැහි ජලය ස්ටෝර් කළ බවට අපි අහල නැහැ. එයා කරලා තියෙන්නේ කළු ගඟේ පිටාර තැනි වල වතුර බස්සපු එක. ඒ තාක්ෂනය සහ සැලසුම හාත්පසින්ම වෙනස්. 
අහසින් වැටෙන වතුර වගුරු වල පිරෙමින් මිනිසුන්ට කරදර කිරීම නවතා හැකි ඉක්මනින් මුහුදට බස්සවා ඒ වගුරු ගොවිතැනට ගත්ත. මේක ඔහුගේ ක්‍රියේටිව් කම. සුදුසු තැනට සුදුසු දේ. අපි අවු 1000 ට ආසන්න කාලයක් ගිහිල්ලත් තාම ඔහුගේ කියමනක එල්ලිලා ඉන්නවා

අපි මොහොතකට හිතමු අර අහසින් වැටෙන කතාව රජතුමාගේ පොදු මතය කියලා. හැබැයි එයා තෙත් කලාපේ ඉන්න කාලේ ඒ මතය වෙනුවට ප්‍රයෝගික බිමේ යතාර්තයට තමා විසඳුම් දීල තියෙන්නේ. ලංකාවට ඕනේ එහෙම මිනිස්සු. මේ වියලි කලාපික ජල කළමනාකරණ චින්තනය උඩු යටිකුරු කරලා තෙත් කලාපේ වතුර ඉක්මනට බස්සගන්න උත්සහ කරන්නන්. අවාසනාවට පරාක්‍රමබාහු ම තමා ඒ ලිස්ට් එකේ පේන්න ඉන්න අන්තිමයා.

කතාවට කියන්න වගේ, "එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ - කන්ද කපවු - ගල් පෙරළවු - වේලි බඳිවු - ගමන බිඳිවු - ගංගාවේ" කිව්වම කැළණි ගඟටත් හිතෙනවා ඇති ඉඳල හිටලා ඔය කියන එකේ ටිකක් නැවතිලා යන්න. "එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ගංගාවේ" තින්කින් එක එන්නේ කවද්ද?


---------------------------------------------------------------------


ප.ලි.: කතාව  දිග  ඇරෙන  තරමට  පසු  ලිවීම්  වැඩි  කරන්න  වෙනවා.  මූලික  පෝස්ට්  එකේ  මම  කතා  කරන්න  උත්සහ  කරන්නේ  චින්තන  වෙනසක්  ගැන.  එනම්  වියළි පෙදෙස්වල ජල   කළමනාකරණය  ජලය එකතු  කිරීම  වැනි  වියලි  කලාපයෙන්  අපි  සංස්කෘතිකව  උස්සගෙන  ආපු  චින්තනය  වෙනුවට  තෙත්  කලාපේ  වතුර  ටික  ඉක්මනින්  ම  කොහෙට හරි   බස්සන  එක  ගැන. එතකොට එන   කතාව  තමා  කොහෙටද  වතුර  බස්සන්නේ කියන එක. මේ අරමුණින් තෙත්  කලාපේ අතිරික්ත  ජලය   දළ වශයෙන් ගොඩවල්  දෙකකට  බෙදන්න  කැමතියි  ඒවා කොහෙටද  යවන්න  ඕනේ  කියන  එක  සළකා.

1. කඳු  සහිත  ඉහල  ප්‍රදේශ වල ගංගා  නිම්න  පෝෂක  ප්‍රදේශ  ආදියට වහින   වතුර. මෙතන මට  වැදගත් කාරණය තමා උස  නිසා  එන  ජල-හිස  හෙවත්  වෝටර්  හෙඩ්  එක.  මේ  දත්තය  මත  ඒ  වතුර  කැමති  දිහාවකට  හරවගන්න  පුළුවන්. මේවා  පවතින  ගංගා  දිගේ  මූදට  යවන්න  බැහැ,  එතකොටනේ  ගංවතුර  එන්නේ.  ඒ  නිසා  මේවා  වෙන  කොහෙට  හෝ  හරවා  යවන්න  වෙනවා. එය මේ සටහනේ  අග කතාවට  ගන්නවා.

2. තෙත්  කලාපයේ   පහත්බිම්  වල  පවතින  ගංගා  පෝෂණ  ප්‍රදේශ  වලට වහින  වතුර. මේවා ඉතාම  අඩු  ජල  හිසකින්  යුක්ත  නිසා  ඒ වතුර කොහෙ
වත් දුර පළාතකට යවන්න බැහැ. කළ හැකි එකම දේ ආසන්න සාගරයට ඉක්මනින් යවන එක. ඒකත් වෙන්නේ නැත්තේ ජල හිස ඉතාමත් අඩු නිසා. වඩාත් ක්‍රියේටිව් අදහසක් අවශ්‍ය මෙතැනදී. මේක කුඩා කෙටි දුර ඇල මාර්ග සහ උමං පද්ධතියක් වෙන්න පුළුවන්. හදිසියට  පුරවන්න  වගුරු  වගේ  පද්ධති  තියාගන්න  වෙන්න  පුළුවන්.  මේ පද්ධතිය හදන්න ඕනේ භුමිය අධ්‍යන කරලා ස්වීට් ස්පොට් තෝරා ගැනීමෙන්. [පරාක්‍රමබාහු රජතුමා පස්දුන් රටේ කළා කියන ඉපැරණි ක්‍රියාදාමයත් අයිති වෙන්නේ මේ ගණයට. දැනටත් කළු ගඟේ ඉඳල බොල්ගොඩට කවුරු හෝ   කනෙක්ෂන් එකක් දාල තියෙනවා. මේ ඇලවල් පුරාන කාලේ කපපු ඒවා. ]

ඔය පළවෙනි එකේ කිව්ව ඉහල ජල හිසක් සහිත වතුර බස්සන එක ගැන දිගු විස්තරයක් කලකට පෙර ෆේස්බුක් පෝස්ට් එකක් ලෙස දැම්මා. මේක ඒ කාලේ ආණ්ඩුව කළ ව්‍යාපෘති වලට ගැලපුනා. මේ ඒ කතාව.



වසර පහකට දහයකට වරක් දැවැන්ත නියඟයක් එන රටක් ලංකාව. ලංකාවේ තියෙන අර්බුදය නම් අරීයව විසිරුණු ජල පරිවහනයක් සහිත රටක් නිසා වියලි කලාපයට තෙත් කලාපයේ අතිරික්ත ජලය ස්වාභාවිකව ගලා නොයාම. මේ නිසා තෙත් කලාපයේ ගංවතුර ඇතිවී මාසයකින් දෙකකින් වගේ වියලි කලාපයේ නියඟය.

මෙච්චර කාලයක් වෙනත් ක්‍රම වලින් මේක පිරිමහ ගත්ත වුනත් දැන් මේ ගැන අලුතෙන් හිතන්න කාලය ඇවිත්. තෙත් කලාපයේ අතිරික්ත ජලය වියලි කලාපයට අරගෙන යාම ගැන ලංකාවේ අදාළ බුද්ධිමය සර්කල් වල කතා වෙන්නේ නැද්ද? මේක මහලොකු වැඩක් නොවේ කිමි දෙතුන්සීයක ඇලක්. ලංකාව මෑත කාලයේ කල ප්‍රොජෙක්ට් වල වියදම් හැටියට මේක කරන්න බැරි වැඩක් නොවේ. එක අතකට ලැජ්ජාවට කාරණයක් මෙච්චර පොඩි රටකට මේක කරගන්න බැරි ඇයි කියන එක.

ෆේස්බුක් එකේ මේවා කතාකලාට වැඩක් නැහැ තමයි. එත් මේ කතාබහ පත්තරේකවත් වෙන බවක් නොදකින නිසා, ලංකාව තාමත් මේ වැඩේ බ්ලයින්ඩ් ස්පෝට් එකක තබා තියෙන නිසා මේක ගැන අපි කතා කලාට වරදක් නැහැ මගේ හිතේ. සමහරවිට විෂය දැනුම සහිත අයගෙන් ලොකු දායකත්වයක් ලැබෙයි.

විදෙස් උදාහරණ නම් එමටයි. මුලින්ම නයිල් ගඟෙන් ඇලක් කපලා පහත්බිමක කෘතීම ජලාශයක් හදන්නේ ඉපැරණි ඊජිප්තුකාරයින්. පර්සියාවේ ඛනාත් වගේ දේවලුත් උදාහරණ. අපේ යෝධ ඇල කුඩා පරිමාණයෙන් මේ වැඩේට ගත්ත උත්සාහයක්. වැඩේට ගන්න තියෙන හොඳම උදාහරණය නම් ලෝකයේ දිගම ඇල වන චීනයේ "මහා ඇල" කිමි දහස් ගානක් දුර ගෙවාගෙන මහා ගංගා කීපයක් පහු කරගෙනයි මේ ඇල යන්නේ. චීනුන් මේ වෙද්දී උතුරු-දකුණු ඇල පද්ධතිය නමින් දකුණු චීනයේ ගංවතුර ජලය ඇතුළු මොන්ගොලියාවට ගෙනයන දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් කරමින් ඉන්නේ. චීනුන්ටත් වසර 50ක් යාවි ලු.

මේ ගැන හරි කතිකාවක් ඇති වුනොත් රජය මේකට අතගහන්න ඉඩතියෙනවා මොකද එයාලට අවශ්‍ය දේවල් ඔක්කොම මේ වගේ මෙගා ප්‍රොජෙක්ට් එකක තියෙනවා. ලංකාවේ වැඩ සිද්ධ වෙන කලාව බලලා කිව්වේ. අනික චීනුන්ට මේ ගැන සර්ප්ලස් දැනුමක් තියෙන නිසා උනුත් කැමති වේවි කොහෙට හෝ ආයෝජනය කරන්න

මගේ සත දෙකේ අදහස නම් යෝධ ඇල ආදර්ශයට ගෙන කැළණි ගඟේ සිට වියලි කලාපය පැත්තෙන් රවුමට දකුණේ ගින් ගඟ දක්වා පමණ වට රවුම් ඇලක් 200m-500m අතර සමෝච්ච රේඛාවක ගහන්න කියලා. අතිරික්ත ජලය කැමති අතකට බෙදාගන්න පුළුවන්.