Saturday, April 15, 2017

කුණු කතන්දර





මේක  ටිකක්  පරණ කතාවක්. මේ අපි මොරටුව හරියට පදිංචියට ආපු මුල කාලේ. පළාත එක්ක  සම්බන්ධකම්  තිබ්බට  මට පළාත අලුත්. ඉඩමක් හොයමින් උන්නේ ගෙයක් හදන්න, මොරටුවේ අහලකින් ගන්න බැහැ හෙණ ගණන්.

ඔය අස්සේ මම පත්තරේ දැක්ක ඉඩමක් අම්බානට ගාන අඩුයි. සාමාන්‍ය පර්ච් අගයෙන් බාගෙටත් අඩුයි. ඇත්තෙන්ම මේකමත් හේතුවක් කාරණා දන්නා මනුස්සයෙකුට ඒක නොගන්න. ඒත් ඔහොම මුල කාලේ අපි වගේ පිටින් ආපු ලොස් ඩයල් මෙන්ස්ට්‍රීම් එකට එන්ටර් වී ගන්න බැරි නිසා ෂෝට් කට් හොයනවනේ. ගත්ත කෝල් එකක්.

ලොකේෂන් එක කටුබැද්ද කැම්පස් එකට තරමක් කලින් අර පහුකාලෙක බෝම්බෙ තිබ්බ හරියෙන් ඇතුලට යන පාරක. මම කෝල් කලාම පොර මට ඉන්සිස්ට් කරලා කිව්වා උගේ ඉඩම තියෙන්නේ අහවල් තැන එතන මට ගැටලුවක් නැද්ද කියල. ඉතින් ගැටලුවක් තියෙන්න තැනක් දන්නේ නැහැනේ. මං කිව්වේ අවුලක් නැහැ කියල.

ඊට පස්සේ ඉතින් මම ගියා බලන්න. පයින් ම කොටමින් ගියේ. ගෙවල් ඉඩම් බලන්න පයින් ඕනේ යන්න. දුරවල් මීටර් වෙන්නේ එතකොට. හැබැයි මම ගියේ ඒ නිසා නෙවි වාහනයක් තිබ්බෙ නැති නිසා.

දැන් 255 පාරෙන් බැහැලා තරමක් දුර ගියා . හොඳ හොඳ ගෙවල් පහු කරගෙන හදාගෙන එන ගවලුත් පහු කරගෙන කට්ටි කඩන ඉඩම් වල ගණනුත් බලාගෙන යනවා යනවා ඉවරයක් නැහැ, මේ පොර මට කිව්වේ අහවල් කඩේ ලඟට ඇවිත් කෝල් කරන්න කියල. හරියට ඇඩ්රස් එකක් දුන්නේ නැහැ. ගිහින් ගිහින්  කඩේ ලඟදි කෝල් කළා. ඒ පාර කිව්වා පොඩි අතුපාරකට හැරෙන්න කියල. දැන් මේකේ යද්දී වෙලකට සෙට් වෙනවා. මම ආයිත් කෝල් කළා. ඒ පාර කිව්වා වෙල දිගේම එන්න වෙල ඉවර වෙද්දී කෝල් කරන්න කියල.


වෙල දිගේ ගිහින් නතර වුණේ අමුතුම තැනක. නෝමල් පොළොවක් වෙනුවට තිබ්බේ ගාබේජ් බෑග් පෙට්ටි ආදියේ කලෙක්ෂන් එකක්. සිම්ප්ලි කුණු ගොඩක්. දැන් ෆුල් අන්දොස්. මම ඒත් ටිකක් ඉස්සරහට ගියා. ඉස්සරහට යද්දී කුණු ගොඩේ ගතිය ගිහින් නිකම් තැනිතලා බිමකට ආවා, පාරක් හැදිලා තිබ්බ වීල් එකක් යාහැකි. කානුත් තිබ්බ දෙපැත්තේ. හැබැයි හොඳට බැලුවොත් පොලොව හැදිලා තියෙන්නේ පස් වෙච්ච කුණු වලින්. මීටර් පන්සීයක් විතර පළල කෑල්ලක් ඒකෙ තැන් වල ගහක් විතර උස කුණු කඳුගැට. ඒ කඳු අතර බිමේ මිනිස්සු ගෙවල් හදාගෙන හිටියා. ගෙවල් කිව්වට පැල්පත්. ඒ ඒරියා එකේ උන්නු මිනිස්සු සාමාන්‍ය ඇහැට දකින අයට වඩා පෙනුමෙන් වෙනස්.

මේක තනිකරම ගමක්. වෙළෙන් සෙසු ලෝකයෙන් වෙන් වෙච්ච ගමක්. ගම නිර්මාණය වන්නේ සහ සමහරු යැපෙන්නේ කුණු ඩම්ප් කළ නිසා. මොරටුවේ ඉන්න කී දෙනෙක් ඔතනට ගිහින් ඇද්ද මන්දා. මගේ මිනිත්තු කීපයක අධ්‍යනය නම් කුණු මත ගොඩ නැගුනු සමාජ උප සංස්කෘතියක් මිනිස් ජනාවාස පද්ධතියක් ලෝකේ තියෙන බව. මං කියන්නේ අපිට ඔව්ව විකියෙන් කියවල සයිට් වලින් උස්සල දෙන්න පුළුවන්, හැබැයි ඒ වගේ නෙවි ඒ මහ පොළොවේ උනුත් එක්ක හිටන් ඉන්න කොට එන අදහස. හිතන්න එපා ඒ ඔක්කොම හද්ද නොදියුණු දුප්පත් කියල. ස්මාට් ෆෝන් එකෙන් නෙට් එන ඩයල් ඕකෙත් ඇති. හැබැයි එතන මුළු ජීවිතේම තනි වෙනස් උප සංස්කෘතියක්.

අපි එපා කියල ඩම්ප් කරන එව්වා තව කාට හරි ඉන්න ඕනේ වීම ම අමුතුයි නේද?

කොහොම උනත් මට එදා තේරිච්ච දේනම් කුණු සම්බන්ධයෙන් ඒ සී කාමර වල සුදු කරපටි සංවාද සහ ඇකඩමික හෝ වෘත්තීය වේදිකාවේ කෙරෙන කතාබහ හද්ද නිෂ්පල එකක් කියල. සිම්ප්ලි මේ කුණු කඳු සහ ඒ කඳුවල පත නිම්න අසබඩ වෙසෙන ජනයා කියන එකිනෙකින් වෙන්කළ නොහැකි තනි ටොපික් එක ඇඩ්රස් වෙලා නැහැ හතර මායිමකින්. මොරටුව ඔහොම නම් බ්ලුමැන්ඩල්  එතකොට  වැල්ලම්පිටිය/මීතොටමුල්ල කොහොම ඇද්ද? ඔය  උඩ  පින්තුරේ  තියෙන්නේ  මීතොටමුල්ල.  දැනගත්තේ මෙතනින්

සිංහල අවුරුද්ද දවසේ මීතොටමුල්ලේ ගොඩ ගැසෙන කොළඹ නගරයේ දෙවැනි කුණු කන්ද පුපුරා යාමෙන් නිවාස සීයක් දෙසීයක් විතර එක්ක ජීවිත නොදන්නා විශාල ගණනක් විනාශ වෙලා තියෙනවා.

ලෝක දෙකක් යා වෙලා, මම මේ රටට ආවම රස්සාවට සෙට් වුණේ ෆ්ලීට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයා එකක් කරන්න, එකත් කුණු එකතු කරන තඩි සමාගමක. දැන් මේ රට පත සයිස් හිස් බිමක්. ඕනෙමනම් මීතොටමුල්ල වගේ සිය දහස් ගුණයක කඳු ගහන්න පුළුවන් මෙලෝ බක්කෙකුට හොයාගන්න බැරි තැන්වල. ඉන්දියාව වගේ දෙගුණයක රටක ඉන්නේ ලංකාවේ ජනගහනය. 95% විතර ඉන්නේ නගර කීපෙක. සෙස්ස හිස්. හැබැයි අර කොම්පැනිය එකතු කරන කුණු වලට කරන්නේ මොකද්ද දන්නවද? උන් ඒ කුණු පොඩි සයිස් කන්ටේනර් බොක්ස් බලට දාලා ඒක කම්ප්‍රෙස් කරලා සීල් තියනවා. ඊට පස්සේ සමාගමට අයිති උන් නඩත්තු කරන වෙන කිසිවෙකු පාවිච්චි නොකරන රේල් පාරක කිමි දාස් ගානක් එව්වා ගෙනිහින් අතහැර දැමු ගැඹුරු පතලක ඒ කුණු අඩුක්කු කරනවා. වසර තිස් හතලිස් ගානකින් ඕක පුරවනවලු.

මිනිස්සු දාන නගරසබා කුණු එකතු කරන්නේ සබාවෙ බදු සල්ලි වලින්නේ. ඉතින් ඒ සල්ලි වලින් කොහොමද මේ රේල්පාර හදාගෙන නඩත්තු කරන්නේ? අනික ඔහොම මධ්‍යගත නොවන සබාවල් වලින් මේ වගේ වියදම් සමාගමකට අවුට් සෝස් කරනෙන් කොහොමද? එහෙම නැතිනම් ඒ නගර සබා ඔක්කොම එකම වැඩපිළිවෙලකට ගන්නේ කොහොමද? ඕක මෙතැනදී අහන සුපුරුදු ප්‍රශ්නේ. ඕස්ට්‍රේලියාවේ අයට සල්ලි තියෙනවනේ. ඉතින් කරන්න බැරිද? නෑ මේක කරන්නේ පිටින් සල්ලි දාල නෙවි. මෙන්න මෙහෙමයි කරන්නේ.

සමාගම නගරසබාවල කුණු එකතු කරන්නේ නැහැ [පර්ත් වල කොහේ හරි එකක් කරනවා මගේ හිතේ ඒ විතරමයි] හැබැයි නගරසබා කෝපරේට් කුණු හෙවත් වාණිජ ආයතන වල කුණු එකතු කරන්නේ නැහැ. ඒ සියලු වාණිජ ආයතන කාට හෝ මුදල් ගෙවා කරවා ගන්න ඕනේ. මේ සමාගම තරම්ම ලොකු නැතත් එහෙම එකතු කරන සමාගම් අඩුම ගානේ පහක් හයක් මෙහෙ තියෙනවා. තමන්ගේ වාණිජ ආයතන වලින් සමාගම අය කරන මුදල පමණක් ප්‍රමාණවත් රේල් පාර නඩත්තු කරන්න. ඒ වගේම පතල පුරවන්න සමාගම පතල හාරපු උන්ට බිලක් ගහනවා. ඒ ඔක්කොම එකතු වුනාම තනි සිස්ටම් එකක් ලෙස වැඩ.

එතකොට නගරසබාවෙන් එකතු කරන මිනිස්සුන්ගේ කුණු? අන්න එව්ව බල්ක් සර්විස් ෆී එකකට සමාගම ගන්නවා. අරගෙන එව්වත් යවනවා අනිත් එව්වා එක්ක. එතැනදී නගරසබා ගෙවන ගාන පොඩියි මොකද පවතින සිස්ටම් එකේ තමා පිගි බැක් කරන්නේ උන්ගේ කුණු. මේක තමා ලංකාවේ ප්‍රවාහනයට තියෙන ප්‍රශ්නෙට අපේ සයිබර් මිතුරන් වතාවක් දුන්නු උත්තරේ. ලාබ ලබන කොටස හදලා [ප්‍රවාහනය අවට වෙළඳසල් ආදිය] උන්ටම දෙනවා පාඩු ලබන එකත් නඩත්තු කරන්න.

ධනවාදය සමාජවාදය අර වාදය මේ වාදය පානදුරා වාදයත් ඕක අස්සේ ඇති. හැබයි සිස්ටම් එක වැඩ. ලංකාවේ නම් අබාන්ස් එකත් උගේ කුණු එකතු ඩම්ප් කරන්නේ නගරසබාවේ කුණු කන්දටම නේද?

ඔන්න ඔහොමයි ප්‍රොබ්ලම් එක ඇඩ්රස් කරන්නේ. ඒ කුණු උප සංස්කෘති නැතුව. නිකම් කුණු හැසිරවීම පමණක්,

ලංකාවේ කුණු ප්‍රශ්නය හිතන තරම් පුංචි එකක් නෙවි. මගේ පුංචි අවබෝධය අනුව නම් ඒක රනින් රෙපයාර් කරමින් තුවාලෙත් එක්ක ජීවත් වෙන්න ඕනේ ප්‍රශ්නයක් මිසක මැජික් යෂ්ටි විසඳුම් දෙන්න පුළුවන් එකක් නෙවි.

මීතොටමුල්ලෙ පුපුරන්නේ  ඒ රනින් රෙපෙයා නොකිරීමේ ගැටලුව නිසා කියලයි මට හිතෙන්නේ.

ආ අර කටුබැද්දේ ඉඩම. හොරා වගේ මම ආපහු ආවා. පොර විනාඩි දහයකින් විතර කෝල් කරලා ඇහුව හොයාගන්න බැරිඋනාද කියල. මම කිව්වා දුර වැඩියි මම ආපහු යනවා කියල. ආ ඕකේ කියල තිබ්බ ෆෝන් එක පොරට පුරුදුයි වගේ ඕක වෙලාම. ඒක එච්චරයි.

Sunday, March 26, 2017

බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ

බ්ලොග් සම්මානයක් ගැන ලොකු කතාවක් යනවා, මේක ලියන්නේ වෙනද වගේ කොන් නොවී ඉන්න නෙවි. මේක මගේ දරදඬු දේශපාලන මතයක් එක්ක ලියන එකක් 

මේක වුණේ අදට වසර හතකට කලින්. එවකට ලංකාවේ නායකයා වුණේ මහින්ද රාජපක්ෂ. ඒ කාලේ තිබ්බ මහින්දගේ යුද වැඩසටහනෙන් කැඩිලා ආපු මානෙල් මල් වියාපාරේ කියල එකක්. ඕක දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ. 2010 විතර ඔවුන් පටන් ගත්ත සම්මාන උළෙලක් තියල බ්ලොග් කාරයින්ට සම්මාන දෙන්න. ඕකත් දැන් කට්ටියට මතක නැහැ මගේ හිතේ. හැබැයි තිබ්බ.

පළවෙනි සම්මාන වටේ පට්ට, ටැබූ ට සම්මානයක් දීල තිබ්බ පට්ට දේශපාලන බ්ලොගා ලෙස. සුපුරුදු පරිදි අතත්යභාවය ගැන ලොරි ටෝකක් දීල පොර ආවේ නැහැ. හැබැයි පස්සේ ලියල තිබ්බ ප්‍රේක්ෂකයෙක් ලෙස ගිහින් දැක්ක ටික වෙනම. රසිකට දීල තිබ්බ නොස්ටල්ජීය ආත්ම ප්‍රකාශනය ගැන සම්මානය. චාමි ව්‍යන්ග රචනය සහ පැරඩි අංශය දින්න. සූර්යාලෝකයට නිරාවරණය වුනොත් වාෂ්ප වෙන්න තියෙන අවදානම නිසා චාමි ආවේ නැහැ, විපුලව එවල තිබ්බ [ඒ වෙද්දී ඌ අබිනිස්ක්රමනේ කරලා නැහැ]. මේ අය විතරයි මතක මුන් මගේ ෆේවා හින්දා. තව තිබ්බ හෙළ බ්ලොගා කියල එකක්, ත්‍රස්ත විරෝධී නිර්මාණය අරක මේක. මානෙල් මල් එකේ නේ.

පළවෙනි එකේ ප්‍රධාන අමුත්තා කාලෝ ෆොන්සේකා. දර්ශනය රඹටි හැලෙන්න දාලා කාලෝ දුන්න දේශනෙකුත්. පට්ට.

ඕක අවුරුදු කීපයක් කෙරුනා. 2012 වෙද්දී සම්මාන උළෙල කරපු කට්ටියගේ නම වෙනස් වෙලා තිබ්බ නිල් බලකාය කියල. 2012 පොඩි සීන් එකක් වුනා රසික එක්ක. මොකද කිසිම කෙනෙක් නොදැන සම්මාන ලබාදෙන වෙලාවේ සම්බාවනීය අමුත්තන් අතර ඉඳල තිබ්බ අර රගරුත් ගහන චන්දෙත් ඉල්ලන රාජපක්ෂ බුවා. දීර්ග කාලින බ්ලොග්කරණය පිලිබඳ ස්වර්ණ ස්පේස් බාර් සම්මානය ගන්න ගිය රසික මේ ගැන පොඩි කොක්කක් ඇද ගෙන. රසිකට සාමාන්‍යයෙන් ඔය වගේ "කුප්‍රකට" දේශපාලක ඩයල් වලින් සම්මාන ගන්නවා තියා එකම වේදිකාවේ ඉන්න පවා අපුලයි කියල අපි දන්නවානේ. මේ කේස් එකේදී ඉවෙන්ට් ඕගනයිසර් කියල තිබ්බේ අපි නිල් බලකාය අපි අපේ ආරාධිතයෝ තෝරන්නේ ඔහෙට පාන් ද කියල. රසිකහේ ෂර්ට් කොලර් එකෙන් ඇදලා ආයි නිවාඩුවට ආවම හම්බෙමු කියල අමු සීන් එකයි. ඕක ගැන චාමි මොකද්ද කතාවක්   ලියල චාමිය වෙනුවට එදා ආපු විපුලය පස්සේ මොකද්ද වාහනයක් නිතර පන්නන සීන් එකකුත් උනා, අබිනිස්ක්රමනෙට හේතුවක් වුනා මගේ හිතේ ඕක.

ඔය සීන් එකෙන් පස්සේ බ්ලොග් වල ගිය සංවාද වල ඉස්මතු වුණේ තාරක පලන්සූරිය කියන චරිතේ. පොර තමා මානෙල් මල් එකේ ඉඳල මේක ඔගනයිස් කල ඉවෙන්ට් ඕගනයිසර්, පොර බ්ලොග් ලියලා නැහැ. ඉවෙන්ට් එකට අවශ්‍ය කීපයක් ඇරෙන්න කියවලත් නැහැ. එහෙත් මේ වෙද්දී පොර මේ සීන් එක ගැන වලි යන එව්වට කොමෙන්ට් ලිව්ව. 


වැඩේ උග්‍ර වුණේ 2013 උළෙලේ. ඒ පාර වෙද්දී සම්මාන දෙන්න ආවේ සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි කියන පළාත් සබා මන්ත්‍රී. මේ මහින්ද ලා බ්ලොග්කාරයින් මරලා දාපු කාලේ. සතිස් බුවා මේ වෙද්දී බ්ලොගාලා හතලිස් නව දෙනෙකුගේ ජීවිත වලට වග කිව්වා කියා චෝදනා තිබ්බ. [එහෙම මරල නැහැ, කොටින්ම සතිස් කියල එකෙක් හිටියෙත් නැහැ කියලත් කතා තියෙනවා. එව්වා සංවාදයට විවෘත දේවල්]

ඔක්කොම සීනියර් බ්ලොග්ගු [කිව්වේ පරණ එකාල] ගියේ නැහැ. ඒ වුනාට අලුතෙන් පිබිදෙන පුංචි බ්ලොග් කැකුළු එකතු කරගෙන වැඩේ කරගෙන ගියා. නොගිය උන් කීපයක් වහෙන් ඔරෝ ලිව්වත් ඒ වෙද්දී ලාංකීය බ්ලොග් අවකාශයේ නිළ ප්‍රකාශක වෙලා උන්නේ තාරක පලන්සූරිය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන කතා කලේ ඔහු. බ්ලොග් ලියන්නන් නියෝජනය කලේ ඔහු. කොටින්ම පස්සේ වෙද්දී බ්ලොග්කරණයේ සදාචාරය ගැන රාජපක්ෂ රජය පිහිටුවපු කොමිටි වල බ්ලොග් වෙනුවෙන් පෙනී හිටියෙත් ඔහු.

ඇත්තෙන්ම මේක ආයිත් වෙන්නේ නැහැ. 2015 අපි ඒ යුගය නිමා කලානේ, ආයිත් මෙහෙම තත්වයක් කවදාවත් ඇතිවන්නේ නැහැ. අපිට මාර ෂුවර් ඒ ගැන. ඒ නිසා මේක දැන් පරණ සීන් එකක්. මේ බ්ලොග් සම්මාන උළෙල මිසක් වෙන එකක් ගැන නොලිව්වේ එව්වා ගැන ලිව්වොත් කට්ටියට නොතේරෙන නිසා. 


බ්ලොග්  ලෝකෙට  අලුතෙන්  ආපු අය  සීරියස්  ගන්න  ඉඩ  තියෙන  නිසා කියන්න  ඕනේ.  මේක  වෙච්ච  දෙයක්  නෙවි. හදාපු  කතාවක්. හැබැයි  මෙතෙක්  නොවුණට හෙට වෙන්න බැරි  නැති  එකක්.

කොටිම්ම ඔය  මානෙල්  මල්  එකෙන්  ඔහොම  සම්මානයක්  දුන්නද  නැතිනම්  මෙව්වා  හදල  ලිව්වද  කියන  එකත්  අදාළ  නැහැ.  අදාළ  වන්නේ ඕනෑම තත්වයක ඕක  වෙන්න  පුළුවන්  බවයි. මල මොකද්ද දේශපාලන  ප්‍රවාහය  මොකද්ද  කියන  එක  වෙනස්  වෙන්න  පුළුවන්.


දැන් මෝරල කොලම මොකද්ද? බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ. ඕකයි කතාව.

මේ මුළු කතාවම දේශපාලනිකයි. බ්ලොග් ලිවීම තුල දේශපාලනයක් පවතී කියා හිතන දේශපාලන වැඩසටහන් තියෙනවා. ඒ දෙවැනි දේශපාලන වැඩ සටහන් වලට දිගටම ඒ අවකාශය තුල පැතිරී එහි අයිතිය දරන්න ඕනේ වෙනවා, සරල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ සඳහා බ්ලොග් කරණයේ මධ්‍ය ලක්ෂය අවශ්‍ය වෙනවා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය ස්පොන්සර් කරන්න අවශ්‍ය වෙනවා.

හැබැයි බ්ලොග්කරණයේ මධ්‍ය ලක්ෂයක් නැහැ. මේක ලෝක බෝලේ වගේ ගෝලයක්. කැරකෙන්නේත් නැති නිසා මැද්දක් කියල එකක් නැහැ. හැම එකාම ඌ ඉන්න තැන මැද්ද කියා හිතාගෙන ඉන්නවා. ඒකයි මේක නිදහස් කියන්නේ. මේ සිදුවීමෙන් වෙන්නේ කෙනෙක් මේ බෝලය කරකවලා ධ්‍රැවයක් හදලා මධ්‍ය ලක්ෂය නිර්මාණය කිරීම. කාලෙකින් ඒක කැරකෙන්නේ එතන වටේ. 

අන්න ඒ දවසට සතිස්චන්ද්‍ර ලොකුහපුආරච්චි ඇවිත් සම්මාන දුන්නත් අපිට මොකුත් කියන්න බැහැ. ඇත්තෙන්ම කිව්වත්  කවුරුත් අහන්නේ නැහැ. බෝලේ කැරකෙන්නේ මධ්‍ය ලක්ෂය වටේ. අපි වටේ නොවේ.


පුද්ගලිකව මේ කාටවත් මගේ විරෝධයක් නැහැ, පරණ හිතවත්කම් එලෙසින්ම පවතී කියා හිතනවා. හැබැයි මම හිතනවා සම්මාන නොදිය යුතුයි කියල. නොගත යුතුයිත් කියල. මේ විවේචනය බ්ලොග් සම්මාන දීම ගැනීම එහි අභ්‍යන්තර දේශපාලනය ගැන විනා ගත්ත එවුන් දීපු එවුන් සම්මාන දෙන්න ආපු එවුන් වගේ සිල්ලර කරුණු ගැන නෙවි. 

මෙහෙම කිව්වම නිදහස සීමා වෙනවා සම්මාන දෙන්න සහ ගන්නත් නිදහස අවශ්‍යයි කියල මට විවේචනයක් එන්න බැරි නැහැ. ඕනෑම දෙයක් කරන්න, විවේචනය කරන්න, ඒ විවේචනය විවේචනය කරන්න ආදී ලෙස බාබර් සැලුන් එකේ සමාන්තර කන්නාඩි දෙක ඉස්සරහ අනන්තය දක්වා තියෙන නිදහස හැමෝටම තියෙනවා. ඉතින් මේ අපි කියන මතය. මේක කිව්වම අහිංසක බ්ලොග් කැකුළු වල සම්මාන වලට අවනම්බු වෙනවා වගේ කතානම් කියන්න එපා. අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ.


ආයිමත්, බ්ලොග් ලිව්වට සම්මාන දෙන්න ඕනේ නැහැ. දුන්නත් ගන්න ඕනෙම නැහැ 

සම්මාන දිනා ගත්ත අනාගතේ දිනා ගන්න හැමෝටම මගේ සුබ පැතුම්.

Wednesday, March 15, 2017

ලෝක සම්මතයේ පාටියට හොරෙන් කඩා පැනීම

කුඩා කාලයේ මා  ඇසුරු  කළ  පොතපත  අතර  වැඩියෙන්  තිබ්බේ  රුසියන් පොත්ය.  නිවෙස්  වලට  නොමිලේ  බෙදු සෝවියට්  දේශය  පොත  "ලෝකය  ගැන  දැනගන්නට තිබු"  එක  ප්‍රධාන  දොරටුවක් විය. බයිකල්  වෙරළක, යුක්රේන් ගොවිබිමක, උස්බෙකිස්ඨාන  කපු බිමක සොඳුරු පින්තුරවලින් අපේ  ළමා  සිහින  පිරවූ සෝවියට්  දේශය සඟරාව   කොමියුනිස්ට්  වාදයෙන්  අපට  වඩා  මදක්  වියපත්  පරපුරට බලාපොරොත්තුවක් දුන්නේය. ඒ  කිසිවක්  කුලාක් නමින් සිදුකල ඝාතන  ගැන  හෝ සිරකරුවන්ගේ  මල මිනි වළලා දැමීම  නිසා අද "මිනි  ඇට පාර" ලෙස  හඳුන්වන  සයිබීරියාවේ  කොල්මා  හයිවේ එක  ගැන කතා  කලේ  නැත. අප  ලද ඒ  ලෝක  දැනුම  හුදු  ෆැන්ටසියකි.

ලංකාදීපයෙන්  අපි  වික්ටර්  හාරා  ගැන  කියෙව්වෙමු. සිංහල පොතේ කැප්පෙටිපොලයන්  සුද්දාගේ  ආයුධ  අහක  දමා  හටන්  කළ  හැටි  කියා දුන්නේය. 
නන්දා සුනිල් දෙපල වම  සහ  රට  ජාතිය ගැන  කියා  දුන්හ. ඉන්දියන් බුද්ධිය   රට  හැර  ගලා ගොස්  බටහිර  ප්‍රාග්ධනය  පැකට්  කර  රටට  එවද්දී නන්දා සමග  අපි  සරුංගලේ  වරල්  සැලේ  ගැයුවෙමු.

අපේ  මුරලි  ලෝකය  දෙවනත්  කලේ  අමුතු  අතකිනි. අපේ මාලිංග  ස්ටම්ප්  කුඩු  කලේ  අමුතු  ඇක්ෂන්  එකකිනි.  විසල් ක්‍රිකට්  ලෝකයක  මිලියන  විස්සක්  වූ  අප ඒ ක්‍රිකට්  ලෝකයේ  අසාමාන්‍යතා  තොග වශයෙන්  නිපදවන්නෙමු.

මේ  කිසිවක් වැරදි  ලෙස  නොදකිමි.  එහෙත්  මුළු  කතාවෙන්  ගන්නට  ඇති  දේ  නම්  අපි අසාමාන්යතාවය  හඹා  යන  පිරිසක්  බවයි.  අපි  පද්ධතිය ප්‍රතික්ෂේප  කරන්නෙමු.  අපි  පද්ධතියට  පිටින්  අමුතු  යමක්  තනන්නට  වෙර  දරන්නෙමු.  අපි  පද්ධතිය  නොතනන්නෙමු.  අපි  ක්‍රමයට  විරෝධී  වන්නෙමු.

මේ  ක්‍රම  විරෝධය  එලියට  එන්නේ  වසරක්  පාසා  රතු  පටි  බැඳගෙන  චේ  වගේ මෝටර්  බයික්  පදින  ලාංකීය  කොලු  කෙල්ලන්ගෙන්  පමණක්  නොවේ.  ඒ  එළිපිට  අපි  දකින  ක්‍රම  විරෝධයයි.  ඊට  වඩා  අභ්‍යන්තරික  ක්‍රම  විරෝධයක්  අපි  බොහෝ  ලාංකිකයන්ගෙන්  දකිමු.

ලාංකිකයෝ  තාක්ෂණික  විෂය  මූලික  ක්ෂේත්‍රවල  කෙල  පැමිණියද  දක්ෂ  ඉංජිනේරුවන්  වෛද්‍යවරුන්  බිහිකළ  ද,  ලාංකිකයන්  අතරින් ඉදිරි පෙළ  මැනේජර්  වරුන්  පාලකයන්,  සාමාන්යධිකාරින්,  ව්‍යවසායකයන්  බිහි  වී  නැති  තරම්ය.  තාක්ෂණික  හෝ  විෂය  මූලික  අන්තවල  සිටින  අපේ  විද්වත්තු ඒ  අන්ත  ගැන  සතුටු  වෙති.  මැනේජරයින් ආයතන  ප්‍රධානින්  වැනි  මජරයන්  නොවීම  ගැන  තුටු  වෙති.  රටේ ජාතික මට්ටමේ  ව්‍යාපාරික  ව්‍යවසායක  මෙහෙයුම  පාදඩ දූෂිත  වංචනිකයන්ට  ඉතුරු  කරති. අක්‍රිය  සැඟවුණු  ක්‍රම  විරෝධය  මෙයයි.  චේ වෙන්න  දඟලන  කොලු  කෙල්ලන්ට  වඩා  පද්ධතියට  හානිකර  මෙයයි.

මේ  තුලින්  මගේ  මිතුරියක්  වරක්  ඇසු ඇගේ  අසල්වැසි  ඉගෙනුමට  දක්ෂ  තරුණයා  සත්‍යා  නදෙල්ලා  නොවුනේ  මන්ද,  ඒ  වෙනුවට  පූර්ණ  කාලින  වාම  දේශපාලන  ක්‍රියාධරයෙක්  වූයේ  මන්ද  කියන  පැනයට  සහ  මගේ  තවත්  මිතුරෙක් ඇසු  කවදාවත්  ලාංකිකයෙකුට  ෆෝචුන් 500 ව්‍යවසායකයෙකු  වෙන්න  නොහැකි  වනුයේ  මන්ද කියන  පැනයට පිළිතුරක්  ගැබ්ව  තිබේ.


බටහිර ප්‍රාග්ධනය  පෙරදිග  ශ්‍රමය  සොයද්දී උන්  ඉල්ලුවේ  සරල  තත්වයන්  කීපයකි. සම්මත  කරමවේදය  සමග  යාමේ  සරල  අවශ්‍යතාවය  පමණි. ඒ තත්වයන් ලබා දුන්නේ පෙරදිග  තිබු දියුණුම  පද්ධති  පමණක්  නොවේ.  සිංගප්පුරුව තායිවානය  මැලේසියාවෙන් පටන්ගෙන දකුණු  කොරියාව  චීනය හරහා  හමා  යන  ඒ  ප්‍රවාහය අද ඉන්දියාව  බංග්ලාදේශය  බුරුමය  තායිලන්තය  වියට්නාමය  වැනි  රටවලට  ද,  ඉනුත්  නොනැවතී ඉතියෝපියාව  කෙන්යාව උගන්ඩාව රුවන්ඩාව  වැනි අප්‍රිකානු  රටවලට  ද පැතිරේ. 

ඇත්තෙන්ම බටහිර  ප්‍රාග්ධනය හරහා කාර්මීකරණය  වෙන  කතාවේ  කවුරුත්  අපව පසුකර නැත. අප  ආරම්භයේදී  ඔවුන් සියල්ලන්ට වඩා  ඉහලින් හුන් බව කීවද එය  වැරදි කතාවකි. සත්‍යය නම්  අප  කවදාවත්  ඔවුන්  සමග  එකම  රේඛාවක නොසිටි  බවයි. මේ  රටවල්  බටහිර  ප්‍රාග්ධනයට  ශ්‍රම  වෙළඳපොල  සපයද්දී   අප හිතා  උන්නේ  සහලින්  රට ස්ව්‍යන්පෝෂණය  කරන්නය.  එහෙමත්  නැතිනම්  අපේ  සහජ  දක්ෂතා  ඇති  නිර්මාණකරුවන්ගේ  [අමුතු] නිෂ්පාදන වෙන  රටවල එවුන්ට  හොරකම්  කරන්න  නොදී  අපේ  රටේ තියාගෙන  අපේ  රජයේ  ආධාරයෙන්  දියුණු කරන්නය.  අපි  උන්ට  පේටන්ට්  අරන්  ඒ  පේටන්ට්  බහුජාතික  සමාගමකට  විකුණන්න  කියා  කීවේ  නැත. අපි ලෝකයේ  සාමාන්‍ය දේ  කලේ  නැත.

අපි  සාමාන්‍යයෙන් අසාමාන්‍ය  අය  වන්නෙමු. 


අප  සතු ක්‍රම  විරෝධය  ඉච්චා  භංගත්වය  සහ  අසාමාන්‍යතාවය  එලි  දකින්නේ  විවිධකාරයෙනි.  එය  රතු පටි  බැඳගෙන  මෝටර්  බයික්  පදින  උන්ගේ  සිට  ටෙකි  පොරවල්  වී  නර්ඩ්  මුළුවල  ලගින්  උන්ගේ  සිට  මෙන්න  මෙවැනි  අමුතු  එවුන්  දක්වා  පැටලේ. ලංකා  පවුලේ  මේ  පුත්‍රයා  අද  ජාත්‍යන්තරයට  යන්නේ  අනුන්ගේ  පාටි  වලට  කඩා  පැනීමේ  කලාව  ප්‍රගුණ  කිරීමෙනි.  පාස්පෝට්  වැටවල්  සීයක්  පැනගොස්  දෙයියනේ  කියා  කාල  බීල  ඉන්න  හෝ  ඊට එහා  ගමනක්  යන්න  සීමාවක්  නැති  අවකාශයක  අපේ  එකා  ලෝකාවධානය  දිනන්නේ  ක්‍රමයට  මෙන්න  මෙහෙම  අභියෝග  කිරීමෙනි. ඒ ක්‍රියාවලිය  තුල ලෝක  සම්මත  වැදගත්  උත්සව  හා ඉතා  වැදගත් ආධාර අරමුදල් ද   අස්සෙන්  හිරිකිත  ලෙස  රිංගා  යාමට  ඔහු  සමත්  වී  ඇත. ඊට  දැරූ  මහන්සියෙන් ඔහුට මාක්  සකර්බර්ග්  සර්ජි  බ්රින්  කෙනෙක්  නොවේනම් අඩුම  ගානේ චැරිටි  එකකට  කීයක්  හෝ  එකතු  කර  දී  ලෝකයට  යමක්  කර  ලොවෙන්  නමක්  දිනන්නට  ඉඩ  තිබුණි.

මගේ  තර්කය  බිඳින්නට  සමත්  ලෝක  පූජිත  නම්  දහයක් කොමෙන්ට්  වල  කොටන්නට  ඔබට  හැකිය.  එහෙත් ඒ  එසේ  නොවන  දහසකගෙන්  කීපයකි. ලෝකයේ  වේදිකාවේ  අපට  ලයිම් ලයිට්  වදින්නේ  මෙහෙම  සිද්ධි  වලටම  පමණි. ඉතිරි  සියලු අපේ කෙරුම්  රිවිර  පත්තරෙන් හෝ  ගොසිප් කොලමකින්  අපිම  අපට  ගහගත්  ලක්ෂපාන  ටෝච් එකක්  පමණි.

කතාවේ  හැම  තැනම  ඇති  පොදු  සාධකය  නම්, බහුතර  
අපි  මේ  පද්ධතිය කෙරෙහි  තනාගත්  විවිධ  ඉච්චා  භංගත්වයෙන්  එහි  විවිධ  අහුකොන්හි  සිටිමින්  එහි  ප්‍රධාන  ධාරාවට  පය  නොතබා  අපට  අවැසි  අමුතු  පාර  හොයමින්  ඉන්න  බවයි.  අපි  මේ  පිටස්තර  මෙට්ටයේ  නොලැග  ඉස්සී  අමුතු පාරක්  බලන  කූඩැල්ලන්  බවයි.
අපි  සාමාන්‍යයෙන් අසාමාන්‍ය  අය  වන්නේ  එබැවිනි.

ප.ලි. අවංකවම  මෙහි  සැහෙන  තරමක්  ස්වයන්  විවේචනයක්  ද  වන  බව  නොකියාම   බැරිය.  මා  ද  ලාංකිකයෙක් මි.

Thursday, February 23, 2017

ග්‍රහලෝක හතේ විකාරය

 මෙය අසත්‍ය වීඩියෝවකි



ග්‍රහලෝක හතක් සොයාගෙන තිබේ. නාසාව මාධ්‍ය ඇමතීය. ගූගලය ඩූඩලයක් තැනීය.

අපේ සූර්යය සහ මර්කරි අතර ඇති කුඩා ගැප් එකේ පොලොව සයිස් ලෝක හතක් ඒ කුඩා හිරු වටා කැරකේ. ඒ ඒ ලෝක අතර දුර පොලොව සහ සඳ වැනි ආසන්න මට්ටමේය. මතුපිට උෂ්ණත්ව අප දන්නා අගයන්ගේය. ආලෝකය බොහෝ සෙයින් අඩු මට්ටමක විය යුතුය.

ටෙලස්කොපයක ඇඳි තිත් හතක් [හෝ තාරකාවක ආලෝක කදම්බයේ බ්ලයින්ඩ් ස්පොට් හතක් ] ගැන නිශ්චිතව දන්නා කාරණා එපමණකි.

ඒ මත නිර්මාණය වන ජලය පර්වත ජීවින් ආදිය හුදෙක් විකෘති ඉමජිනේෂන් එකක් පමණි, හරියටම අර පරිනාමය ගැන බාගෙට උගෙන වානරයින් හා මානවයින් පේලියක් ඇන්ද මාධ්‍යවේදියාට සමානය.

අනික මේ ගෙඩි ආලෝක වර්ෂ හතළිහක් හෙවත් කිමි ට්‍රිලියන පන්සීයක් වගේ දුරකය. මිනිසාට සාපේක්ෂව මේ දුර අනන්තයට වඩා වෙනස් වන්නේ ඇබින්දකි.

දැන් ඉතින් අපි කුමක් කරන්නද? අපි කල හැකි දේ කරමින් සිටිමු. චිත්‍ර ශිල්පියෝ චිත්‍ර අඳිති. ග්‍රැෆික් කාරයෝ ග්‍රැෆික් හදති. මාධ්‍යය විසින් බුල් කෙලින නිසා දෝ සෙස්සෝ කවි ලියති.

නරුම සත්‍යය නම් වෙන කරන්න පුළුවන් මොකුත්ම නැතිකමයි.

කිමි ට්‍රිලියන පන්සීයක් ඕනේ නැත. මිලියන දෙසිය පනහක් බැගින් අපට දෙපැත්තෙන් පොලොව සයිස් ජලය සහිත රොකී ග්‍රහලෝක දෙකක් ගමන් කරති. කිමි ලක්ෂ හතරට මෙහා ඊට ටිකක් පොඩි ලෝකයක් පොලොව වටේ කැරකේ.

ඔලිම්පික් දුවන්න කලින් ගම හරහා වත් දුවල ෆිනිෂ් කරමුද?


ප. ලි.
"ජීවය පැවතිය හැක්කේ" පොලොවට සමාන තත්ත්ව තුල ය කියන මතය මිත්‍යාවක්. ඕක වහගන්න ලයිෆ් ඈස් වී නෝ ඉට් හෙවත් ගොල්දිලොක්ස් සෝන් කියල මතයක් හයිප් වෙනවා. මෙහි අර්ථය නම් අප දන්නා විදිහේ හෝ අපට සමාන පරිසරයක පවතින ජීවය ගැන පමණක් කෙරෙන ෆෝකස් එකක් බව. එහෙත් පොදුවේ ජීවය කියන එක අපේ තත්ත්ව තුල ම පැවතීම ඉතා අඩු සම්භාවි දෙයක්. විශ්වයේ  වැඩි  හරියක් ද්‍රව්‍ය  පවතින්නේ එක්කෝ  උණුසුම් ප්ලාස්මා  ලෙස,  නැතිනම් සීතල  දූලි/වායු වලාවන් ලෙස. වඩාත් ගතික ක්‍රියාකාරකම්  සිද්ධ වන්නේත්  ඊට  අවශ්‍ය  ශක්තිය  ලැබෙන්නෙත්  මේ  තත්ත්ව  තුල. මහ පොලොව  සහ  මිනිසා ගේ  පරිසරය විශ්වයෙන් අතිශය කුඩා ප්‍රතිශතයක්. එය  හුදෙක් ව්‍යතිරේඛයක්. ජීවය  ඔය  ඉතා කුඩා  ව්‍යතිරේඛය  අස්සේ සෙවීම  අමු  විකාරයක්. 

Sunday, February 19, 2017

කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ 'ප්‍රෑන්ක්' ඝාතනය - සිවිල් මාධ්‍ය ක්‍රියාකාරකම් නීතියට අනුගත කළ යුතුය

අප ජීවත් වන්නේ හද්ද විකෘති යුගයකය.

දැනට සොයාගෙන ඇති පරිදි, කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ දී උතුරු කොරියානු 'රජ පවුලේ' පැරණි ඔටුන්න හිමි කුමරු මරා දැමුනේ  එය ප්‍රෑන්ක් එකක් බවට 'ඝාතකයන්' රවටා ලීමෙනි.

දැනට දන්නා පරිදි ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන්නේ ඉන්දුනිසියන් සහ වියට්නාම් කෙල්ලන් දෙදෙනෙකි. උන් දෙන්නාට කියා ඇත්තේ ටීවී ප්‍රෑන්ක් එකකට මග යන මිනිසුන්ගේ මුහුණට හානිකර නොවන දෙයක් ඉසින ලෙසයි, මේ සඳහා විශ්වාසය ඇති කර ගන්නට ඊට පෙර දා ද මේ කෙල්ලන් සමග තවත් නොහඳුනන හතර දෙනෙක් පැමිණ ඒ ගුවන් තොටේ ම මගීන්ට මේ ප්‍රෑන්ක් එක කර තිබේ, කෙල්ලන් දෙදෙනාට එදා ලබා දී ඇත්තේ හානිකර නොවන ද්‍රව්‍යයකි. එකියක් මග අහුරා ඉදිරියෙන් යාමත් අනික් එකිය පස්සෙන් පැමිණ ස්ප්‍රේ එක ගසා එය ලේන්සුවකින් මුහුණේ ගෑමත් සිදු කර ඇති බව කියවේ. මේ හරහා එය ප්‍රෑන්ක් එකක් බවට කෙල්ලන්ට ඒත්තු ගන්වා ඇත.

ඒ කෙල්ලන් දෙදෙනාටම ඒ ස්ප්‍රේ බඳුනම දී තවත් දවසක තවත් මිනිස් ඉලක්කයක් පෙන්නු විට සුපුරුදු ගොන් ආතල් එකට "ප්‍රෑන්ක් කරන්නට" ඇත. එහෙත් දෙවැනි දිනයේ බඳුනේ තිබී ඇත්තේ විෂ ද්‍රව්‍යයකි. ඉලක්කය අහඹු එකක් නොව උතුරු කොරියා පාලනයට විවේචකයෙකු වූ රටතුල පිළිගැනීමක් තිබු කිම් ජොන් නම් හෙවත් නායකයාගේ වැඩිමහල් සොයුරාය. ජොන් උන් සමග බල අරගලයකට යාම වෙනුවට ජොන් නම් කලේ උතුරු කොරියා ජාත්‍යන්තර ජාවාරම් වලින් එන මුදලින් කැසිනෝ කෙළිමින් චීන ආරක්ෂාව යටතේ සුකුමාර දිවියක් ගෙවීමත් වරින් වර තම සහෝදරයාගේ පාලනය විවේචනය කිරීමත් පමණි. කෙසේ නමුත් අනවශ්‍ය කුණු ඉවත් කිරීම ජොන් උන් ගේ අරමුණ වූවා විය හැකිය. කෙල්ලන් මෙහෙයවූ තවමත් නොදන්නා හතර දෙනා බොහෝ දුරට උතුරු කොරියානු ඒජන්තයින් විය හැකිය.

ටක්කෙටම උතුරු කොරියාව දිහාට ඇඟිල්ල දිගු කළ නොහැකි වුවත් [ඔවුන් දැනටමත් මේ ගැන කෙරෙන පරීක්ෂණ සාවද්‍ය ඒවා ලෙස නම් කර තිබේ] මෙතරම් සූක්ෂම මෙහෙයුමක ඔවුන්ගේ සළකුණු නැතැයි කිව නොහැක. කෙසේ වෙතත් මගේ අරමුණ මෙය උතුරු කොරියාවට පැටවීම නොවේ.

මගේ ගැටලුව මෙය සිදු කළ සූක්ෂම ක්‍රමවේදයයි. ඝාතකයා කවුරුන් වුවද ඝාතන ක්‍රමවේදය අප සියල්ලන් බිය ගන්වන තරම් සූක්ෂම ය. මෙහි හරය ගන්නේ නම් ප්‍රෑන්ක් කියන ලේබලය යටතේ මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිය.

මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිව තිබුණි. එහෙත් ශිෂ්ටාචාරය නිර්මාණය වත්ම නීති හා සම්මුති බිහිවී එය වලකා දමන ලදී. කෙනෙකුට පුද්ගලිකත්වයක් පුද්ගල අවකාශයක් විටය. කෙනෙකුට තවත් කෙනෙකු හිරිහැරයට ලක් කිරීම සාමාන්‍ය තත්ත්ව තුල නොහැකි දෙයක් විය. මේ කෙල්ලන් දෙදෙනා ප්‍රෑන්ක් එකක් නොවේනම් විහිළුවටවත් ඔහොම කරන්නේ නැත.

ව්‍යතිරේඛය වූයේ කැමරාව සෙලියුලර් උපකරණයක් වී මාධ්‍ය කරණය පුද්ගල මට්ටමට ගිය යුගයේ ප්‍රෑන්ක් කරණය යි. ප්‍රෑන්ක් මේ පුද්ගල සීමා බිඳ දැමු අතර අවසානේ කැමරාවක් පෙන්නීමෙන් සියල්ල ගොඩ දැමිය හැකි විය, ඉඳහිට එකෙක් ගුටි කෑවද, ප්‍රෑන්ක් කරුවා උසාවියට ගෙනගිය වික්ටීම් කෙනෙකු, අත් අඩන්ගුවට ගත් පොලිසියක් හෝ නීති විරෝධී ලෙස සම්මත කළ පාර්ලිමේන්තුවක් හෝ නීති රාමුවක් ගැන අසා නැත.

එය එසේ විය යුතුව තිබුණි. අඩුම ගානේ එංගලන්තයේ වින්ඩ්සර් පවුලේ කෙනෙකු රෝහල් ගත වූ මොහොතේ එලිසබෙත් වින්ඩ්සර් මැතිනිය ගේ හඬින් ප්‍රෑන්ක් එකක් කළ මෙල්බන් ගුවන් විදුලි වැඩසටහන් කරුවන්ගේ ක්‍රියාව නිසා සිත් තැවුලට පත් හෙදිය දිවි නහ ගත්ත වෙලාවේ එය සිදුවිය යුතුව තිබුණි. අරාබි ත්‍රස්තවාදියෙකුගේ වෙසින් බෝම්බ බෑගයක් විසි කරන නියායෙන් ප්‍රෑන්ක් කරන ජලාල් සහෝදරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණි.

එය එසේ නොවන්නේ නම් මිනිස් සම්මුති වලට ව්‍යතිරේඛයක් වන නීතිය නිවාඩු යවන ප්‍රෑන්ක් අවකාශය තුල බොහෝ ව්‍යසන විය හැකිය. මැලේසියාවේ වූ පරිදි නීතිගරුක මනුස්සයෙකු නීතිවිරෝධී හැසිරීමකට රවටා ලීමට අවශ්‍ය මානසික ඉම ඉක්මවා යන්නේ ප්‍රෑන්ක් එකක් ලෙස නම් කිරීමෙනි. දැන හෝ නොදැන ජලාල් සොයුරන් මග සලසන්නේ සැබෑ අරාබි ඉස්ලාම් අන්තවාදියාට සැබෑ බෝම්බයක් විසි කිරීමට අවශ්‍ය සාමාජිය ඉඩකඩ යි.

ප්‍රෑන්ක් දෙස වඩාත් අවධානයෙන් බැලීමට කාලය පැමිණ තිබේ. වල් බූරු පුද්ගල මාධ්‍ය නිදහසේ ඇතැම් තැන් සිවිල් නීතිය තුලට ගන්නට කාලය පැමිණ තිබේ.

Saturday, January 7, 2017

පවන - 88/89 විප්ලවය කලේ නන්දා සහ සුනිල් ය

මේක පුද්ගලික කියවීමක්. තරමක් නොස්ටල්ජීය කතාවක් කිව්වත් වරදක් නැහැ.

88 ඉස්කෝලේ වහපු කාලේ වෙද්දී මම සමාජවාදය ගැන දන්නේ අර ගෙවල් වලට බෙදපු සෝවියට් පොතෙන් සහ ඉස්කෝලේ පොතෙන් පමණයි. කැරැල්ල අපිට වඩා චුට්ටක් වයස වැඩියි. බය නැතුව කැරැල්ලට බහින්න තරම් වයසක් නැහැ. හැබැයි මම හිතන්නේ තව අවු 5 ක් එහානම් බඩුම තමා. මොකද අපි  ඒ ගානට කුලප්පු වෙලා තිබ්බ.

මෙලෝ තේරුමක් නැති හුදු වාගාලාප වෙච්ච රෝහණ විජේවීරගෙන්/ජවිපෙ මධ්‍යම කාරක සබාවෙන් ඉඳහිට ලන්කාදීපෙට එන ලිපි කියවන්න හිතාන හැමදාම පත්තරේ පෙරලනවා. මම නම් එව්වා කපල එකතු කළා. සාමාන්‍ය මරිමොඩ පාසල් වියක අපි එමිනෙම් ලා කෝලිලා හෝ හින්දි නිළියන්ගේ පින්තුර වෙනුවට එකතු කලේ එව්වා. විප්ලවය ගැන මුලින්ම ඉගෙන ගත්තේ එහෙමයි.

හැබැයි දවසක අපිට තේරෙන්න තිබ්බ මේක මෝඩ වැඩක් කියල. ජවිපෙ එදත් සබුද්ධික සම්භාව්‍ය ඉගැන්වීමක් තිබ්බේ නැහැ. ඔය අද කියන 2020 ආණ්ඩුව අල්ලනවා වගේ කතා  තමා.  ඉන්දීය හමුදාවට වියට්නාමේ ඇමරිකාවට දුන්න වගේ ගහනවා ආදී මෝඩ කතා කිව්වේ. අපිට මේක තේරෙන්න තිබ්බ. අපිට නැතත් අප අතරින් පරම්පරාවක් ලෙස වියෝ වෙච්ච අපිට වඩා අවු. 5 සිට 20 විතර ගැප් එකක් වයස එවුන්ට  මේකේ ගැටලුව තේරෙන්න තිබ්බ නන්දක්කයි සුනිල් සර් රුයි නොඉන්න. පවන නොකරන්න. මොකද අර මාක්ස්වාදී පිටස්තර විකෘතිය සහ ලාමක ජවිපෙ බොලදකම වහන්න දේශීය  චින්තනයකින්  සම්භාව්‍ය සුභාවිත සංගීතමය [ඒකත් රොම්බ ශාස්ත්‍රීය, උපරිම කටහඬකින්] අයිසින් එක්ක දැම්මේ මේ දෙන්න. කොටින්ම අමු ගරුඬ මාක්ස්වාදයෙන් ආවනම් ජෙප්පන්ට එක දාහක් සපෝට් කරන්නේ නැහැ.

උදේට හවසට අහල ඕක කටපාඩම් ඒ කාලේ. හැබැයි ඕක අහන්නේ ගංජා ගහනවා වගේ වෙන වැඩ නවත්තලා. සංගීතයට මනස තුලට යා හැකි දුරක් වේ නම් ඕක උපරිමය කියල කියන්න පුළුවන්.

මේක තමයි පවනේ ඉන්ට්‍රෝ මතක හැටියට.

සාධු ජන ගන මනා සභා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ
කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එදළ රළු පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඩ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි
නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනි වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්
කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳ හලෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්
අනන්තවු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඩින් කියා සැඩ පරුෂ වැකි
අප මැරැණු කළ අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී.......


ඉතාම සම්භාව්‍ය බසකින් ඔස්ටින් මුණසිංහ සංගීතයෙන් ඉතාම සම්භාව්‍ය වූ ශ්රාවකයට කියනවා සම්භාව්‍ය මියුරු ගී කියන්න බැහැ දැන් බැහැපල්ලා පාරට කියල. ඔය ටික ඔහොම වචන වලට ගන්න එකමත් මාර ටැලන්ට් එකක්.

ඒ ගානට කට්ටිය ටයර් උඩ මලා. වද දෙද්දී පාවා නොදෙන්න පුච්චලා දාද්දි ජවිපෙට ජයවේවා කියමින් මැරෙන්න ඕනේ ශක්තිය දෙන්න හැංගිලා උන්නු විජේවීරට වඩා නන්දක්ක සමත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ මැරිච්ච කීයක් දාස් කැපිටාල් කියෙව්වද සෝවියට් සිස්ටම් එක අධ්‍යනය කලාද මාක්ස්වාදය ගැන කොච්චර දැනුමක් තිබ්බද ඒ තියා 71 කැරැල්ල ගැනවත් දැනගෙන උන්නද කියල දන්නේ නැහැ. හැබැයි එකක් ෂුවර් ඕකුන් ඔක්කොම පවන කටපාඩමේ කියන්න සමත්.


මම නන්දක්කට වත් සුනිල් සර් ට වත් බනින්නේ නැහැ. උන් දෙන්නත් ජීවිත අවදානමක් ගත්ත. උන් දෙන්න බෙරුනෙත් නූලෙන් කියලයි මගේ අවබෝධය. ලාංකීය හෝ සිංහල ජාතිකත්වය එක්ක පදනම් වෙච්ච ධනපති නාගරික අධිපතිවාදයකට එරෙහි මතයක් [මාක්ස්වාදයක් කියා මම හිතන්නේ නැහැ] උන්ට අවංකව තිබ්බ කියා හිතනවා. උන් දෙන්න වෙනස් වෙන්නේ නැහැ වඩාත් සම්භාව්‍යයි කියන ඔය කොළඹ විතරක් දුවන චූටි චූටි කල්ලිවල න්යයචාර්යවරුන්ට. ඔකුන්ටත් ඔහොම සින්දු ලියන්න පුලුවන්නම් ඔහොම යසට කියන්න පුලුවන්නම් ඕකුනුත් මේ දැක්කිල්ල ම කරනවා.

හැබැයි හැටදාහක් මලානම් නන්දක්කයි සුනිල් සර් රුයි උන්ගේ කරේ බැන්ද සයනයිඩ් ප්‍රමාණය විජේවීරටත් වඩා වැඩියි.

ඉන්  පසුව  නැවත  ඒ  කැරලිකාර  ස්වරූපය  නන්දගෙන්  දුටුවේ  නැහැ.  මගේ හිතේ එතුමියත් පුනුරුත්තාපනය කරගන්න ඇති තමන්ව. අපිට තිබ්බ ඇම්ම එයාටත් ඊට කලින් තියෙන්න ඇති. 

තවමත් මගේ ප්‍රියතම ගායිකාව නන්දා.

[සංවාදය  මතුකළ රුවන් බණ්ඩාර  සහ  ද්‍රව්‍යමය  දායකත්වය  දුන්  රංග  වීරක්කොඩි  දෙපළට  විශේෂ  ස්තූතිය]