Saturday, December 3, 2016

බස් කතාබස්

බස් කාරයෝ  ස්ට්‍රයික්  ලු ය.  කතාබස්  කාරයින්  වැඩට  බහින්නේ  එතකොටය. මේ  බස්  කාරයින් ට  ගෙවන්නට  බැහැ  කියන  අධික  දඩ  මුදල්  සම්බන්ධ  කතාවක්  නොවේ.  මේ  බස්  දුවන  හැටි  ගැන  කතාබස්  කාරයින්  කියන  කතන්දර  සම්බන්ධ  කතාවකි.

දැන්  මෙතන  අපි  බස්  කියන්නේ  නගරයක හෝ  රටක  එදිනෙදා අවශ්‍යතා  වෙනුවෙන් දුවන  බස්  ගැන.  ලක්සරි  කෝචස්,  විනෝද  ගමන්,  දුර  නගර  වලට  යන [ලංකාවේ එවැනි  දුරවල්  නැත]  මිල  අධික  ගමන්  ආදියට  අදාළ  නොවේ.

බස්  කතාබස්  කීපයක්  මෙසේ  දැක්විය  හැකිය.

  •  ඉස්සර  ජනසතුකරන්න  කලින්  ඔය  බස්  සමාගම්  නියමෙට  දිව්වේ?  ජනසතුවෙන්  තමයි  කාල  දැම්මේ
  • බස්  ජනසතු  කරලා  නියම  සේවාවක්  වගේ  කරගෙන ආවනේ,  කොහෙද  ප්‍රයිවට්  ඔපරේටර් ලට  දීල නා  ගත්ත 
  • අවුල  තියෙන්නේ  තනි  තනි  එකාල  බස්  දුවන  එකේ.  පොකුරු  සමාගම් හදලා  රූට්  ටික  බෙදුවනම්  ගානට  දුවයි.
  • යකෝ  මුන්  ටිකටුත්  කඩන  ගමන්  පෙට්‍රල්  වලටයි  අමතර  කොටස්  වලටයි  ආණ්ඩුවෙන්  සල්ලි  ඉල්ලන්නේ 
  • ලංකාවේ  කාලකන්නි  බස්  කාරයෝ  බස්  දුවන  හැටි  විතරක්, එහෙන්  දාල  මෙහෙන්  දාල කට  කපලා  ලෝඩ්  කරගෙන,  අනික්  උන්  එක්ක  තරගේ 
  • පුද්ගලික  අංශයට දීලම  දාල ටිකට්  මිල  පාලනයෙන්  නිදහස්  කරන්න  ඕනේ. ආණ්ඩුවට  මොකුත්ම  කරන්න  දෙයක්  නැහැ
ඔය  වගේ  කතන්දර  බොහොමයි.  බොහෝ  දෙනා  කැමති  බවක්  පෙන්නන්නේ  දියුණු යයි  සම්මත   රටවල  පොදු ප්‍රවාහන  පද්ධති  වලට.  ඒ  කියන්නේ  වෙලාවට  බස්  දුවන,  ඒ  බස්  වල  එක  මිනිහෙක්  හිටියත්  [එකෙක්වත්  නැතත්]  ඩ්‍රයිවර්  ගානක්  නැතුව  දුවන, හැබැයි  ඕන  බක්කෙකුට ගෙවා ගන්න  පුළුවන්  තරම්  අඩු  මිල ටිකට්  එකක්  දෙන, පාසල්  සේවා,  සීනියර්  සිටිසන්  ලට  අවම  ගාස්තු  ... ඔන්න  ඔහොම  එකක්. හැබැයි  කොහොමද  මේවා  දුවන්නේ?

සමහරු  කියනවා  පොකුරු  ක්‍රමයක්  ගැන.  එහෙත්  පොකුරු  සමාගම්  වල  ඔපරෙෂනල්  කොස්ට්  එක  තනි  ඔපරේටර්  ට  වඩා වැඩි  මිස  අඩු  නැහැ,  මොකද  සමාගමක්  දුවන ඕවර්හෙඩ්  එක  එනවා  ඩ්‍රයිවර්  කොන්දොස්තරට  උඩින්. කවුද  මෙව්වට  සල්ලි  දෙන්නේ?

සරල  මූලික  ගැටලුව  නම්  සීට්  ගානට  මිනිස්සු  දාල,  හෝ  ඊටත්  අඩු  රාත්‍රී  සේවා  එහෙමත්  කරගෙන  යන්න  නම්  සාමාන්‍ය  මගියෙකුට  ගෙවිය  හැකි  මිලේ  ටිකට්  ආදායමකින්  බැහැ.  එක්කෝ  ඒ  ටිකට්  මිල  කීප  ගුණයකින්  වැඩි  කරන්න ඕනේ  නැත්නම්  අදාළ  පිරිවැය  වෙනත්  අතකින්  හොයා  ගන්න  ඕනේ.

මේ  දියුණු  යයි  සම්මත  සේවා  වල  තත්වය  පවත්වා  ගන්න  ඔවුන්ට  ටිකට්  වලින්  ලැබෙන  මුදල  මදි. ඒ සමාගම්  දුවන්නේ  ඒ කලාපයට ප්‍රවාහන "සේවාව"  නිසි  පරිදි  උසස්  තත්වයෙන්  සපයන  නිසා  ආණ්ඩුවෙන්  ගෙවන දීමනාවකින්. එනම්  බදු  ගෙවන්නන්  තමා  මේ  සේවාවට  ගෙවන්නේ.

ඔය  ආණ්ඩුවේ  ආයතන, අර්ධ  රාජ්‍ය  සමාගම්, පුද්ගලික  සමාගම්,  තනි  ඔපරේටර්ස්  ලා  ආදී ලෙස  වෙන  වෙනස්ව  තියා  ගන්නේ ඔපරේෂනල් කාරනා  පමණයි. ඒවා  බස්  පද්ධතියේ  රෝද  මිස  එන්ජිම  නොවේ.  බස්  පද්ධතියට  මුදල්  දාන  එන්ජිම  බදු  මුදල්.

ඕක  තමයි  දියුණු  රටවල සූකිරි  බස්  සිස්ටම් ගින්දර  වගේ  දුවන  රහස.  රෑට  තනි  මිනිහට  දිව්වත්  සබ්සිඩි එක එනවා. ඉතින්  එහෙම  කරන්න  පුළුවන්.  කලබල  වෙලා  එහෙන්   මෙහෙන්   දාගෙන  දුවලා  වැඩියෙන්  ට්‍රිප්  එකක්  අදින්න  ඕනේ  නැහැ,  මොකද  විශාල  ආදායමක් එන්නේ  ටිකට් වලින්  නොවේ. 

අපි  දැන්  හිතමු රාජ්‍ය  අංශය  ඔපරේට්  නොවෙන පුද්ගලික  රූට්  එකක   මේ  සබ්සිඩි  එක  නතර  කලොත්  වෙන්නේ  මොකද්ද?  අර තනි  මිනිහට  බස්  එකක්  දුවයිද?  සමාගමට  සල්ලි   දාපු  අයට  ලාබ  ඕනේ. ඒ  නිසා ඉබේම  ඔවුන්  අර  කට  කපල  දුවන  වෙලාවල්  පමණක්  බලා  තරග  කරන්න  ගන්නවා. කොලිටිය  බහිනවා.

මම  හිතන්නේ  කාටත්  පොදුවේ  තියෙන්නේ  විකල්ප  කීපයයි.

1. රාජ්‍ය  අංශය  විසින්  ප්‍රවාහනය ඒකාධිකාරයක් පවත්වාගැනීම.  සියලු  වියදම්  රජයෙන්,  ප්‍රවාහන  සේවාවට  කඩපු  ටිකට්  මුදල ඇරෙන්න  සියල්ල  බදු  සල්ලි. ඒවායින්  දුවන  රාජ්‍ය  දෙපාර්තමේන්තුවක්  හෝ  අර්ධ  රාජ්‍ය  සමාගමක්.

2. පුද්ගලික  අංශ  අතර  ප්‍රදේශ  බෙදාදී  ඒ  ප්‍රදේශ  අනුව  කිසියම්  සබ්සිඩි  එකක්  දීම. ඒ  කිව්වේ  එතනත්  බදු  සල්ලි.

3. මිල  පාලනයකින් තොරව කාල  සටහන්  රජයෙන්  නොහදා   එහෙත්  බදු  මුදල්  ද  නොයොදා  බස්  කාරයින්ට  රිසි  සේ  මිල පවත්වා  ගන්න කියා  රජය  ඉවත්  වීම.

4. මිල  පාලනයකින්  හා කාල  සටහන්  ක්‍රමයක්  සහිතව පුද්ගලික  අංශයට  පවරා  සබ්සිඩි  එකකින් තොරව  පවත්වා  ගැනීම

දැන්  මේ  එක  එකෙන්  වෙන  ප්‍රතිපල  බලමු.

පළමු  එක  සැලකුවොත් රාජ්‍ය  අංශයේ  පොදු  අකාර්යක්ෂමතාවය  සහ  සේවා දායකයාට  දක්වන  නොසැලකිල්ල   එන්න  එන්නම  වැඩි   වෙනවා.  බදු  මුදල්  සැහෙන්න  වැයවෙනවා.  එහෙත්  උත්සහ  කලොත්  හොඳ  සේවයක්  තියාගන්න පුළුවන්. දෙවන්නටත්   පෙර  සේම  බදු  මුදල්  වැය  වෙනවා.  තරගකාරී  පුද්ගලික  අංශය  ඔපරේෂනල්  මට්ටමින්  යොදා ගැනීමෙන් වඩාත්  හොඳ සේවාවක් ලැබෙනවා. දැන්  මේ  ඔප්ෂන්  දෙක  මාරයි  වගේ  හිතුනට එහි ඇති  ගැටලුව  නම්  බදු  සල්ලි  වැය  කරන   එක.  ඒ  වගේම  ඒ  බද්දේ  වැඩි  හරියක්  ගෙවන්නේ එදිනෙදා  බස්වල  යන්නේවත්  නැති  මිනිස්සු.  මෙය  අසාධාරණයි  කියා  මතයකුත්  සමාජයේ  තියෙනවා.

 තෙවැන්න  අනුව  සමාගම්  වලට  කැමැත්තක්  කල  හැකියි.  ඒ  අනුව  බොහෝ  විට  කට  කපලා  සෙනග  දාගන්න  හෝ  අධික  මිලක  ටිකට්  එකක්  ලබා දීම  ඔවුන්ට  කරන්න  වෙයි.  පීක්  ටයිම්  රූට්ස්  ඇරෙන්න  ආයිත් ඔය  එකා  දෙන්නට  බස්  දුවන්න  හැකියාවක්  නැහැ. මේ  මොඩලය  අනුව බස්  සේවා  අවශ්‍ය  බොහෝ  දෙනෙකුට  ඒවා  ලබාගන්න  බැහැ,  විශේෂයෙන්ම  එදිනෙදා  රස්සාවට  යන  අයට. ඒ  තුලින් විරැකියාව  වැඩිවීම, කාර්මික  ප්‍රදේශවල  ජනයා  පැල්පත්  හා  මුඩුක්කු  තනාගෙන  පදිංචියට  පැමිණීම  වැනි  සමාජ  ප්‍රශ්න  ඇතිවෙනවා. ඇන්ගොලාවේ  ලුවන්ඩා  නගරය  එහෙම  ගැටළු  තියෙන  තැනක්.  තනිකර  පුද්ගලික  බස්  සේවාවේ  ටිකට්  දෙකක  මිල  බොහෝ  සාමාන්‍ය  මිනිසුන්ගේ  දෛනික  වැටුපට  වඩා  වැඩියි.  

දැන්   ඔය  අංක  හතර  තමා ලංකාවේ  තියෙන්නේ.  වෙන  දේ  පැහැදිලියි.  කට  කපලා  සෙනග  දාගෙන  පාරේ  වමෙන්  දකුණෙන්  බැරිනම්  උඩින්  හරි  ගිහින්  හැකිතාක්  ට්‍රිප්ස්  ගානක්  ඇදගෙන  අමනුස්ස  විදිහට  නොකලොත්  ලාබයක්  එන්නේ  නැහැ.  ඒ  වගේම  මිනිස්සු  අඩු  රූට්  හෝ  වෙලාවල්  තියේනම්  නොයා  ඉන්න  තමයි  වෙන්නේ. මොකද  ටිකට්  මිල  ෆික්ස්ඩ්.  සබ්සිඩි  ලැබෙන්නේ  නැහැ  හෝ  ලැබෙන්නේ  පොඩි  සීන්  එකකට  විතරයි [ඉන්ධන/අමතර  කොටස්  වැනි]. ඉතින් ඉන්ධන  ලීටරයකට වැඩිම  ටිකට්  ගානක්  කැඩීම  පමණයි  එකම  ඔප්ෂන්  එක.

ඉතින්  පින්වතුනි,  ඔච්චරයි  සීන්ස්  එක.  කැමති  එකක්  තෝරාගෙන  ඒ  පතා  ආපු  බෝධියෙන්  ලැබෙන  ආනිශංසය  විඳගෙන  ඉන්න  පුළුවන්. වැපිරූ  බෝගයේ  පල  මිස  වෙන  ඒවා  ඉල්ලන්න  එපා.

තියෙන  බස්  එකතු  කරලා  පොකුරු සමාගම්  හැදුව  කියල  මූලික  ගැටලුව  පියවෙන්නේ  නැහැ  මොකද  මූලික  ගැටලුව  ඔපරෙෂනල්  දෙයක්  නෙවි,  සල්ලි  දෙන්නේ  මොකාද  කියන  එක.  සේවාව  හොඳ  කරන්න පුළුවන්  එකම  විදිහ  තමයි මහජනයා  ගෙවන  බදු  ඊට  වියදම් කිරීම. ඉස්සර  දෙවැනි  රාජසිංහ  රජ්ජුරුවන්ගේ  කාලේ  සමාගම්  අගේට  දිව්වා  වගේ  කතා  අදාළ  නැහැ.  ඒ  කාලේ දවසට රූට්  එකක  දුවන්නේ  ට්‍රිප්  එකයි  දෙකයි,  මිනිස්සු  කියල  එව්වයේ  ගියේ  සල්ලි  කාරයින්  විතරයි.  වර්තමාන  සංකීර්ණතාවය  ඒ  කාලේ  තිබ්බේ  නැහැ.

මෙතැනදී  සමාජවාදීන්, ලිබරල්  වාදීන්  ලිබටේරියන්  මතවාදීන්  තම  තමන්ගේ  තියරි  වල  එල්බගෙන  එක  එක  අතට  වචන  නවමින්  විකාර  කියවන  බවක්  පෙනෙනවා.  එහෙත් වචන  නැවුවට  ඉලක්කම්  නවන්න  බැහැ නේ.  කතාබස්  ගානට  පාරේ  බස්  දුවන්න  අමාරුයි.

No comments:

Post a Comment