Thursday, December 31, 2015

Ian Murdock


In memory of the founder of Debian.


Sunday, December 20, 2015

ෂෙන්ජෙන් "අනවසර පදිංචියේ" නඩු තීන්දුව

හැත්තෑව දශකයේ අගබාගේ චීනයේ පර්ල් නදී ඩෙල්ටාව ආශ්‍රිතව තියෙන කඳු ගැට සහිත උස බිමක  පිහිටි ගොවි-ධීවර ගමක් මූලික කරගෙන චීනය තමන්ගේ මහා ආර්ථික විප්ලවය පටන් ගන්නවා විශේෂ ආර්ථික කලාපයක් ලෙස නම් කරමින්. ෆැක්ටරි හදනවා. පිටින් ඇවිත් විශාල ශ්‍රම බලකායක් පදිංචි කරනවා.

ගොවීන්ට අයිති නිවාස තිබ්බ කුඩා ගන්ගොඩවල් වට කරගෙන සද්දන්ත නගරයක් හැදෙනවා. අදටත් ඒ නගරය මැද ඉතිරි කුඩා ගංගොඩවල් ක්‍රමයෙන් ස්ලම් බවට පත්වෙලා අමුතුම නාගරික සැකැස්මක් හදලා තියෙනවා.

ගතවුණු දශක හතරට මදක් අඩු කාලේදී මේ නගරය තිස් දාහක සිට මිලියන දාහතරක සුවිසාල මෙගාසිටියක් දක්වා පුළුල් වෙනවා. ලෝකයේ වේගයෙන්ම බිහිවූ මෙගා සිටිය. ජනගහනයෙන් 99% ක් පිටස්තර වෙච්ච එකම නගරය. චීන අවුරුද්ද කාලෙට සියලු නාගරිකයන් නගරය දමා ගිහින් මළ නගරයක් වගේලු තියෙන්නේ.

ආ එතකොට අර කඳු ගැට. කඳු ගැට එක්ක කොහෙද ෆැක්ටරි ගහන්නේ. වැඩේ පටන් ගනිද්දිම ඩෝසර් කරලා කඳු ගැට ටික එහෙම පිටින්ම සමතලා කරනවා. ඒ පස් අරගෙන නිම්නයේ කඩතොළු වගුරු හා පහත්බිම් පුරවලා පොලොව සමතලා කරගෙනයි වැඩේට බහින්නේ.

මේ නගරය ෂෙන්ජෙන්. නගර සැලසුම්කරුවන්ගේ පර්යේෂණාගාරය. චීන ආර්ථික විප්ලවයේ අදටත් එන්ජිම් ඔතන. හෙට අනිද්දා තවත් නාගරික කීපයක් එක්ක භෞමික ලෙස එකතු වුනාම මිලියන හැත්තෑව ඉක්මවන ලෝකයේ ලොකුම නගරය ලෙස සමහරු හඳුන්වන කලාපය ඕක. සමහරු කියන්නේ ඒ නගරය ගිගා සිටි එකක් කියලා.

හැබැයි ස්වභාවධර්මය කියන්නේ ඉතාම හෙමින් නඩු අහන උසාවියක්. කඳු ගංගා නිම්න ආශ්‍රිත පරිසර පද්ධතියක්  වනසා  ස්වාභාවික 30000 ක ජනගහනය කොටු කර ස්වාභාව ධර්මයට එරෙහිව  "අනවසර" මිලියන දාහතරක් මිනිස්සු  හා ෆැක්ටරි කෙලකෝටියක් ගහපු එකේ නඩු තීන්දුව දීලා තියෙන්නේ දශක හතරකට පස්සේ දැන්.






Wednesday, November 11, 2015

බඩගෝස්තරවාදය

ලංකාවේ ඇති රාජ්‍ය අංශය සමාජවාදය ලිබරල් වාදය හෝ ධනවාදය කියලා එකක් නැහැ.
  • රාජ්‍ය අංශය = පවුල් සහ එක්ස්ටෙන්ඩඩ් පවුල් [දෙපාර්ශ්වයේම]
  • සමාජවාදය = තියෙන සියල්ල නාස්ති කර සියලු දෙනාටම නැතිකිරීමෙන් සමානත්වය බිහි කිරීම, එතුලින් තමන්ගේ එලීට් පවුල්වලට ඇති සැපසම්පත් සෙසු ජනයාට ලබාගන්න ඉඩ නොදීම
  • ධනවාදය = ආණ්ඩුවේ එව්වා ටික තමන්ගේ හිතවතුන් අතර බෙදා දීම
  • ලිබරල් වාදය = උන්ට අවැසි සේ ඕනෑම බාල තුප්පහි ආකාරයට වැඩ කටයුතු කරගෙන යන්න දී නිසි බලධාරීන් වැටුප් සහිත පූර්ණ කාලින නිවාඩු තත්වයට හෙවත් ඔහේ නිකම් සිටින තත්වයට පත් කරවීම 

මේ සියල්ලටම අවශ්‍ය නම් බඩගෝස්තරවාදය කියා කිව හැකිය.

ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආ විට සියල්ල ආණ්ඩුවට ගෙන ආණ්ඩුව යටතේ ආයතන සාදා ඒවායේ තනතුරු තමන්ගේ පවුල් වල එවුන්ට බෙදා දේ. ඒ තනතුරු වල බලතල පඬුරු පාක්කුඩම්, ලිංගික සේවා, රට සවාරි කුට්ටි ආදියෙන් සන්තර්පණය වෙමින් උහු වැජඹෙති. සමාජවාදය තිතට දුවනවා, දේශීය පද්ධති නිර්මාණය වෙනවා, මහජනයා නියෝජනය කරන රාජ්‍ය අංශය අතේ රටේ වැදගත් සියල්ල පවතිනවා කියා මුග්ධ පාක්ෂිකයෝ තුටුවෙති.

එජාපය පැමිණි විට ඒවායේ වැරදි අඩුපාඩු පෙන්නා දී ඒ ආයතන සියල්ල කුණු කොල්ලෙට සිය හිතවතුන් හට පාසල් මිතුරන්ට ලබා දේ. එවිට ධනවාදය ක්‍රියාත්මක වෙනවා ලිබරල් ආර්ථිකයකට අපි යන ගමනක් කියමින් මුග්ධ පාක්ෂිකයෝ තුටුවෙති.

ඉඩ ලද විටෙක ඒ දෙපාක්ෂිකයෝ ලංකාවේ සමාජවාදය සහ රාජ්‍ය ව්‍යවසායට එරෙහිව ධනවාදය හා ලිබරල් ආර්ථික ක්‍රම ගැන මුහුණු පොතේ පතරංග සංවාද කරති

Tuesday, October 20, 2015

රේප් වගේද කිස්

මාර සීන් එක.

කොළඹ ප්‍රධාන පාරක යන බස් එකක ගියපු කෙල්ලෙක් තමන්ගේ ෆෝන් එකෙන් කොල්ලෙකුට කතා කරලා. ඔව්. කොල්ලෙකුට. ෆෝන් එකෙන්. වරත්තු බැල්ලියෝ. හෙන ගහනවා මුන්ට.

ඔයවගේ  නොහොබිනා  තාලෙට  කෝල්  එක්ක  හුරතල්  නොවී  පාඩුවේ  හිටියනම්  ළඟ ඉන්න  කෙනෙකුගෙන්  සාත්තුවක්, පොඩි  මසාජ්  එකක්  එහෙමත්  ගන්න තිබ්බා.  මොකද අපේ  රටේ  ඉන්න පරාර්ථකාමී  වැදගත්  මහත්තුරු  බස්  එකේ  යන  කෙල්ලන්ට  නොමිලේ  මසාජ්  සේවා  කොතරම්  නම්  දෙනවද?


කොහොමින් හරි එතන හිටපු මනුස්සය මේක අහගෙන ඉඳලා තියෙනවා. වටපිට ගැන සැලකිලිමත් වෙන හොඳ ශීලාචාර මනුස්සයෙක්. වෙලාවට එහෙම කෙනෙකුට ඇහුනේ. නැතිනම් මේ අවලමී ඕක හොරෙන්ම කරලා බැහැලා යනවා. 

ඒ විතරක්ද? තව ටිකකින් මෙකි ඒ බස්සෙකේ ආපු කොල්ලෙකුට තමන් ලඟට එන්න කියලා ඉඳගන්න කතා කරාලු. අර ළඟ උන්නු ශීලාචාර මනුස්සයා කලින් කෝල් එකේ ෆුල් විස්තරේ අහගෙන උන්නු නිසා එයා ටක්කෙටම දන්නවලු මේ කොල්ලා අර කොල්ලා නෙවේ කියලා. ඒ මහත්මයාට අනුව කොල්ලෝ දෙන්නෙක්ම අඳුනගෙන ඉන්න වනචර කෙල්ලක්.

තවම ඉවර නැහැ. කෙල්ල බහිද්දී මෙන්න මූට දුන්නලු කිස් එකක්. මූට කිව්වේ අර කොල්ලට, ළඟ උන්නු ශීලාචාර මහත්මයාට නොවේ. එහෙනම් මේ කතාව මෙහෙම නොවේ යන්නේ.

මේ වනචරකම දැක්ක ඒ ශීලාචාර මහත්මයා හයියෙන් කෑගැහුවලු. ඒ මහත්මයට එකතු වුනාලු තව ශීලාචාර මගීන් කීප දෙනෙක්. ඒ වගේ අවදියෙන් ඉන්න හැදිච්ච මිනිස්සු හින්දා හොඳයි.

අන්න  එතැනදී  මුන්ගේ  රෙදි  ගැලවුනාලු. අපි  එහෙමයි.  පලාස්සබා  චන්දෙ  එහා  පැත්තට  දුන්නු එකීගේ  රෙදි  හැබෑවටම  ගලවාපු  අපි  වගේ  ජාතියකට  මේ  වගේ  අවලම්මුන්ට  රෙදි  ගැලවෙන්න  බණින්න  බැරිද?  ඒ  විතරක්  නොවේ,  වහාම  ක්‍රියාත්මක  වුණු  කිසියම්  ශීලාචාර  මහත්මයෙක්  හෝ  නෝනා  කෙනෙක් මේ  ජෝඩුව  කිස්  කරන  මොහොත  මංගල  චායාරූපෙකට  වඩා අගනා  ටයිමින්  එක්ක  ගත්තලු  ෆොටෝවක්   සයිබරේට  වයිරල්  කර  දාන්න.   දැන්  කට්ටියටම  බැරියැ  හවහට  හවහට  මුන්ව  හම  ගහන්න.

එහෙම  තමයි  කරන්නත්  ඕනේ. මොකද එතන පොඩි දරුවොත් ඉඳල තියෙනවා. අහම්බෙන් ඔය පොඩි දරුවෙක් අරෙහෙ  මෙහෙ රේප් වුනාට ඒ  වගේ  නෙවෙයි උන් කිස් දෙනවා දැක්කොත්. බුදු අම්මෝ රේප් වගේද ඕයි කිස්.

කෙල්ල නම් බැහැලා ගියාලු. ඔන්න වැදගත් මාධ්‍ය ඒකිව තාම පටවාගෙන හතරවටේ ගෙනියනවා.

අනේ අපේ පින්බිම.

Friday, October 16, 2015

ඇමරිකාව, චීනය, රුසියාව සහ යුරෝපය අඟහරු තරණය අතහැර දමයි ද?

අඟහරු මත බුදු පිළිමයක හැඩය සහිත කළුගල් තලාවක් සොයාගැනීමත් සමගම අඟහරු තරණය කිරීමේ සැලසුම් අතහැර දමන්නට ඇමරිකාව, චීනය,  රුසියාව සහ යුරෝපය තීරණය කර තිබේ. මීට හේතුව තම වැඩසටහන් කෙතරම් වේගවත් කළත් අඟහරු තරණය කල මුල්ම ජාතිය වීමට නොහැකි බව මෙම  නව  සොයාගැනීමත්  සමගම ඔවුන් විශ්වාස  කරන බැවිනි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන නාසා ආයතනය පවසා සිටියේ සාමාන්‍යයෙන් මීට පෙර මෙවැනි සිදුවීම් පිලිබඳ ඉතිහාසය සලකා බලන විට ඉදිරි දශකයේ අඟහරු මතුපිට විශාල මිනිස් ක්‍රියාකාරකමක් සිදුවීමට ඉඩ ඇති බවයි. එය තම  වැඩ  පිළිවෙල  මෙන්  සිය  දහස්  ගුණයක්  විශාල වීමට  ඉඩ  ඇති  බව  ද ඔවුහු  පවසති.


යුරෝපා අභ්‍යවකාශ වැඩ සටහනේ නම හෙළි නොකළ විද්වතෙකු අඟහරු ගවේෂණයේ පළමු පියවර දකුණු ආසියානු රටක් අතින් සිදුවන බවට අනාවැකියක් පල කර තිබේ. 

කෙසේ වෙතත් එම රට ශ්‍රී ලංකාව බව රොස් කොස්මොස් රුසියානු අභ්‍යවකාශ ආයතනය හෙළි කර සිටියි. "ඔබ අසා තියෙනවද නිකවැරටිය ගැන? හරි එච්චර අතීතය අමතක නම් දොළු කන්ද වුනත් ගන්න ඇහැකි. ඒ දෙවෙනි සිද්ධිය නම් බුදු පිළිමයක්ම නොවේ රන් කොතක්. එහෙත් අපේ දත්ත අනුව වැඩිම ශක්‍යතාවයක් තියෙන්නේ බුදු පිලිමෙකට"

මේ අතර ෂින්හුවා ප්‍රකාශකයෙකු පවසා සිටියේ අඟහරු වැඩසටහන නවතා හදිසියේම අභ්‍යවකාශ තරණය කල හැකි බස් වර්ගයක් හදන්නට චීනය කටයුතු කරන බවයි. "ශ්‍රී ලාංකිකයන් යන්නේ බස් අරගෙන පෝලිමේ. අශෝක්  ලේලන්ඩ්  හෝ  ටාටා  ආයතන  දෙකට  කළින්  මේක  අපි  කරන්න  ඕනේ. අපිට අඩුම ගානේ මේ වර්ගයේ බස් දාහක්වත් විකුණගන්න පුළුවන්". මීට අමතරව අඟහරු මත විකිණීමට එම බුදුරුවේ අනුරූ නිපදවීමට වඩාත් පැහැදිලි චායාරූප ලබාගැනීම අවශ්‍යතාවය ද මතුවී ඇත.

මේ අතර අඟහරු වෙත අඩු වියදම් නිරීක්ෂණ යානයක් යැවු ඉන්දියාව තරගය අතහැර දමා නොමැත. "අපිට පුළුවන් ලංකාව පරදන්න. අපි මේ දිනවල අඟහරු මතුපිට සම්පූර්ණ ස්කෑන් එකක් කරගෙන යනවා. රාමා සීතා වෙන්න ඕනේ නැහැ. හනුමන් ශේප් ගලක් තිබ්බනම් අපිට ලංකාව පරදන්න පුළුවන්"

Friday, September 11, 2015

ගම නගරය හා නාගරිකයාගේ ගම

ලංකාවේ ඇත්තේ ගම්  දෙකක් හා නගරයකි.

මේ ගම් දෙකෙන් එකක් නම් රටපුරා  පැතිරී  ඇති ගම්මාන වේ. ඒවායේ මිනිස්සු  එකිනෙකා අතර  වැඩි සමාජානුයෝජනයකින් ජීවත්  වෙති. ආර්ථික වශයෙන් මධ්‍යම පන්තියට  අයත්  වුවද සාමාජිය  ලෙස  මධ්‍යම පාන්තික දිවිපෙවෙතකට  අනුගත   අධ්‍යාපනික  වෘත්තීය  පසුබිමක්  ඇත්තේ  සුලුතරයකටය. නාගරිකයා මධ්‍යම පාන්තික හෝ  ඊට  ඉහල සමාජ  ජීවිතයක් ගෙවන  ඊට  අනුගත  අධ්‍යාපනික පසුතලයක  සිටින කෙනෙකි. පැරපට් වෝල් ම  නැතත්  එකිනෙකා  අතර  වෙන  ගනුදෙනු අඩුය.  ආශ්‍රය  තමාගේ  සාමජිය පරිසරයට ගැලපෙන  උප  කොටසකට සීමාවේ.  ඒ  නිසාම සංස්කෘතික  ඇවතුම් පැවතුම්  ඒ සමාජ වලට  ආවේනික වේ.

ඇත්තෙන්ම  මේ  නාගරිකයාගේ  සංස්කෘතික  ඉරි  අතර  ඇති  හිඩැස්  වල ද  ගම  පිහිටා  තිබේ.  ඒවා  භෞතිකව  ඇත්තේ  නගරය  තුල  වුවද  නාගරිකයා  විසින්  ආශ්‍රය  වෙනුවෙන් නිර්මිත  සීමා  නිසා  ඒවා  අයිති වන්නේ ඉහත පළමු වර්ගයේ  ගම්මාන වලටමය.  ඒවා  බොහෝ  විට ස්ලම්/මුඩුක්කු  පන්නයේ නිවාස  සහිත  ලේන්, වතු, ගන් ඉවුරු, මුහුදු වෙරළ, කුණු කඳු, පාලම්  දෙපස, කැනල්  අයින් ආදී ලෙස  සැලකිය  හැකිය.  භෞතිකව  කොහේ  තිබ්බත්  ඒවායේ  ජන ජීවිතය ඇත්තේ [තරමක්  ලුම්පන් එහෙත්] පෙර කී   ගම්මාන  වලට  සමානවයි. එසේම  නගරය  යන  මිම්ම  හුදෙක් කොළඹට නුවරට පමණක් නොව  පෙර  සඳහන්  ජීවන රටාව සහිත  ප්‍රාදේශීය  නගර  වලටද  ගැළපෙන්නකි.


පල්  හෑල්ල  පොඩ්ඩක්  දිග  වැඩි  විය. ලංකාවේ  ගම්  දෙකක්  හා  නගරයක්  ඇති බව කී නමුත්  අපි  කතා කලේ  එක  ගමක්  හා  නගරයක්  ගැන  පමණි.  වඩාත්  වැදගත්  මෙන්න මේ  කතා නොකළ  දෙවැනි  ගමයි.  මේ  දෙවැනි  ගම ඇත්තේ  නාගරිකයාගේ  හිතේය.

නාගරිකයා  තමන්ගේ  සීමාසහිත  සමාජානුයෝජනය  ඉක්මවා  ගම  ගැන  අවබෝධයක්  ගන්නේ මාධ්‍ය  වලින්  හෝ  සංචරණයෙනි. සංචරණයෙන්  ඔවුන්  අත්විඳින්නේ  ලස්සන  මූනතක්  දැමු  සුන්දර  ගමකි.  ඒ  ගමේ  වුවද  එදිනෙදා  ජීවිතය  මේ  විසිටර්  ලා ට  දකින්න  නොලැබේ.  නිවාඩුවකින්  ඔබ්බට  මේ  ගමක  පදිංචිවී  ඉන්නට  නාගරිකයාට  ඉඩ  හසරක් හෝ  අවංක  ආසාවක් නොමැත.

ඊටත්  වඩා  වැදගත්  වන්නේ  නවකතාවකින්  රූපවාහිනියෙන්  දකින  ගමයි. සිංහල  අවුරුද්දට  රූපවාහිනියෙන්  දොරට  වඩින  ගමයි.  දොරමඩලාවේ  ගමයි.  අපේ  ගම  කියා  වැඩසටහනකින්  මැවූ   ගමයි.  නාගරික  මධ්‍යම පාන්තික  උගතුන්  කීප  දෙනෙකු  කිසියම්  වූ  දේශපාලනික  අවශ්‍යතාවයකට  නිර්මාණය  කරන  මනෝමූලික  ගමයි. දේශපාලන බලය  හුවමාරු  වුවද මේ  ගම  නිර්මාණය කිරීම  වෙනස්  ආකෘති හරහා  දිගටම  සිදුවේ.  ඒ  එයට  වෙළඳ  අගයක්  ඇති  නිසාය. ඒ  අගය  ෆුඩ්  සිටියෙන්  අවුරුදු  දාට  කලඑළි  බසියි.

නාගරිකයා වඩාත්  හොඳින් දන්නේ  ඒ  දෙවැනි  ගමයි.

ඒ  දෙවැනි  ගම  ගැන  විවිධ  චිත්‍ර  පවතියි.  එහි  සමහර  කරුණු දරන්නාගේ  දේශපාලන  චින්තනය  සමග  බැඳෙන  මුත්  පුදුමයකට  මෙන්  බොහෝ  නාගරිකයන්ට  මේ  ගම  ගැන ඇති  පින්තුරයේ පොදු  සාධක  පවතියි.

ඒ  ගමේ පිරිමි  කුඹුරු  කොටති,  බුලත්  හපති. පිරිසිඳු  පොල්  කිතුල්  රා  බොති [කසියා  නොබොති] ඒකනම්  ලොකු  අවුලක්  නැත.  ඇත්තෙන්ම  පිරිමි  සම්බන්ධ  ලොකු  කතාවක්  නැත.

ඒ ගමේ  ගැහැණු බොහොම  සංවරය.  මත්පැන්  පානය  නොකරති.  කුණුහරුප  නොකියති. අන්  මිනිසුන්   හා සම්බන්ධ  පවත්නේ  නම්  ඒ  එහෙමත්  එකියකි. ඇය  නළලේ  තඩි  සීල්  එකක්  ගසන ලද  ගණිකාවකි. නාගරිකයාගේ  ගමේ  අහිංසකම  ජීවියා  වන  ගැමි  ගැහැණිය  එහි ඇති අමුතුම  විකාරයයි.

අපායට  හෙන  ගහන්නේ  මෙන්න  මේ  ගැමි ගැහැණිය  නම්  අවිහිංසිකාව  ආර්ථික  අහේනියට විදෙස්  ගත වූ  විටයි. උහු  එහෙ  ගොස්  නස්පුට්  වෙන්න බොති.  බීලා  බැන  ගනිති.  අනිත්  කෙල්ලන්ට  කුණු  හරුපෙන්  බනිති. හදිසි  ගැටළු  වලදී  ලංකාවට  කෝල්  කර  විටක  කලබලය  නිසා  කුණුහරුප  වගුරති. සිගරට්  බොති. දකින  දකින  මිනිසුන්  හා යති.

මල මගුලකි.

නාගරිකයා  මේ  බව  දකින්නේ  මේ  ගැහැණු  රට  ගිය  විට  හෝ  අසාමාන්‍ය  තැනකදී  දුටුවිට  උන්ගේ හැසිරීම  වීඩියෝ  කෙරෙන නිසාය.  ගමක  ගෙදරකට  ස්මාට්  ෆෝන්  එකක්  ගෙනගොස්  වීඩියෝ  කලානම්  උන්ගේ  ගමේ  අවිහිංසක  ජීවිතයද  දකින්න ඉඩ  තිබුණු  මුත්  නාගරිකයා ට  එය පෙනෙන්නේ  රූපවාහිනියෙන්  පත පොතෙන්  දෙන  ගමේ චිත්රයෙනි.

මෙන්න  මේ  ආකාරයට  ගමේ  ගැහැණු  රටගිය  විට  හෝ  නගරයට ආ විට අරුම  පුදුම  වැඩ  කිරීම  පුදුම  දනවන  සුළුය.  ඒ  නිසා  ඒ  වීඩියෝ  හැමෝම  දැකිය  යුතුය.  වයිරල්  කල  යුතුය.  ඒවා යටින්  කදිම  කැප්ෂන්  යයි.  මේ  ගැහැණු  නිසා  රටේ  සංස්කෘතිය  වැනසෙන  හැටි  කතාවට  ගැනේ.  ඕකිලා  බීලා  නටා  බඩ  කරගන්න හැටි  කියවේ. රටටම කෙළවෙන්නේ  උන්ගෙනි.

තරමක්  නිවැරදිය.  රටට  කෙසේ  වෙතත්  මවාගත්  ගමට  කෙළවෙන්නේ  උන්ගෙනි.  මේ  වයිරල්  වීඩියෝ  නොවන්නට  නාගරිකයාට  තම  සුන්දර  ගමේ  සිහිනය  සැමදාම  නින්දට  ගෙනගොස්  අවසානයේ  සුසානය  දක්වා  ගෙන යා හැකිය.  මේ  ගැහැණු  ඒ  සිහිනයට  කෙළිති.

පහුගිය දිනවල  වයිරල්  කරන  ලද  රට  ගිහින්  බීලා  තරමක්  වැඩිවී  පිස්සු  කෙලින  නංගියා  ගේ  වීඩියෝව  හා  හදිසියකදී  කෝල්  කලවිට  ගෙදර  එකෙක්  පිස්සු  කෙලින නිසා ඌට  කුණුහරුපෙන්  බනින  ඇන්ටියාගේ  වීඩියෝව  පසුපස  ඇති  මූලික  මනෝ  විද්‍යාත්මක  ගැටලුව  මෙයයි. නාගරිකයා  පළමු  වරට  ගමේ  ගැහැනියක්  දැකීම  නම්  මහා  මානසික  අර්බුදයයි.

මේ  කතාව  නිශ්චිතවම  ගැහැණු ගැන  කතාවකි.  වික්ටෝරියානු  මූල  වලින්  පැවතෙන  නාගරිකයාගේ  මනෝරාජික  ගමට  කෙළවන්නේ  ගමේ  පිරිමින්  නොව  ගැහැණුය.  වික්ටෝරියානුවන්   විසින්  ලේස්  ඇඳුම්  තුල  තලිබාන්  කර මිසිස්  පිරිමියා  ලෙස  මුළු  ගැන්වූ  ගැහැණුය. මදක්  හෝ  සැකනම්,  ඔය  වීඩියෝ  වල ගැහැනියගේ  තැනට පිරිමියෙක්  ආදේශ  කර  බලන්න.  එහෙනම් ඔව්වා  මළාට  වයිරල්  වන්නේ  නැත.

මේක  නාගරිකයාට  පමණක්  නොව  ගමේ  ඉපිද  හැදී  වැඩී  ගමෙන්  නික්ම  නගරයට  ගිය  පැරණි  ගැමි  වත්මන්  නාගරිකයාටත්  සමසේ  උරුමය.  උන්ගේ  ඉපැරණි  අත්දැකීම්  ඉක්මවා  රූපවාහිනියේ  මැජික්  ගම  පෙරට  පැමිණ  ඇත.  එක  අතකින්  මෙය  උන්ට  නාගරික බව හුවා දක්වන්නට  ඇති  අවශ්‍යතාවය  විසින්  කරන්නක්  විය  හැකිය.  දෙවනුව  දැන්  ගමේදී මහත්තයෙකු හෝ නෝනා  කෙනෙකු වන උන්ට  අවැසි  ඒ  සමාජ  ඉරි  පවත්වා  ගන්නට  ඇති  වුවමනාව  නිසා වන්නක්  විය  හැකිය.

මෙම  මැජික් එක  වයිරල්  වලට  සීමා  නොවේ.  මේ  ගමේ  මැජික්  ගැහැණිය  චිත්‍රපට  තුලද  විකිණේ. ඒ  බොහෝ  විට  අර  මනෝරාජික  ගමේ  ගෙතෙන  සුන්දර  අවිහිංසක  කතාවක  මැද්දට  දයාවතී  හෝ  එන්සිනා  වැනි  අමුතු  සතෙක්  බස්සවා  අසාමාන්‍ය  ලෙස  කුනුහරුපයක්  කියවීමෙනි,  බීඩියක්  පෙවීමෙනි. මිනිස්සු  මේ  මැජික්  ගැමි  ගැහැණියට  ආසය.  ඇය  පුදුමය  දනවයි.  කොටින්ම  ස්ත්රිවාදිනියක් ලෙස  සැලකෙන අධ්‍යක්ෂක  වරියක්  මෑතක  කල  සම්භාව්‍ය  ලෙස  සැලකෙන  ෆිල්ම්  එකක  ට්‍රේලර්  එකේ  ලොකු  කොටසක්  දුන්නේ  ඇය  එහි  සිගරට්  එකක්  බොන  බව  කියා පාන්නටයි.  ගැහැණු  සිගරට්  බොන  අරුම  දසුනකි. මැජික්  ය.

මේ වයිරල් වීඩියෝ  ගැන  කතාවෙන  සිනාසෙන  වෙන  ඕන  මගුලක්  කරන එක  ගැන සදාචාර  ධර්ම  දේශනාවක්   කිරීමට  අපිට  ඇම්මක්  නැත.  එසේම  බොන  එක  සිගරට්  බොන  එක  කුණුහරුප  කියන එක පට්ට  වැඩකි  හෝ  පට්ට  චාටර්  වැඩකි  කියා  ද  කියන්නේ  නැත.  මේ  සියල්ල  මිනිස්  ජීවිත  වල  ගැලවිය  නොහැකි  කොටස්ය. එහෙත්  මේ  වීඩියෝ  මැජික්  වන්නේ  මන්ද  යන  ප්‍රශ්නයේ  කෙලවරේ  නාගරිකයාගේ  මනෝරාජික දෙවැනි  ගම  හා භුමියේ පිහිටි  පළමු  ගම  අතර  ඝට්ටනය  මනාව පෙනෙන  බව පමණක්  සටහන්  කරන්නට  කැමැත්තෙමු.

Friday, September 4, 2015

කැලයට ගිනි තබා දඬු වැට මුර කරන යුරෝපය

කැලයට  කැලය  කියන්නේ  එහි  රජ කරන්නේ කැලයේ  නීතිය  නිසාය.  ඒ  නීතිය  සත්ව  සම්මුතියට  එකඟ  නීතියකි.  මානව  සම්මුතියට  එකඟ  වන්නේ  නැතුවා  විය  හැකිය.  එසේ  වූ පමණින්    දඩයක්කාරයින්  සන්නද්ධ  කර  උන්ට  එරෙහිව  නැගිටින  බලවත්  සතුන්  නිර්වින්දනය කොට  දඩයක්කාරයින්ට  රිසි  සේ  කැලය  පාලනය  කරන්නට  ඉඩදීම  විහිළුවකි.

එසේ තමන් විසින්ම  දමන ලද  දඩයක්කාරයින්  කැලයට  ගිනි තියන  විට  සත්තු  දිව  ඇවිත්  තමන්ගේ  නිවෙස්  වලට  රිංගන එක  වළකන්නට  දඬු  වැට  ගසා මුර  කිරීමෙන්  කල  හැකි  දෙයක්  නැත. ගිනි  ගන්නා  කැලයෙන්  මර  බියේ  දුව  එන  සතා මොන  වැටෙනුත්  රිංගයි,  කොහොමත්  ඌට  ඉතිරි  මරණය  පමණි,  ජීවිතය  වෙනුවෙන්  ඕනෑම  මකර  කටක රිංගා  යාම  ඌට  වටියි.





පළමුවෙන්ම  මේ  කතාවේ  මා කළ  එක  වරදකට සමාව  අයදිමි.  ඒ  අප  මෙන්ම  සහෝදර  මිනිස්  සමූහයක්  වන  සතුන්ට  උපමා කිරීමයි.  එහෙත්  අද  වනවිට  ඒ  මිනිසුන්ට  සෙසු  ලෝකයා  සලකන  ආකාරය  බලන විට  මගේ  උපමාවේ  වරදක්  නැත.  වන  සතුන්ටද  ලෝකය  තුල  මීට  වඩා  ගරුත්වයක්  ලබා දුනි.

සිරියාවේ  හා  ඉරාකයේ  පාලනය  ගෙනගියේ  කැලයේ  නීතියටය.  ඒකාධිපති  අසාද්  පිය-පුතුන් සිරියාව ද  සදාම් හුසේන් සහ පුතුන්ගේ  මැරකල්ලි ඉරාකය ද පාලනය  කළහ. මෙය  සෙසු  ලෝකයේ  නව්‍ය  සම්මුති  හා  සියයට  සීයක්  නොගැලපුන  බව  සත්‍යයකි.  එහෙත්  මේ  දෙපිරිස  හමුවේ  දෙරට  තරමක  දියුණුවක්  දැඩි  ස්ථාවරත්වයක්  සහ  යහපත්  ජීවන තත්වයක්  ලබාගත්  බව  නොරහසකි.

කැලයේ  නීතිය  ඉක්මවා  නව්‍ය මානව  නීතිය  මේ  දෙරටේ  ප්‍රතිෂ්ටාපනය  කරන  දෘශ්‍ය  අරමුණ  [සහ  වෙනත්  චෝදිත යටි අරමුණු] සහිත ව යුරෝපය  ඇමරිකා එක්සත්  ජනපදය  ඔස්ට්‍රේලියාව  කැනඩාව  නවසීලන්තය  ආදී රටවල්  සමූහයක  අඩු  වැඩි  සහභාගිත්වයෙන්  විවිධ  රාජ්‍ය  තාන්ත්‍රික හා  යුධ  ක්‍රියාමාර්ග  හරහා  දෙරටට අතපොවන්න  පටන්  ගැනෙන්නේ  මේ  සමයේය.  ඉරාකයේ  නම්  එය  යුධමය  ලෙස  බලය පෙරලීමකි.  සිරියාවේ  නම්  එය  අසාද්  විරෝධී  කැරලි  කණ්ඩායම්  වලට  සහය  දීමකි.

ඉරාකයේ  ඇමරිකානු  ආක්‍රමණ  නිසා බලවත්  වන  සහ  සිරියාවේ  කැරලිවලට  දුන්  බටහිර  සහය  නිසා බලවත්  වන  ඉස්ලාමික  රාජ්‍ය  සංවිධානය  මේ  බටහිර  බලපෑමේ  අවසන්  පලයයි. අවසානයේ  දෙරට  තුල  අද  පවතින්නේ  විහිළුවට  වගේ  මිනි  මරණ, ආගමික  ක්‍රියාවක්  සේ  ගැහැනුන්  දූෂණය  කරන දඩ  වැද්දන්ගේ  සෙල්ලම්  පිටියක්  බඳු  දඩ බිමකි. ඊට  අමතරව මධ්‍යධරණී  වෙරළේ  යුරෝපයට  ආසන්නම  රාජ්‍යයක්  වන  ලිබියාව  ද  මෙලෙසින්ම  අකර්මන්‍ය  කොට  එහි  අරාජික  පසුබිමක්  සකසා තිබේ. නේටෝ  රාජ්‍යයක්  වන  තුර්කියද  හිතා  මතා ම  අයිසිස්  සමග  ලිහිල්  දේශසීමාවක්  පවත්වා  ගන්නා නමුත්  නේටෝ  රටවල්  ඊට  තවම  කිසිම  විරෝධයක්  දක්වා  නැත.


මේ  සියල්ල මෙසේ  සිදුවෙද්දී  අසීමිත  පීඩනයෙන්  හා ජීවිත   තර්ජනයෙන්  තැලෙන  සිරියා  ඉරාක ජනයා දිවි  රැක  ගන්නට  ලිබියාව හෝ  තුර්කිය  හරහා  කෙටි  සාගරික  දුර  බෝට්ටුවෙන්  තරණය  කොට  යුරෝපයට  ඇතුළු  වූ  විට  යුරෝපා  රටවල්  හදිසියේ සිදු  වූ  නොසිතුවිරු දෙයක්   මෙන්   දේශසීමා  බාධක  හා හමුදා බලය  යොදාගෙන  මේ  මිනිසුන්  මර්දනය  කරති.  පුදුම  වෙති.  මෙසේ  වන්නේ ඇයි  ද  විමසති.





සැලකියයුතු  ජනගහනයක්  වෙසෙන ස්ථාවර  දෙරටක් අරාජික  කර,  තමන්ගේ  ආයුධ  හා සම්බාධක  සහයෙන්  එහි  මරණයේ  කල්ට්  එකකට  බලවත්  වෙන්න  ඉඩ  දී,  එම  දෙරටේ  සිට  තම රටවල්  කර  ඇති  ප්‍රදේශ  අරාජික  වන්නට  ඇමරිකාව  හා  සමසේ කටයුතු  කළ  යුරෝපය කැලයට  ගිනිතබා  අඩිපාරවල්  සුද්ද  කර  තබා  සතුන් මරබියේ  දිව  එද්දී  දඬු වැට  ළඟ  මුර  කරති. එසේ වන්නේ  ඇයිදැයි  අසති.


තමන්ගේ  ජීවිතයේ  සතුට  සොරාගන්නා  මේ  අවලමුන්ට  සාප  කරති.



මෙහි  කිසිම  අමුතු  කතාවක්  නැත.  මේ  අප  දකින්නේ  බටහිර  රටවල්  විවිධ  අරමුණු  වෙනුවෙන්  දේශපාලනික  ලෙස  අස්ථාවර  කල  රටවල කැරලි  කෝලාහාලවලින්  දිවි  රැක  ගන්නට  ආසියාවේ  අප්‍රිකාවේ  පාරවල්  දිගේ  ඇදුණු  අවතැන්  වූ  මිනිසුන් ය  [සියලු  අවතැන්  මිනිසුන්  බටහිර  ක්‍රියාවල  පලයක්  යයි  මින්  කියවෙන්නේ  නැත].  වෙනසකට  ඇත්තේ  මේ  පිරිස  ඇදෙන්නේ  යුරෝපයේ  සුවදායක  ජීවිතයේ  ධමනියක  දිගේ  වීමයි.  එය  යුරෝපයේ  හදගැස්ම  තීව්ර  කර  යුරෝපයට අධික  රුධිර  පීඩනයක්  උදාකර  තිබේ.









මේ මිනිස්සු  යන්නේ  මර  කපොලු  රාශියක හරහාය. පළමුවෙන්ම  මිලිශියා  කල්ලි  අතේ  දුවන  වෙරළ  තීරයකින්  සබ්බසකලමනාවම  මුදල්  ලෙස  කප්පම්  දී  බෝට්ටුවට  නැගගත  යුතුය.  ඉන්  පසු  ඒ  මරණයේ  බෝට්ටුවේ  නොමැරී ගොඩට  පැමිණිය  යුතුය. ඉන් පසු  රට  රටවල්  හරහා  හොරෙන්  පැනගත  යුතුය.  සමහර  විටෙක  ඒ  ගමන්  සීල්  කල  පෙට්ටියක්  තුල  ය.  ඒ  පෙට්ටිය  රැගෙන  යන  රියැදුරා රථය  දමා පලා  ගියහොත්  මරණය  ද  ඒ  තුලමය. ඊ ලඟට  දේශසීමා වල  කම්බි  වැටවල්  බැටන් පොලු  හා  මැෂින්  තුවක්කුය.















මේ යන්නේ තනිකර අහිංසකයින්  කියා  අප  කියන්නේ  නැත.  මේ  යන  සමහරක්  අය  අසාද්  සදාම්  වැනි නරුම  එකාධිපතීන්ගේ  මිනීමරුවන්  මෙන්ම  ඒ  ස්ථාවර  රජයන්  පෙරලන  බටහිර  සැලසුම්  වලට  සහය  දුන්නවුන් ද විය  හැකිය. මේ  යන  පිරිස  යම්  දිනක  බටහිර රටවල ස්ථාවර  වී  අන්තවාදයේ  බීජ  පැතිරීම  නොකරන්නේ  යයි  කාටවත්  කිව  නොහැක.  එසේම  මේ  අතර  සාමකාමී  රටවල  එදාවේල  අර්බුදය හමුවේ යුරෝපයට  ලෙහෙසියෙන්  රිංගා  ගන්නට  ආ  පිරිස් ද  සිටිය  හැකිය.

එහෙත් ජීවිතයත්  මරණයත්  අතර  මේ  ගමන  ආ  බහුතරය  යුද්ධයෙන්  කොලාහාලයෙන්  පලායන  මනුෂ්‍ය ප්‍රජාවකි.  ඒ  අතර  ශක්තිමත් ගැහැණු  පිරිමි  පමණක්  නොව,  කුඩා දරුවෝ,  වෙරළෙන්  ගොඩගත්  වහා  දරු  උපත්  සිදු  කරන  ගානට  බඩදරු  අම්මලා  ආදීහු  ද  වෙති.  ගුවන්  යානයකින්වත්  යාමට  අසීරු  මේ  මිනිස්සු  මෙසේ  බෝට්ටුවෙන්  එන්නේ  මූලිකවම  යුද්ධය  නිසාවෙනි.


යුද්ධය  කෝලාහල  ස්වාභාවික  විපත්  ආදියෙන්  පලා  යාම  ඕනෑම  ජීවී ගහනයක  අවශ්‍යතාවයකි. එහෙත්  මිනිසා  විසින්  නිර්මිත  දේශසීමා  හා පාස්පෝට්  නමැති  කෘතීම  දේවල්  ඒ  සංචරණය  සීමාකර  උන්  මරණය  තුල  සිර  කර  දමති. මේ  කතාවේ  හොලිස්ටික්  මතවාදය  වරක්  අපි " බෝට්ටු  හා පාස්පෝට්"  මගින් කතා  කළෙමු. අද  මේ දකින්නේ එහි ප්‍රායෝගික උදාහරණයකි. එමෙන්ම  සිරියාව හා ඉරාකයට  ගිනි තැබුවන්ට  පල දෙන  දිට්ට  ධම්ම කර්මයකි.

කෙසේ නමුත් දිග  කතාවක්  කෙටි  කර  දෙන්නට  මෙන්න මේ අහිංසක  පොඩි  එකා සමත්  විය. පළමු රූප  රාමුවේ  සතුටින් ඉන්න සිරියාවේ  කොබානි  නගරයේ  අහිංසකයා  තුර්කියේ වෙරළක  දෙවැනි  රූප  රාමුවේ  පරිදි  අවසන්  ගමන්  යන්නට  හේතු  වූයේ  කාගේ  වරදින්දැයි  සිතන්නේ  නම්  මුළු  කතාවම මනාව  පැහැදිලි  කරගත  හැකිවනු  ඇත.







[සියලු පින්තූර  බීබීසී  පුවත්  සේවයෙනි]

Friday, August 14, 2015

වණපල් මතුර රිමික්සුව

එකලැ එම දීපයෙහි රජ සබ වරණය උදෙසා අඬබෙර ගැසුම් නවත්නා  දින පැමිණියේ යැ. ජයන්තිය අතින් මැ සාදා දුන් බෙලිමල් බඳුනෙක රහ බලන මෙත්පල්හු විජරම් නිවස්නේ නෙක පැහැ විසිතුරු පුෂ්ප විකසිත පඳුරු අතෙර මද සක්මනෙක නියැලුණහ. එකෙණෙහි එක වරම මහා හඬින් ගෝරනාඩුවෙක් ඇසුණි.

"එම්බා නරය"

අනුන්ගේ පුරෝහිත කමින් රජකම් කලත් සකල ශ්‍රිලන්කාධීශ්වර වූ මෙත්පල්හු මේ ඇමතුමෙන් පුදුමයට පත් වැ වට පිට බැලූහ. මිනිස් පුලුටෙක් නැති.

"තොප කවුද?"

"තට මා කවරෙක්දැයි දැන ගැනුම පලෙක් නැති. මා කියන්නක් අසව. නැතහොත් මම තගේ හිස මෝරුන්ට කන්නට දමමි. සිරුර සූට් කේසයක දමා රථ නැවතුමේ තබමි"

පියස්ධිය ද විසුරුවා ලූ කලැ මේ නම් සැබෑම තර්ජනයෙකියි බියට පත් මෙත්පල්හු සැලෙන හඬින් තොපට අවැසි කුමෙක්දැයි විමසීය.

"තා නමට පමනෙක් නයුවෙකු වන සන්ධාන නම් පසෙක් වෙද ?"

"එසේ යැ"

"එහි ලෙහෙකම් කරන පෙම්ජයන්තයා නම් පුඟුලෙක් වෙද"

"එසේ යැ"

"තා වහා ඒ පෙම්ජයන්තයා ලෙහෙකමින් පහ කරව"

".... කෙ ... කෙසේ නම් එය කරම්ද? මා හට කුනුහබෙන් ඇසුමට වන හිටන් යැ"

"තා එසේ නොකලත් උහු තට තෙපලන්නේ කුනුහබෙක්මැයි නරය. තට හැව්ලොකයේ රිය අනතුරෙක් රිසි ද?"

"න් ... නැත නැත ස්වාමිනි. මම වහා එසේ කරමි. එ ද මා ඉනික්බිති ලෙහෙකමට ගන්නේ කවරෙක්ද?"

"වණපලයා ගනුව"

"මොකා... "

"වණපලයා බොල වණපලයා, විසුවා වණපලයා තට තාගේ කුමාර සමයේ කෙළිදෙළෙන් එකම කැබිනෙට්ටුවේ හුන් මිතුරු තෙම අමතක ද?"

"විසුවා වණපලයා. මා උන්නේ ඌ මියැදිලා කියා හිටන් යැ. මේකා තවමත් යෙහෙන් සිටීද?"

"කට කට නරය. තා ඌට කලින් මැ වාලුකා ගාමාගමනයට රිසි ද?"

"කමා කරනු මැන ස්වාමිනි. මම වහාම ඒ විසුවා වණපලයා ලෙහෙකමයා කරමි හිටන් යැ"

"කදිමයි නරය."

රුව නුදුටු මුත් මේ හඬ නම් යකෙක්ගේ මැ යි සිතා රක්තාක්ෂියා දුටු සේ බියට පත් මෙත්පල්හු වහා ශිරාලයා බණවා ලිපිය ලියා එය සන්ධාන පසටැ  යැවී යැ. එකෙනෙහිම මුළු දීපයේ මැ බයි දනෝ කැලැඹුමට ද ටොයි දනෝ ප්‍රීති ප්‍රමෝදයට ද පත්වැ මහත් කලබල ද සැණකෙළි ද කරන්නට වන්හ. ඒ මහා ගෝෂා මැද විජරම් නිවස්නෙහි මනාකොටැ වැඩුණු පුෂ්ප විකසිත පඳුරෙකින් මෑත් වැ පැමිණි විසුවා වණපලයානෝ මෙත්පලුන් දෑත් පටලාගෙනැ  පිය මිතුරු සම්භාෂණයෙන් උහු අමතන්නාහු

"මා පිය මිතුරු පස්වාන් දහසකටැ බුදුබව කපන ලද මෙත් පලුනි කිමැ  මට එන්නට කීවේ"

"මා මිතුරු වණපලෙනි, මා තව මැ  තට එන්නට කීවේ නැති. එ ද ශිරාලයා බනවා එසේ කීමට සිතා උන්නෙමි. තා කෙසේ නම් මගේ සිත කියවූයේද කියා නොම දනිමි හිටන් යැ"

"ඒ මන්ද එසේ කරන්නට උන්නේ?"

එවිට මෙත්පලුන් සතර දෙසැ  බලා අත්ලෙන් කට වසාගෙන රහසින් තමන්ට වූ අකරතැබ්බය පැවසී යැ.

"ඉදින් ඒ නොදුටු යක්ෂයා මා මරන්නට පෙර මම තට ලෙහෙකම දුනිමි"

"නැත නැත මෙත්පලුනි ඒ යකෙකු නොවේ. මා දිසාපාමොක් සමයේ කෙළ පැමිණි එක් මතුරෙක් වෙයි. එම මතුර මා නමින් වණපල් මතුර ලෙස පකට යැ. ඒ මතුරට අනුවැ මා හට ලෙහෙකම දෙන්න කියූ ඒ යක් තෙම ද මා මැ වන්නෙමි" කී යැ

"බම්බුවක් වෙ ද වණය, දැන් සිරිලක් නිදහසේ මුළු මහත් උදහසම මා මත පතිත නොවන්නේද? තා මා ලූ අමාරුවෙක මහත හිටන්" යැයි උරණ වැ  පවසන මෙත්පල්හු වහා ඇණිබලිය අමතා කල යුතු දේ විමසී යැ.

සෝබිතයාගේ තැටියේ රොටි පුච්චා පුරුදු ඇණිබලිය මේ තැටියේද උණුහුම බලා "එසේනම් තා සිරිලක් නිදහසේ ලෙහෙකම් දරන අනුර පියදසුන් යහපුන් ද නෙරපා ඒ තැනට මා කීකරු දුමිඳුන් පත් කොට උන්ගේ උදහස ද චකබ්ලාස් කොරව" යැයි ඒ තැටියෙන්ද රොටියක් පුළුස්සා ගත්තා යැ.

එනයින් වණපල් මතුර රිමික්සුව නිමියේ යැ.

Thursday, August 6, 2015

ඒකීයභාවය සුරකිමින් ෆෙඩරල් බලය බෙදීමක්

[පෙර  සටහන:
මම ෆික්ස්ඩ්  ඒකීය හෝ  ෆෙඩරල් මොඩලයක් වෙනුවෙන්  පෙනී  සිටින්නෙක්  නොවෙමි. ඒ  දෙකෙහිම  ඇතැම්  ලක්ෂණ  වලට  ප්‍රිය  කරමි. එහෙත්  2015  අගෝස්තු  මහා  මැතිවරණයේ  වාසිය  ගන්නට ඒකීයභාවය  සුරකින  බවට  කියන  මේ  රජයේ  පට්ටපල්  බොරුව  ගැන  විවේචනයකි  මේ.  එසේම  සටකපට  රජයක්  වචනයක  එල්බගෙන  තීන්දු  කිරීමේ  මුග්ධ  භාවය  ද  විවේචනයට  ලක්විය  යුතුය]

ඒකීය/ෆෙඩරල් කතාබස් නැගලා යන කාලයකි. ෆේස් බුක් එකේ අපිට වර්ගවාදීන් කියූ, ෆෙඩරල් පැත්තට බර අජිත් පී පෙරේරලා එකසිය ගානට ඒකීය වී තිබේ. එජාපය ඒකීය භාවය තුල උපරිම බලය බෙදන බව කියයි. දෙමල සන්ධානයේ කොටසක් ෆෙඩරල් ඉල්ලන අතර ඉතිරි කොටස ඒ කෙහෙම්මල් නොව ප්‍රොජෙක්ට් එකේ ඉතිරි ටික හෙවත් ලාංකීය රජය දිගටම ජාත්‍යන්තරව අපහසුතාවයට පත්කර වෙනම රාජ්‍යය දිනා ගැනීම කරන ලෙස බල කරති. හෙළ උරුමය හා එජාපය මේ මොහොතේ ඒකීය කිව්වට උන් ඇතුළු යහපාලන කල්ලිය ඒකීය කියන වචනය සිරිසේනගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉවත් කල බවද කියවේ.


අද ඒකීය කියන වචනය විකුණන එජාප නායක කාරකාදීන් පමණක් නොව මුහුණු පොත් ප්‍රචාරකයින් පාක්ෂිකයන් පවා පුද්ගලිකව කැමති ෆෙඩරල් එකටය. එනයින් එජාපයේ ඒකීය වදන පක්ෂයේ බාහිරයේ සිටින සහ පාවෙන චන්ද දායක ප්‍රජාව ඉලක්ක කරගෙන බව පැහැදිලිය. අර කොළඹ පහ හයේ කෙල්ලන්ට රෙද්ද හැට්ට අන්දවා ෆුඩ් සිටිය ගමේ කමට අවුරුද්ද සමරන්නා සේ එජාපය අපිට ඒකීයවාදයක් විකුණයි.

එජාප සැලසුම පැහැදිලිය. එදා සිරිසේනගේ ජයට දෙමල චන්ද අවශ්‍ය නිසා ඒකීය කපා දමන ලදී. අද ඔවුන්ට කොහොමත් දෙමළ චන්ද නොලැබෙන නිසා සිංහල චන්ද තර කරන්නට බොරුවට ඒකීය කෑල්ල දාගෙන සිටිති. ඒ අතර එජාප හිතවතා දෙමල සන්ධානය වෙනම ෆෙඩරල් සංකේතය යොදාගෙන දෙමල චන්ද එකතු කරයි. ජයග්‍රහණයෙන් පසු දවසක රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවයට මේ දෙගොල්ල එකට වාඩිවී කතා කරනු ඇත. එවැනි මොහොතක තීරක බලය දෙමල සන්ධානය සතුවන අතර මොකක් හෝ දීලා උගෙන් තම වැඩේ ශේප් එකේ කරගන්නා රනිල් එජාපය නියෝජනය කරනු ඇත.

මට තේරෙන හැටියට ඒකීය ලේබලය යටතේ ඕන දෙයක් දීලා දානු ඇත. ලේබල ගැන කියන්නේ නම්; 1977 ලංකාවේ තිබු සමාජවාදයට බර පාලනය හා සමාජවාදී කැරැල්ලක් ගැසූ ජවිපෙ රවටන්නට ලංකාවට සමාජවාදී ලේබලය එකතු කලේ එජාපෙ ජයවර්ධනයි. ඒ "සමාජවාදී" ලංකාව පාලනය කලේ ඔහුය. මෙවර ඒකීය භාවයත් ඒ ඉරණමට ලක්වනු ඇත.

වඩාත් වැදගත් කාරනාව නම් දෙමල බෙදුම්වාදයේ මූලික අවශ්‍යතා ඒකීය/ෆෙඩරල් විවාදයෙන් පිටස්තර බවයි. මේ ඒ සමහරකි.

1. දෙමල ජනයා ලංකාවේ ඉන්ඩීජිනස් වීම හෙවත් උතුරුනැගෙනහිර හෝම් ලෑන්ඩ් එකක් කිරීම.

2. සෙල්ෆ් ඩිටමිනේෂන් එකක් ලබාදීම හෙවත් ජනමත විචාරණයක් එම පලාත්වල පමණක් පවත්වා තීන්දු ගන්න ඉඩ දීම

3. දෙමල ජනය ලංකාවේ අමුතු සුවිශේෂී කට්ටියක් බව පිළිගැනීම [අනිත් අය එහෙම නැත]

4. උතුරු නැගෙනහිර එකතු කර ලංකාව තුල දෙමල රටක් නිර්මානය කිරීම

5. ඒ පලාත්වල ඉඩම් අයිතිය තමන්ට තබා ගන්නට සෙසු ජනයාට වාරණ නීති හැදීම

6. කුඩා මට්ටමින් පෙනෙන එහෙත් සීමා රහිත හමුදා පොලිස් බල ඇණි පවත්වා ගැනීම.

7. ශ්‍රීලංකා හමුදාවන් ප්‍රදේශ වලින් ඉවත් කරවීම.

මේ කිසිවක් කරන්නට ෆෙඩරල් වන්නට අවශ්‍ය නොවේ. මේ සියල්ල කිරීමට ඒකීය ලේබලය තුල ද පිළිවන. එමෙන්ම ඉන්දු ලංකා ගිවිසුම් කඩදාසියේ මේ බොහෝ දේ කිසිම ඒකීය/ෆෙඩරල් අර්බුදයකින් තොරව සිදුකර තිබුණි.

සරලව ගතහොත් දෙමල බෙදුම්වාදයේ ඉලක්ක වලට ඒකීය ද ෆෙඩරල් ද යන්න අවශේෂ කතාවකි. අප කතා කල යුත්තේ මේ කාරනා ගැන විනා ඒකීය/ෆෙඩරල් කෙහෙම්මලක් ගැන නොවේ.

ඒකීය රාජ්‍යයක් දෙකට බෙදා අවශ්‍යනම් දෙරටක් පවා හැදිය හැකිය. එජාප පෙර රජයේ විගඩම් එක්ක තව කලක් ගියේනම් වෙන්න තිබ්බේ එයයි. දැන් මේ නතර කරපු තැනින් "යාන්තම් පටන් ගත්තා පමණි".

Tuesday, June 30, 2015

ගුප්ත බුවා - නොස්ටල්ජික කතාවක්

කාලය 1991 විය යුතුය. ඒ කැරැල්ල මර්දනය කල පසු එළඹෙන මස්තබාල්දු නිදහස භුක්ති විඳින සමයයි. ඒ කාලේ මොකුත් සිද්ධ වූයේ නැත. ගල්කටස් එකට ටයර් එකට ජීවිත බිලිදුන් යුගයේ මරණ බය හැමතැනම සැඟවී සිටි නමුත් හැමදාම කතාකරන්නට දේවල් තිබුණි. දකුණු පළාතේ ලේ වල ඇති විප්ලවය නිසා අපේ හිත්වල "විප්ලවීය බලාපොරොත්තු" තිබුණි [පහු කාලීනව එව්වා කඩල ගොටු ගහන්නට වික්කෙමු].

මේ සියල්ල කෙටි කාලයකින් සමාප්ත කොට මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්නට සහ අර විප්ලවීය බලාපොරොත්තු ඒ නිදහස් සුසුමක පාකර ඔහේ වැඩක් බලාගන්නට සිද්ද වුනු නිසා මේ කාලය මෙලෝ රහක් නැති විය. ඒ මදිවාට මට මාස කීපයක පාසල් නොයන සමයක් ද පැවතුනි.

විප්ලවයක්  පටලාගෙන මාතෘකාව අමතක විය. මේ කතාව විප්ලවයක් ගැන නොවේ. ඊට වඩා පොඩි සීන් එකකි.

ඔන්න ඔහොම මස්ත බාල්දු දවසක ගමේ බුවෙක් වෙනත් බුවෙක් සමග ගෙන්ගෙට යමින් සිටියේය. මේ ගමේ බුවා ඇත්තෙන්ම ගමෙන් කසාදයක් කරගත් ලුම්පන් කියන වචනයට බොහෝ සෙයින් ගැලපෙන වෙනත් නාගරික පැත්තක එකෙකි. එක්කෝ ගෑණි රට යවා යැපෙන එසේ නැතිනම් කඩේක රස්සාවට කියා ගොස් ගෙදර වගකීම් කට් කරන හවසට කාගෙන් හෝ බී තව කාට හෝ කෑගහන එකෙකි.

ඌත් සමග ආපු බුවා සතු ගුප්ත බල තිබුණු බව ගමේ බුවා කියයි. එසේ කී ගමන් අර ගුප්ත බුවා අමුතු පෙනුමක් ගෙන හුස්ම ඉහලට ගෙන ලාලිත්යයකින් සින්දුවක් කියයි. සින්දුවක් කිව්වට ගාතාවකි. ගාථාවක් කිව්වට මේ ලෝකයේ මෙලෝ බාසාවකින් තේරුමක් නැති එකකි. හරියට ලහිරුවාගේ රම්බරි එකේ වචන මික්ස් කර ගායනා කලානම් ඇතිවන තත්වයට නොදෙවෙනිය. කෙසේ වෙතත් පොරගේ ගාථාව තරමක් හිතට කාවදින ලෙස කීමට පොරට හැකිය. ඩිරෙක්ට් මාකටින් වල මූලික අවශ්‍යතාවයක් වන අවධානය ගැනීමට එය ප්‍රමාණවත් විය.

ගමේ බුවා ගුප්ත බුවා ගැන පම්පෝරි ගැසීය. "මෙයාට කොළඹ ගාල්ල බස් දෙකක් තියෙනවා. මේක මේ සේවයක් හැටියට කරන්නේ", "මෙයා ඇච් ඇස් සී එහෙමත් පාස්", "සෝමක්කලගේ ගෙදර අවුල බලා හිටිය වගේ කිව්වේ", "හාමුදුරුවොත් සාන්තියක් කරව ගත්ත". ඔය අතර ගුප්ත බුවා මතුරයි. එක එක විකාර ශබ්ද දමයි. හිටි ගමන් විවිධ අනාවැකි කියයි.

ඔහොමින් වැඩේ නැගලා යද්දී සැලකියයුතු ක්‍රවුඩ් එකක් වට විය. ඊට පස්සේ ගුප්ත බුවා පම්පෝරි ගැසීම ප්‍රකාශකගෙන් තමාට පවරා ගත්තේය. ගුප්ත බුවාට අනුව පොර ආත්ම කීයක්දෝ මන්දා සිට පේවුණු එකෙකි [එදා පොර ගමේ බුවා සමග සෙට් වීම පේවීමට බාධාවක් නැති වීම වෙනම එකකි] පොර ඒ සංසාර ගමනේ විවිධ උසස් තනතුරු දැරීය. දුටුගැමුණු රාජසබාවේ රාජපුරුශයෙකි [ඒ ටික කියද්දී පොඩ්ඩක් රාජපුරුෂ හැසිරීම කර පෙන්වයි]. තවත් කලෙක මොකෙද්දෝ මන්දා රජෙකි [එහෙම එකෙක් අප දන්නා ලංකා ඉතිහාසයේ සිට නැත], තවත් ඉහල තනතුරු හා ඉහල මානසික තත්ත්ව ලබා තිබේ [ඒවා රඟපා පෙන්වයි], කාලයක් සිරිපා අඩවියේ ලෙනක සුදු නයෙකි [බංකුව මත දගර ගැහෙන්නට හදයි]

පැය බාගයක් පමණ තිස්සේ ගිය මේ නාටකය හෙවත් වෙළඳ දැන්වීම මස්තබාල්දු දවස රසවත් කළේය. වචන මතක නැතත් චිත්ත රූප සමග පොරගේ ගාථාව වගේ එකක් මට තාමත් ඇසෙයි. කෙසේ වෙතත් කොලු කෙල්ලන්ට සොමියක් දෙනවාට එහා යමක් සිදු නොවීය. කොටින්ම මුන් දෙන්නට එදා නොමිලේ රා බෝතලයක් වත් ලැබුණා යයි නොසිතමි.

ටික වෙලාවකින් ගුප්ත බුවා ගමේ බුවා සමග බස් හෝල්ට් එක දිහාවට ඇදෙනු දකින්න ලැබුණි.

කතාව් ලිව්වේ පරණ සීන් බෙදා ගන්න ආතල් එකටය. එහෙත් ඊට පාදක වූයේ වසර විසිදාහක  ආත්මභාවයන්  ගැන  මතක  ලංකාවේ  රජවරු  ඇමතිවරු  වෙලා උන්නු බව  කියන ගුප්ත  බුවෙක්  ගැන  ලියැවුණු මෙන්න මේ "පුවත" යි.


අදට වඩා ලෝකාවබෝධයෙන් දුර්වල එදා ලංකාවේ මිත්‍යා ඇදහිලි වලට ප්‍රකට පෙදෙසක ගමක පෙර කී ගුප්ත බුවාට ලැබුනේ විසුළු සහගත රිසෙප්ෂන් එකක් වුවත් දැන් එහෙම නැත. දැන් ඒ පොරවල් ඉන්නේ ගොසිප් සයිට් වලය. හෙට අනිද්දා මේ යකා ඊගාව දොලුකන්දයා වුනත් පුදුමයට හේතුවක් නැත.

කෙතරම් නව තාක්ෂනයන් සමාජගත වුවත් අවබෝධය හා බුද්ධිය අතින් ලංකාව ආපසු යන බවට කදිම සාධකයකි.

Monday, June 22, 2015

එරන්ද කුමාරප්පෙරුම - මිතුරෙකුගේ කලා නිර්මාණ ගැන ඇගයුමක්

එරන්ද කුමාරප්පෙරුම මා හඳුනන්නේ කලකට පෙර සිට ය. මගේ විශ්ව විද්‍යාල සමය හා ඔහුගේ පාසල් අවසාන සමය වූ ඒ කාලයේ අපි හොඳ මිතුරෝ වීමු. වෙනස් ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ උගත් අපි, ඒ ක්ෂේත්‍ර වල වෘත්තීන් වලට යොමු වූයෙමු. දශකයකට වැඩි  කලකට  පසු එරන්ද මට මුණ ගැසෙනුයේ සපුරා වෙනස් සන්දර්භයකදීය.

එරන්ද දැන් චිත්‍ර ශිල්පියෙකි. සම්මාන/ජයග්‍රහණ ලද්දෙකි. එරන්දගේ චිත්‍ර තුලින් සුවිසල් භාවාත්මක කතිකාවක් නිහඬව කළ එළි දැක්වේ. වැදගත් ම කාරණාව ඒවා පළ කෙරෙනුයේ කඩදාසියක් මත නොවීම නිසාය. එරන්ද චිත්‍ර 
පළ කිරීම ආරම්භ කළේ ටී ෂර්ට් වලය.



ඔහුගේ චිත්‍ර බොහෝ විට ඉස්මතු කරනුයේ සමාජය තුල කලක පටන් පැවත ගෙන ආ සාමාජිය සිහි සටහන් විශේෂයකි [social memoirs]. විටෙක මීට දශකයකට පෙර මිනිසුන් සුලබව සහභාගී වූ ක්‍රියාකාරකමක්, තවත් විටෙක නගරයක සුවිශේෂි කෙළවරක්, එසේත් නැතිනම් බොහෝ දෙනෙකුට අතීතයේ මතකයක් අවදි කරවන කිසියම් හැගීම් ප්‍රකාශනයක් ඒ චිත්‍ර අතර සොයා ගත හැක. බොහෝ චිත්‍ර වල සියුම්ව ඉරි අතර සඟවන වැදගත් සලකුණු වේ. තමන්ට ඉස්මතු කිරීමට අවැසි කතිකාව සංකේතාත්මක සටහන් කීපයක රඳවන්නට ඔහු සමත් වී තිබේ.

මේ වසර විස්සකට පමණ පෙර ඔහු සිටින ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බොහෝ දෙනෙකු ප්‍රියකළ ප්‍රචලිත වාහනයකි. එකල සුලබ වූ මෙම වාහනය බොහෝ දෙනෙකුට අතීත මතක සිහි ගන්වයි.



මේ සිඩ්නි නගරයේ කෙලවරකි. බොහෝ සිත්තරුන් ලොකුවට අඳින පාලම ඔහු මෙහි සඟවා තිබේ.



පැටළුණු ඉරි ගොඩක ගැඹුරු අදහසක් - Hunger.






කළා  නිර්මාණ  ඇගයීමට  ශාස්ත්‍රීය  හැකියාවක් නැති  මගේ  වචන  හරඹ  පසෙක  ලා  අපි  එරන්දගේ  තෙලි   තුඩට  කතා  කරන්නට  ඉඩ  දෙමු.













ටී ෂර්ට් නිර්මාණයෙන් ඔබ්බට යන ඔහු වෙනත් නිර්මාණ අවකාශවලට අවතීර්ණ වී ඇත. රාමුකළ  චිත්‍ර, වෘත්තීය චායාරූප කරණය, වීඩියෝ කරණය හා ගීත වලට රූප රචනය ඉන් සමහරකි.

මේ අමරදේවයන්ගේ නවතම ගීයකට ඔහු විසින් කල රූප රචනයයි.

ඉරි සටහන් ඉක්මවන වර්ණ පදාස වලින් කල අදහස් දැක්වීම් කීපයක් එකතු කරන්නේ එරන්ද එක ශෛලියක සිරගත නොවන්නෙකු බවට සාධකයක් වශයෙනි. මේවා උපුටා ගන්නේ ඔහුගේ නිර්මාණ  එළි   දක්වන  වත්පොත් පිටුවෙනි.












කාර්යබහුල වෘත්තිය ජීවිතයක් සහිත වුවද නිර්මාණකරණයේ යෙදෙන්නට හා නිර්මාණ වෙළඳපොළට එකතු කරන්නට ඔහුගේම සමාගමක් පිහිටුවා ගෙන තිබේ. මේ එහි වත්පොත් දිගුවයි.

එමෙන්ම  නිර්මාණකරුවෙකු  ලෙස  https://www.facebook.com/erandak හරහා  ඔහු  රසිකයන්  හට  දැකබලාගත  හැකිය.

එරන්දගේ යුටියුබ් ෆීඩ් පහත දැක්වේ.
www.youtube.com/nugadesigns
www.youtube.com/erandak


ඔහුගේ සියලු නිර්මාණ තුල ඇත්තේ සිතුවම් හරහා ඔහු දකින ලෝකයයි. ටී ෂර්ට් එකකින් වීඩියෝ එකකින් එලියට එන්නේ ඔහුගේ තෙලි තුඩෙක ඇඳෙන කටු සටහනකි. ඒ කටු සටහන් වල පිළිවෙලක් නැති ඉරි කීපයක ස්වරූපයෙන්  අමුතු කතන්දරයක් මවන්නට ඔහු සමත් වේ. ඒ තුලින්  ඔහුටම  ආවේනික දර්ශනයක්  නිහඬව  ඔහු  ඉදිරිපත්  කරයි.


තමන්ගේ ම කලාවක් පටන් ගෙන සියුම් හා සුන්දර නිර්මාණ හිතට කා වදින මාතෘකා හරහා ඉදිරිපත් කරන එරන්දට සුබ පතමු.

Monday, May 18, 2015

මෙය යුද්ධයේ සමාප්තිය ගැන සැමරුමක් නොවේ

මෙය යුද්ධයේ සමාප්තිය ගැන සැමරුමක් නොවේ. මෙසේ කියද්දී එන මූලිකම ගැටලුව නම් මොන යුද්ධයද කියන එක.

ආක්‍රමණික ප්‍රංශ හමුදාව පරදවා මෙක්සිකෝ හමුදා දිනලා තියෙන්නේ මැයි මාසෙක. ඇන්සැක් හමුදාව ක්රීටයේදී දින්නලු වැදගත් සටනක් දෙවෙනි ලෝක යුද්ධයට. ඔහොම ලෝකේ පුරා ආගත නාගත යුද්ධ වෙලා තිබ්බට මැයි මාසයේ අපේ ජීවිත වලට බලපාන යුද්ධයක් වෙලා කියලා අපිට මතක නැහැ.

ලංකාවේ ත්‍රස්තවාදයත් සම්පුර්ණයෙන්ම පරාජය කලේ මොලයේ බලයෙන් සාකච්චා මෙසයකදී කියලයි කියන්නේ. ඒකෙන් සීයෙට පනහක් සැටලයිට් මැඩම් ඉවර කලාලු නේ. දැන් ඒ සමාප්තිය ගැන සමරන්න එයා ඒක කලේ කවද්ද කොහොමද සටන් බිමේද සාකච්චා මෙසේද දාම් බෝඩ් එකේද කියල කවුරුත් දන්නේ නැහැ.

ඉතින් මූලිකම ප්‍රශ්නේ සමරන්න සමාප්ත වෙච්ච යුද්ධයක් නැති එක.

දැන් සමහරු කියන්නේ එයාලා සමරන්නේ යුද්ධයේ සමාප්තිය කියලා නේ. අපි නොදැන මෙහෙම යුද්ධයක් තිබ්බත් එහි සමාප්තිය පවා සමරන්න හොඳ නැහැ.

මොකද ඔය යුද්ධ කියන්නේ බොහොම නරක එව්වා නේ. ඉතින් එව්වා ගැන කතාකරන්න හොඳ නැහැ මොකද අපේ හිත් මල් වගේ නිසා. යුද්ධ ගැන කතාකරලා ඒවා කිලිටි කරගන්න නරකයි. අපි කරන්නේ අරගල නේ. අරගල කියන්නේ හොඳ එව්වා. යුද්ධ නරක එව්වා. අරගලයක් යුද්ධයක් දක්වා ඇදෙනවා නම් රටක හමුදාවේ වගකීම එවෙලේම යටත් වීම.

ඉතින් යුද්ධ කියන්නේ හොඳ දේවල් නොවේ. ඒ නිසා යුද්ධයේ සමාප්තියවත් සමරන්න හොඳ නැහැ.

යුද්ධයක සමරන්න අවශ්‍ය ඒ වෙනුවෙන් ජීවිත පුද දුන් අංග විකල වුනු හමුදා සෙබළුන් හා ඔවුන් නිසා දුක් වින්ද පවුල්වල මිනිස්සු කියලත් කියනවා. හැබැයි ඉතින් ඔය හමුදාව කියන්නේ කවුද අමු මිනීමරුවෝ නේ. උන් ඔහේ ඉවක් බවක් නැතුව මරාගෙන යන එවුන්. උන් මැරෙන්නේ උන්ගේ ඕලමොට්ටලකමට අනික නොමැරී අපි වගේ ඉන්න උන්ට වත්කමක් නැති කමට. ඇයි උන්ට අපි වගේ අහින්සාවාදයෙන් ජීවත් වෙන්න බැරි. සල්ලි නැත්නම් කුලී වැඩක් හරි කරගෙන.

ඉන්නම අමාරුනම් අපි වගේ මයිග්රේට් කරන්න බැරි. මොකද ඔය යුද්ධ වෙන තැන්වල හිටියමයි ඔව්වට අහුවෙන්නේ. අපි වගේ මයිග්රේට් කලානම් අහින්සාවාදයෙන් දෙන්න තිබ්බ රඹටි හැලෙන්න.

උන්  මැරුම් කන්නේ අපි  වෙනුවෙන්  නොවෙයි. උන් මිනි මරන්නේ අපි වෙනුවෙන් නොවෙයි. උන් අතින් මියයන අය අපිව මරන්න එන අය නෙවෙයි. අපි කොහොමත් යෙහෙන් වැජඹෙන මිනිස්සු. අහින්සාවාදයෙන්. මයිග්රේට් කරලා. අරුන් මිනි මරුවෝ. අපි සමරන්න නොවේ ලජ්ජා වෙන්න ඕනෙ ඕකුන් ගැන.

උන්ගේ අතින් මැරුණු මිනිස්සු උඹලට අමතකද? කොටි සංවිධානය කිව්වට පර්සියන් පූසෝ. ඒ අය සමහර විට එහා පැත්තේ කවුරුහරි කියපු බහට රැවටිලා ආයුධ ගත්ත තමයි. ඒත් එයාලා හරිම සුන්දර මිනිස්සු. තමන්ගේ "රට" වෙනුවෙන් ජීවිත පූජාකළ. උඹලට සමරන්නම කෙනෙක් නැතිනම් ඒ කොටි මහවිරුවන් සමරපල්ලකෝ. ඇත්තෙන්ම එයාලව සමරන්න දවසක් අවශ්‍යයි නේද?

දැන් මෙතන පරස්පරයක් පේන බව අපි දන්නවා. සැමරුමක් එපා කියල පටන්ගෙන සැමරුමකින් කතාව ඉවර කරන එක. එහෙම තමයි ගැඹුරු දේශපාලන කතා. පරස්පර එක්ක යන දේශපාලනය ගැඹුරුයි. බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. කොටින්ම කියන අපිටත් තේරෙන්නේ නැහැ. හැබැයි අපි කියනවා.

ඉවර කරනවා කිව්වට ඉවර කරන්න තව දේවල් තියෙනවා. දැන් මේ පරස්පර අස්සේ හිරවෙලා කෙස්ස කඩාගෙන කල්පනා කරන තත්වෙට එනවනම් මෙහෙමත් කීවහැකිනේ. ඔය සමරනවා කියන එකට විවිධ ආස්ථාන තියෙන්න පුළුවන්. කැමතිවෙන්න පුළුවන් අකමැතිවෙන්න පුළුවන්, ඉන් බිට්වීන් හෝ ඉන්ඩිෆරන්ට් වෙන්න පුළුවන්. සමහරු හිටගෙන වෙන්න පුළුවන්, සමහරු ඉඳගෙන වෙන්න පුළුවන්. සමහරු පෙරලීගෙන, තව සමහරු බඩගාගෙන. ඔච්චරද? නැහැ. තව සමහරු තනි කකුලෙන් හිටගෙන සමහරු ඔලුවෙනුත් හිටගෙන. දැන් මේ ඕනෑම විදියකට ඉන්න තියෙන එක නිදහසක් නේ. ඉතින් කට්ටිය එහෙම ඉන්නවා.

එච්චරයි. එක්සයිටින් අවසානයක් නැහැ. දැන් ඔහොම කිව්වම කිසිම දෙයක් අමුතුවෙන් කියවෙනවද? නැහැ. හැබැයි ඒ නොකියවීම තුල කොච්චර දේවල් කියවෙනවද? මෙන්න මේ හරිය ගුප්තයි. අපි ආසයි ගුප්ත වෙන්න.

එක්සයිටින් මදිනම් අපි දානවා ඔලුවෙන් හිටගන්න එක අනිත් ඒවාට වඩා අමාරු නිසා අපි කැටගරිකලි ඒ වගේ අමාරු දේවල් වලට පොඩි අත්පොලසන් නාදයක් දෙන බව. දැන් ශේප්.

දැන් මොකද්ද මේ සමරන්නේ එතකොට. අපි නම් සමරන්නේ මෙන්න මේක. මේක ලිව්වේ ප්‍රවීන මාධ්‍යවේදී මානි මහත්තයා. මේක ඒ මහත්තයා ලීවේ 2009 මැයි මාසේ දවසක. මානි මහත්තයා මේක ලියල මේ වෙද්දී වසර හයක් ගෙවිලා. අපි සමරන්නේ අන්න ඒක.
දැන් දැන් විසිගණන් වල කොල්ලන්ටත් හතලිස් ඇඳිරිය බව ඔප්පුවෙන නිසා මේක දානවා තඩි ඉමේජ් එකක් ලෙස.  [ඉමේජ්  එක  හොරෙන් ඉස්සුවේ  ලක්ෂාන්  වික්‍රම  මහත්තයගෙන්  නිසා  එයාටත්  පොඩි  ස්තුතියක්  එක්ක]. 

පොඩි අවුලකට තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී මානි මහතාට ජන හද ගැහෙන රාවය ඇහෙන්නේ හොරට වීම. අවුරුදු විසිපහේ ගේම හයෙන් ඉවර කල ප්‍රෞඩ සමාජයක් අපි.






ප.ලි: මේ  ගැන  මුහුනුපොතේ  කෙරෙන  කතා බහත්  එකතු කරලා  පොඩි  නෝට්  එකක්  ලියන්නේ  කීප  දෙනෙක් ප්‍රශ්න කල නිසා. මෙම පොස්ටුවේ  විවේචනයට ලක්වෙන  පිරිස  මාර  ආකර්ශනීය  හොඳ  කතා  කියන  නිසා සමහරු  ආසයිලු  එයාලට. ඇයි  අහනවා  අපි  මෙහෙම  කියන්නේ.

මේ කතාවට දිග ඉතිහාසයක් තියෙනවා. හුදෙක්  කටවචනයේ  ආකර්ෂණයට  රැවටෙන  එක  ඒ  ඒ  අයගේ  වැඩක්.  හැබැයි  මේ පිරිස්  දශක  ගානක  දේශපාලන ඉතිහාසයක  තමන්ගේ  යටි  අරමුණු  වෙනුවෙන්  විවිධාකාරයෙන්  කැපවුණු  අය.  2001  කාලේ  ටීවී  එකේ  ඇවිදින්  දෙමලාගේ  හමුදාවට මිනි  මරන්න  ඇති  අයිතිය  ගැන පෙනී  උන්නු  අය. 
කිසිම මිනිහෙක් මැරිලා ඉපදිලා නැහැ. ඔක්කොම ඉන්නේ විවිධ මුහුණුවරින් තම තමන්ගේ සැලසුමට වැඩ කරමින්. 

2001 සාමකතා කාලේ ලස්සන සිංහල පත්තරයක් තිබ්බ දකුණේ. ඒකෙ සාමය ගැන සුන්දර කතා තිබ්බා. උතුරු දකුණු සහෝදරත්වය ගැන කතා තිබ්බා. දෙමලයි අපියි එකට හිනාවෙන දවස ගැන සිහින තිබ්බා. ඒ තරම් ඔය මාතෘකාව ගැන ලස්සනම කරුණු තියෙන මට එකඟ වෙන්න පුලුවන් පත්තරයක් දැකලා නැහැ මම. පත්තරේ නමත් ලස්සනයි දේදුන්න.

දන්නවද ගැහුවේ කවුද කියලා. කොටි සංවිධානය. එයාලා දකුණට ඒ සුන්දර සිහින විකිනුවට උතුරට වික්කේ වෛරය. ලේ පලිය. මරාගෙන මැරෙන හැටි. සයනයිඩ් හා සුයිසයිඩ් කිට්ස්.

ඔහොමයි වැඩ සිද්දවෙන්නේ.

දැන් මේ මොහොතේ ඔය කියන සහෝදරත්වයේ දිනය ඇයි සමරන්න බැරි මුල්ලිවයික්කාල් වල. හෝ උතුරේ තැනක. දෙමල ජනය එක්ක. දෙමල දේශපාලකයින් එක්ක. ඇයි එහෙ කට්ටිය එයාලගේ මැරිච්ච සෙබළු වෙනුවෙන් "මහවිරු" සැමරුමක් කරන්නේ? ඇයි එයාල හැගීම්බර කතා කරන්නේ දෙමලාගේ නැතිවූ නිජබිමේ අයිතිය ගැන.

 මේ  දකුණු සැමරුම ඒ උතුරු සැමරුමෙන් ස්වායත්ත නැහැ. ඒ දෙක එකම වැඩසටහනක් කොටස් දෙකක්. හරියටම දේදුන්න පත්තරේ වගේ.

ඉතින් කිසිවක් නොවුනා වගේ තොත්ත බබාවෙලා පෝස්ටරයක සුන්දරත්වය එක්ක ඔවුන් සමග ප්‍රේම කිරීම ඔබට බාරයි. අපිට ඒ කට්ටියත් එක්ක කතාවක් තියෙන නිසා අපි කතා කරන්නේ. ඒ  කතාවට  දිගු  ඉතිහාසයක්  තියෙනවා.




Friday, January 9, 2015

ජාතික වීරයා


සමහරවිට ඔබ නොදන්නා මෙතුමා ඊයේ සිට ජාතික වීරයෙකි. එතුමාගේ රුව මා විසින් සයිබරයේ  අඳින  ලද  මුල්ම  චිත්‍රයයි




මේ ගීතය එතුමාට උපහාර පිණිසයි


ග්‍රහ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නැකැත් කරුගේ කලිසම තෙමී
ඊයේ දිනේදී නැකතක් බලාලා
නව වීරයෙක් බිහි වුණා //


කඳුලැල් සලාලා නොහඬන් මචෝ
කොහොමද කියාපන්කෝ ඔය ගේම දුන්නේ
ලොක්කා අනාතයි රජ පවුල ඉවරයි
උඹ දීපු ලණුවෙන් නොසිතූ ලෙසේ

ග්‍රහ තාරකාවෝ බැලුවා එබී...

තිරුපති ගියා දෙයියොත් බැලුවේ නැතේ
කහබෝලෙටත් බැරිවිය උඹගේ ගැටේ
චන්දරෙ මළාදෙන් මංජුල එපා බන්
උඹමයි අපේ ලෝකේ නව වීරයා

ග්‍රහ තාරකාවෝ බැලුවා එබී...

ටා රා ටරට්ටට්ට ටා රා