Friday, October 31, 2014

මීරියබැද්දේ අමිහිරිය

බොහෝ දෙනා දන්නා පරිදි ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් මීට දින කීපයකට පෙර බදුලු දිස්තික්කයේ කොස්ලන්ද ආසන්නයේ මීරියබැද්ද තේ වත්තේ සිද්ධ විය. මිය ගිය සංඛ්‍යාවන් ගැන නිච්චියක් තවම නැති අතර මල සිරුරු ඇත්තේ අඩි දහයක් විස්සක් පමණ පොලොව යට බව කියවේ. එම ස්ථානයේ පදිංචි පවුල් 120 පමණ ප්‍රමාණය සලකා මියගිය ගණන 400 සිට 50 දක්වා අනුමාන වන්නේ ගමේ පවුල් ගැන දත්ත අඩංගු කාර්යාලයත් ගම සමගම වැළලුනු බැවිනි [50 ක් හෝ තවත් අඩු වේවා කියා ප්‍රාර්ථනා කරමු]. පාසල් යාම නිසා පණ බේරුණු දරුවන් රැසක් වැළලුනු මවුපියන් ඉල්ලා හඬා වැටෙන මොහොතකි. මේ පූර්විකාව මෙතනින් අහවර කරන්නේ ඉතිරිය පුවත් වලින් කියවෙන නිසාය.

හරියටම ගලපා ගත නොහෙන මගේ ප්‍රශ්නය මේක මෙහෙම වුණේ ඇයි? මේක වලකා ගන්න තිබුනේ නැද්ද? එහෙමත් නැතිනම් අපේ රටේ ජන ජීවිතය මෙහෙම වන්නේ ඇයි? වගේ එකකි. තවත් බසකින් කීවොත් වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවේ මට ග්‍රහණය වන පැතිකඩක් ලෙස ද මෙය සැලකිය හැකිය. මේ අදහස් දැක්වීම තනිකරම මගේ ම නොවන්නේ පහුගිය දෙදින තුල මුහුණු පොත් අවකාශයේ මේ ගැන අදහස් බෙදා ගත් බොහෝ දෙනා නගන ප්‍රශ්න, ප්‍රති තර්ක හා එම සංවාද වල ඔවුන්ට ලියු පිළිතුරු සටහන් මේ ලියමන ට පාදක වන බැවිනි. ඒ සැමටම මගේ විශේෂ ස්තුතිය හිමි වේ.

මාධ්‍ය කියන පරිදි 2005 මෙම ස්ථානය [සහ අදාළ කොස්ලන්ද බෑවුම් ප්‍රදේශය] අනතුරුදායක කලාපයක් ලෙස හඳුනා ගෙන තිබේ. 2011 දී මෙම ස්ථානයේ ම නායයාමක් වාර්තා වේ. 2006 ද එවැන්නක් සිදු වී තිබේ. ඊට වසර කීපයකට පෙර [මං හිතන්නේ 2003 නායයාම් ගොඩක් වූ වසරේ වෙන්න ඕනේ] එවැනිම නායයාමක් වූ බවට එම පුවතම සාක්ෂි දරයි. මෙම එක නායයාමකින්  [කිනම් අවස්තාව දැයි නොපැහැදිලිය] දස දෙනෙක් පමණ මියගොස් ඇත. ඒ අනුව මෙම ප්‍රදේශය නායයාම් ගැන ඉතිහාසයක් සහිත පෙදෙසකි.

ජනයාට විකල්ප ස්ථාන ලබා දී තිබ්බා ගියේ පවුල් 30 ක් පමණි කියා මුලදී කියැවුණු මුත් දැන් දැන් කියන්නේ ගෙවල් හැදුවේ 30 ක් පමණයි වගේ කතාවකි. එනයින් අනිත් මිනිස්සු යන්න කැමැත්තෙන් තමන්ට පහසුකම් ලැබෙන තුරු සිටියා වන්නට පිළිවන. නායයාමට පෙර දිනයේ මෙම වටාපිටාවේ කොහේ හෝ නායයාමක් සිදුවන බවට එම ගම්මාන වලට අනතුරු අඟවා තිබේ. වහාම ඉවත් වන්නැයි පවසා සිටිය ද මිනිස්සු එසේ ඉවත් වී නැත.

අවසාන කොටස පළමුව සැලකුවොත් ස්වාභාවික විපතකදී මිනිසුන්ට යන්න කියා කීවාම යන පුරුද්දක් පවතියි. මේ මිනිසුන් නොගියේ ඇයි කියන එක වෙනම සලකා බැලිය යුතුය. සමහර විට යන්න සුදුසු අනාත කඳවුරක් නොපැවතීම විය හැකිය. මිනිසුන් බලෙන් ඉවත් නොකළේ ඇයි කියා අසන අය ද සිටිති. ලංකාවේ ස්වාභාවික විපතක් නිසා මිනිසුන් බලෙන් ඉවත් කිරීමක් කල අවස්තාවක් මට මතක් වන්නේ නැත. එසේම නාය යාමක් යනු සුළි සුළඟක් මෙන් ස්ථිරව අහවල් දවසේ අහවල් තැන වෙනවා කියා කිවහැකි දෙයක් නොවේ. එසේ බලෙන් ගෙන යන්නේ නම් අවදානම ඉවත් වන/කරන තුරු මිනිසුන් තාවකාලික පදිංචියක තබාගෙන ඔවුන්ගේ ජීවනෝපාය සැකසිය යුතුය. අනෙක් අතට මෙය මීරියබැද්ද පමණක් නොව අවදානම් කලාපයේ සියලුම් ගම්මාන හා වතු වලට අදාලය. මෙතරම් බරපතල වැඩසටහනක් එකවර සැලසුම් කිරීම අපහසු කර්තව්‍යයකි.

මේ ගැටලුව අභ්‍යන්තරයේ පවතින තේ කර්මාන්තයේ ආකෘතියේ ඇති දැවැන්ත අර්බුදය ගැන කතා නොකරම බැරිය. වසර සියගානක් තිස්සේ ඇදෙන මේ කතාව ඇත්තෙන්ම ගැටළු දෙකකි.

පළමු වැන්න තේ වතු නිසා බිහි වූ දැවැන්ත පාරිසරික අර්බුදයයි. එන්න එන්න වැඩිවන ආන්තික කාලගුණ තත්වයන් එක්ක තේ වතු වගේ අස්ථාවර පද්ධති කඩා වැටේ. සුද්ද මේවා හැදුවේ අපේ පාරිසරික සමතුලිතතාවය ගැන අබමල් රොනක අවබෝධයකින් නොවේ. එමෙන්ම සුද්දා එළවා අල්ලා ගත් අපේ උදවිය මේවා නඩත්තු කරන්නේ සුද්දා ගේ තත්ත්ව පාලන වලට සමානව නොවේ. ස්වාභාවික වන වැස්ම විනාශය, අතහැර දැමු කොටස් වල යටි වගාව ප්‍රබල නොවීම, පිටස්තර ශාඛ භාවිතය, සුද්ද දැමු ගල්වැටි ඒ ලෙසින් නඩත්තු නොකිරීම ආදී ලෙස මෙම විකෘති සංයෝජනයෙන් ඇති වූ අර්බුද රාශියකි.

දෙවැනි දුක්බර කතාව නම් අකමැත්තෙන් චුවත් තේ වතු කියන්නේ ප්‍රවේණි දාස ක්‍රමයට දුවන ආයතන බව පිළිගන්න සිදුවීමයි. වත්තේ ගෙවන කුලිය බාහිර සමාජයේ ගෙවන ගානට වඩා බෙහෙවින් අඩුය. එහෙත් ලයිම තියාගන්න නම් පවුලෙන් එකෙක් හෝ වත්තේ වැඩ කල යුතුය. එසේ වැඩ නොකලොත් බාහිරයේ ශ්‍රම බලකාය සමග තරග කර කුලී වැඩ සොයා ගන්නා අර්බුදය ද ඉස්මතු වේ. වත්තෙන් එලියට ඒ මිනිසුන් ගෙන යාමේදී වත්ත හා සේවකයා අතර සම්බන්ධය බිඳෙන නිසා ලාබ ශ්‍රමය කොල්ල කන වත්ත ද රැකියා සුරක්ෂිතභාවය ගැන හිතන සේවකයා ද ඊට කැමති නැත. එමෙන්ම මේ මිනිසුන්ගේ පඩියෙන් මුට්ටි කාසි කොල්ල කා පාර්ලිමේන්තු යන වතු කම්කරු දේශපාලකයින් ද ඊට කැමති නැත.

වත්තෙන් පිටට සේවකයා ගත්තොත් නිදහස් ශ්‍රම වෙළඳපොලේ ගානට ශ්‍රමය මිලට ගන්නා තේ කර්මාන්තය මියයන අතර, ප්‍රමාණවත් තරම් කුලී වැඩ නැති නිසා ඒ මිනිස්සු රැකියා විරහිත වනු ඇත. මේ නිසා මිනිසුන් වක්‍රව වත්ත තුල රඳවා ගැනේ. එනයින් වත්තේ ඉන්නා මිනිස්සු වත්තේ සිරකාරයින් වේ. වතුවල පවතින පදිංචියට නුසුදුසු තත්ත්ව තුල දිගටම පීඩා විඳින්නට ඔවුන්ට සිදුවේ.

අවසාන කාරනාව ලෙස මා දුටුවේ වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවයි. ශ්‍රී ලංකාව අධික ජන ඝනත්වයක් සහිත රටකි. එහෙත් පාරිසරික ගැටළු ඇතිවන්න තරම් පාලනය කල නොහැකි මට්ටමට ජන ඝනත්වය වැඩි රටක් නොවේ. ඒ වුනාට අපේ රට තුල ජනගහන වර්ධනයේ "දැවැන්ත" අභියෝග ඉස්මතු වී ඇත. උදාහරණයකට අපිට වඩා ජන ඝනත්වය වැඩි ජපානය නෙදර්ලන්තය දකුණු කොරියාව තායිවානය වගේ රටවල ලංකාවේ තරම් පාරිසරික ප්‍රශ්න නොමැත. මීට හේතුව ලංකාවේ ජන විසිරියයි.

අපේ නාගරික ජනගහන ප්‍රතිශතය 18% කි. මෙය ඉතාම අඩු අගයකි. මෙය අප්‍රිකාවේ මධ්‍යම ආසියාවේ තියෙන අපිට වඩා ඝනත්වය අඩු රටවලටත් වඩා අඩු අගයකි. ලෝකෙන්ම අපිට වඩා නාගරික ජනගහන ප්‍රතිශතය අඩු රටවල් ඇත්තේ දහයක් පහළොවක් පමණ වන අතර අපේ වගේ ජන ඝනත්වයක් එක්ක 18% වගේ අඩු නාගරික ප්‍රතිශතයක් තියෙන එකම රට ලංකාවයි. ඒ කියන්නේ ලංකාවේ 82% ඉන්නේ රට පුරා පැතිරුණු ග්‍රාමීය පරිසර වල ය. ඒ නිසා රටේ හැම පාරිසරික පද්ධතියටම මිනිසා ගේ බලපෑම වැඩිය. අනික ඒ මිනිස්සු ඉන්නේ ආන්තික ස්ථාන වල හෝ වාසයට නුසුදුසු තැන්වල ය. අර ඉපැරණි ගම කියන එක ඉදිමිලා ඉදිමිලා ගොස් වනාන්තර අලින්ගේ ගමන් මාර්ග ගොවිබිම් අස්සෙන් රිංගාගෙන බෑවුම් වෙරළ ගන් ඉවුරු හැමතැනම විසිරී ගොසිනි. එය නාගරික වී පහසුකම් සහිත එහෙත් එක ළඟ එකතු වූ තත්වයට ඇවිත් නැත.

මේ නිසා ඒ ජනයා එම පරිසර වල ඇති අඩු පහසුකම්, ජීවත් වීමේ අවදානම් ආදිය විඳින අතර රටේ ගොවිබිම්, වනාන්තර, ස්වාභාවික පද්ධති ආදිය ඔවුන් නිසා හැකිලී, අනතුරට ලක් වී ඇත.

ප්‍රශ්න ගොඩකි. විසඳුමක් ලියන්නේ නැත. ප්‍රශ්න හඳුනා ගැනීමෙන් එහාට යමක් මේ කුඩා අවකාශයෙන් බලාපොරොත්තු නොවෙමි. විසඳුම් සෙවීමට හැකි මිලියන විස්සකි.

ප.ලි.  නාගරික  ජනගහනය  පිලිබඳ  මගේ  දත්ත  වලට පටහැනි  වාර්තාවක්  අපි  දකිනවා  නාලක  ගුණවර්ධනගේ  මේ  ලිපියේ.

"2012 අවසන් වරට කළ ජන සංගණනයට අනුව මෙරට ජනගහනය 20,359,439ක් (මිලියන 20.36) වුණා. එයින් නාගරික යයි සැලකෙන ප‍්‍රදේශවල වාසය කළේ 18.2%ක් පමණයි.

එහෙත් මෙය මුලා කරවනසුලූ තරම් කුඩා ප‍්‍රතිශතයක් බව සංගණනය කළ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්ත මේන්තුවම ප‍්‍රසිද්ධියේ කියනවා.

... 1987 වන තුරු සුළු නගර සභා (Town Councils) බල ප‍්‍රදේශ ද නාගරික ලෙස සලකනු ලැබුවා. 1987දී ප‍්‍රාදේශීය සභා පිහිටුවීමත් සමග ඒවා අහෝසි වූ අතර, සියලූම ප‍්‍රාදේශීය සභාවල බල ප‍්‍රදේශ ග‍්‍රාමීය යයි පරිපාලන වශයෙන් පිළි ගැනීම ඇරැුඹුණා.’

... ‘1981දී පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීම් සංශෝධනය කරද්දී ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ලෙස වර්ග කරනු ලැබුවේ විද්‍යාත්මක පදනමක් මත නොව මුළුමනින්ම දේශපාලන අවශ්‍යතා සඳහායි. ... ’ යයි ඔහු වරෙක පුවත්පත් ලිපියක කියා සිටියා.

... නොවැම්බර් 3-4 දිනවල කොළඹ පැවති නාගරික යටිතල පහසුකම් පිළිබඳ සමුළුව (LBR/LBO Infrastructure Summit 2015) අමතමින් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන භාර අමාත්‍ය චම්පික රණවක මේ ගැන කතා කළා. ඔහු කීවේ මෙරට නාගරික ජන ප‍්‍රතිශතය සැබැවින්ම 48%ක් පමණ විය යුතු බවයි. "

Tuesday, October 21, 2014

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ගෆ් විට්ලම් සහ නවීන සමාජවාදය

ඕස්ට්‍රේලියාවේ [කල්ප කාලයකට පෙර] හිටපු අගමැති අනූ අට වියැති ගෆ් විට්ලම් අභාවප්‍රාප්ත වී ඇත. ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක් ද නොදන්නා විට්ලම් මහතාගේ අභාවය ශ්‍රී ලංකාවට එතරම්ම වැදගත් කමක් නැතත් ඒ ගැන කතා කරන්නේ ඔහුගේ ඇතැම් ක්‍රියාකලාප වල ඇති පැහැදිලි දේශපාලන වෙනස මෑතකදී තදින් කතාබහට ලක්වෙන දේශපාලන සංවාද සමග සමීපවන නිසාය. වචන වල සිර නොවී මෙහි ඇති අදහස් ලංකාවේ දේශපාලනය සමග සංසන්දනය කරන මෙන් ඉල්ලා සිටිමි.

විට්ලම් කම්කරු පක්ෂ අගමැතිවරයෙකි. 1972 දී ඔහු බලයට එන්නේ වසර විසිගානක් විපක්ෂයේ හුන් කම්කරු පක්ෂය සමගය. ඒ විපක්ෂයේ හුන් කාලය පටන් ගන්නේ දක්ෂිනාංශික ඒකාධිකාරී පාලනයක් ගෙනගිය රොබට් මෙන්සිස් විසිනි. ඒ අනුව විට්ලම් බලයට එන්නේ තරමක් දරදඬු හා දක්ෂිනාංශික ඔස්ට්‍රේලියාවකය. එමෙන්ම ජීවන තත්වය අතින් පහත එහෙත් ආර්ථික එන්ජිම සක්‍රිය රටකය.

විට්ලම් බලයට ඒමට පෙර කම්කරු පක්ෂය වචනාර්ථයෙන්ම කම්කරුවන්ටම සින්න වී ගිය එකකි. යටත්විජිත/කොළණි සමයේ පතල් හා ගොවිපොළ කම්කරුවන්ගෙන් පැවතුනු යූනියන් බලය අඩු කොට කම්කරු පක්ෂය "සාමාන්‍ය පක්ෂයක්" බවට පත් කිරීම විට්ලම් විපක්ෂයේ ඉන්න කාලෙම කල වැඩකි. ඒ හරහා කල්ට් එකක් නොවී වඩාත් තාත්වික පක්ෂයක් ලෙස ජයග්‍රහණය ලබාගන්නට හැකිවිය.

බලයට ආ වහාම විට්ලම් ගෙන ආ වෙනස්කම් පහත පරිදි වේ.

- යුනිවර්සල් හෙවත් පූර්ණ සෞඛ්‍ය රක්ෂණයක් [ලබන ජූලියේ ඇබට් එය වෙනස් කරන තුරු යහතින් පවතී]

- පූර්ණ ලෙස නොමිලේ දෙන උසස් තත්වයේ පාසල් [රාජ්‍ය] අධ්‍යාපනය [තවමත් එසේය. සුපිරිය]

- පූර්ණ ලෙස නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය [අතාත්වික දෙයක් නිසා පසුව වඩාත් ප්‍රායෝගික ගෙවීම් සැලසුමකට හා සිසු ණය වලට මාරු කල ද තවමත් මෙහි මූලික රාමුව පවතියි]

- කාන්තාවන්ට සම වැටුප්.

- මෙතෙක් යටපත් කල අබෝරෝජිනි අයිතීන් පිළිගැනීම හා පළමු වරට එකම ජාතියක් ලෙස සැලකීම.

- අනිකාට ගැරහීම වලකා සමානාත්මතාවය ඉස්මතුවන නීති පනත්.

- ආගමික පදනමක පවතී දික්කසාද නීති වර්තමානයට ගැලපෙන සේ සකස් කිරීම.

- මේ දක්වා මහා රාජිනියට වන්දනා කල කොලොනියල් කාලේ ජාතික ගීය වෙනුවට ජාතික ගීයක අවශ්‍යතාවය ඉස්මතු කිරීම හා ඒ හරහා චන්දයක් මගින් වර්තමාන ගීය තේරීම. [එය හා තරග කලේ ප්‍රකට වෝල්ට්සින් මැටිල්ඩා ගීයයි] ජාතික ගීය හැටියට මෙය  නිල වශයෙන් බාර ගන්නේ නම් විට්ලම් ට බොහෝ පසුවයි.

විට්ලම් මේ සියල්ල කලේ වසර තුනකිනි. ඒ විපක්ෂ බලය සහිත සෙනෙට් සභාවක කකුලෙන් ඇදීමත් සමගයි. මේ අතර කාලය තුල ලෝක තෙල් අර්බුදය හා වෙනත් හේතු මත රට ආර්ථික ගැටළු වලට මුහුණ දුන්නේය. විට්ලම්ගේ දැඩි මතධාරී ප්‍රතිසංස්කරණ ඊට තදින් බලපෑ බවට චෝදනා පවතී. අවසානයේ සෙනෙටය රජයට මුදල් සම්මත කිරීම නතර කළේය [මේ ලඟදි ඔබාමාට කල සේ]. විට්ලම් පොඩ්ඩක්වත් වෙනස් වන්න කැමති වූයේද නැත. අන්තිමේදී නාමමාත්‍රික රාජ්‍යනායක වන බ්‍රිතාන්‍ය රැජිනගේ නියෝජිතයා 1975 දී විට්ලම් බලයෙන් පහ කළේය. මෙය ව්‍යවස්ථානුකූල ද යන්න විවාදාත්මක සිදුවීමකි. ඉන් පසුව වසර කීපයකින් පවතී චන්දය පරාජය වූ අතර විට්ලම් විශ්‍රාම ගියේය.

ප්‍රසිද්ධියේ පිළිගන්න පරිදි විට්ලම් සමාජවාදියෙකි. ෆේබියන් සමාජයේ යාවජීව සාමාජිකයෙකි. එහෙත් ඔහු මාක්ස්වාදී මොඩලය පසෙක දමා නවීන සමාජවාදියෙක් කියා දෙයක් හඳුන්වා දුන්නේය. වචනය පමණක් ලෙස නොගත යුතු මෙහි නිදහස් වෙළඳපොල, පුද්ගලික නිෂ්පාදන, ව්‍යවසායකත්වය, ආයෝජන, ප්‍රාග්ධනය පිළිගැනේ. එයට උපකාර කෙරේ. ඔහු සමාජවාදී දර්ශනය වැඩිපුර යෙදුවේ සුභසාධනය වෙනුවෙනි. වර්තමානයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ එක අවස්තාවක් ලෙස හඳුන්වන ස්කන්දිනේවියානු මොඩලයේ අනුරුවක් ලෙස විට්ලම් සැලකිය හැකිය. ඒ සඳහා වාම අන්තයක හුන් කම්කරු පක්ෂය ද දක්ෂිනාංශික අන්තයක හුන් රට ද ඔහු වෙනස් කළේය.

විට්ලම් ගැන හොඳ මෙන්ම නරකද කියවේ. විට්ලම් ගේ දර්ශනය තනිව ගත්විට එතරම් හොඳක් නොවෙන්නට ඉඩ තිබුණි. ඊට ප්‍රතිවාදී මිශ්‍රණ වලින් එහි අඩුපාඩු මැකෙන්නට ඇත. දියුණු සමාජයක් හදන්නට එක මතයකින් බැරිය. එහෙත් ඕස්ට්‍රේලියාව මෙතරම් වෙනස් කල වෙනත් තනි පුද්ගලයෙක් නැති බව බොහෝ දෙනා පිලි ගනිති [වසර තුනකින්]. කිනම් කාරණා කියවුණත් ඔස්ට්‍රේලියාව ලෝකයේ ජීවත් වෙන්නට හොඳම ස්ථානයක් ලෙස විවිධ සුබසාධක මත පදනම් වන ගණනයන් තුලින් ඔප්පු වන්නේ මූලික වශයෙන් විට්ලම් නිසාවෙනි.

ප.ලි. [21/03/2015] විට්ලම්  ගැන  ලියලා  
ප්‍රේසර්  ගැන නොලිය බැහැ.  මේ  තිසර ට දීපු  කොමෙන්ටුවක්  අරගෙන  මදක්  වෙනස්  කර  ලියන  පසු  ලිවීමක්.

විට්ලම් අන්තවාදී ලෙස ගෙනා වෙනස්කම් දරාගන්න ආර්ථිකයට අපහසු  වුණා. ඒවා  තරමක්  ආන්තික  හා  වේගවත්  ලෙස  ගෙන  ඒමයි  හේතුව. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු විශාල ණයක් ගන්න ගියා එතරම් විශ්වාස කටයුතු නොවන මාර්ගයකින් [බ්ලැක් මාකට් වගේ].

ඒ වෙලාවේ ඔහුගේ රජයට බජට් එක පාස් කරන්න නොදී සෙනෙටය හරහා හිරකර විට්ලම් ගෙදර යැව්වේ ප්‍රතිවාදියා  වන ලිබරල් නායක මැල්කම් ප්‍රේසර්. ඊ ගාව ආණ්ඩුව ප්‍රේසර් ගේ. ප්‍රේසර් අවුරුදු අටක් ඉන්නවා.

හැබැයි එහෙම එලෙව්වට ප්‍රති පාක්ෂිකයෙක්  වුනාට ප්‍රේසර් විට්ලම් කරපු කිසිම දෙයක් අයින් කලේ නැහැ. ඒවා වඩාත් ප්‍රායෝගික ලෙස කපලා කොටලා හදාගෙන ඒවා තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කර ගත්තා. ඒ අනුව ප්‍රේසර් තමා විට්ලම් ගේ දර්ශනය ක්‍රියාවේ යොදන්නේ.

ප්‍රේසර් දිගටම තමන්ගේ  පැත්තේ සෙසු ලිබරල් උන්ගෙන් බැනුම් ඇහුවා ප්‍රතිවාදී විට්ලම් ගේ  ප්‍රතිපත්ති  වඩාත්  හොඳින්  ක්‍රියාත්මක  කිරීම  ගැන. එහෙත්  මේ  දෙන්නගේ  පාලන කාල  දෙකේ  තමා  ඔස්ට්‍රේලියාව  ඉහල  ජීවන තත්වයකට පත්වන්නේ.

විශ්‍රාම යාමෙන් පස්සේ ප්‍රේසර් හා විට්ලම් හොඳ මිත්‍රත්වයක් තියාගෙන තියෙනවා. පුදුමාකාර  විදිහට විට්ලම්  ගැන  සටහන ලියා  මාස පහක්  ගෙවෙන  තැන [ඊයේ]  මැල්කම් 
ප්‍රේසර් ද  ජීවිතයෙන්  සමුගන්නවා.  දැවැන්තයින්  දෙදෙනකුගේ  නික්ම  යාම. 

Friday, July 18, 2014

ඊශ්‍රායලය හා පලස්තීනය

ගාසා තීරයේ සිදුවන දේවල් ගැන යමක් ලියන්නට සිතුවත් ඒ සිදුවීමෙහි සංකීර්ණභාවය නිසා හරියට කාරනාවක් ගලපන්නට බැරිය. ඔය අර්බුදයේ මගේ ස්ථාවරය ඔය පෙදෙස් දෙක වෙන් කරන වැටේ හරි මැද ලක්ෂ්‍ය මතයි. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වය කෙරෙහි එල්ල කරන අසාධාරනයන්ගෙන් පෙලීමෙන් ඔබ්බට මට යමක් නොපෙනේ.

කනගාටුදායක තත්වය නම් මේ දෙපිරිසම කරන්නේ අනිකා කරන දේ නිසා දක්වන ප්‍රතිචාරයක් හෙවත් රියක්ටිව් වැඩක් වීමයි. එනම් අනිකාට මුහුණ දීම සඳහා කිසිම විචාරයකින් තොරව ගන්නා පියවරයන් විනා තමන් ගැන සිතාවත් ගන්න අනාගතවාදී සැලසුමක් දෙන්නටම නැත. දෙන්නටම අවශ්‍ය අනිකා රිදවීමටයි. එහි නියත ප්‍රතිපලයක් ලෙස තමන්ට ලැබෙන රිටර්න් එක ගැන සිතන්නේ නැත.

මේ තරම් ඇරියස් එක මත ජීවත් වෙන මෝඩ අර්බුදයක් තවත් නම් මා දන්නේ නැත. මේ දෙරටටම ලෝකයෙන් ලැබෙන්නේ සහයකි. බටහිර ඇතුළු පළමු ලෝකය ඊශ්‍රායලයට සහය දෙද්දී අරාබි සහය පලස්තීන කල්ලි වලට ලැබේ. මේ එකම පිරිසක්වත් මේ කට්ටිය කොටවා වාසි ගන්නා බවක් නොපෙනේ. ලංකාව වැනි රටවල අර්බුද වලට බලපෑ ආයුධ වෙළෙන්දන්ගේ කුමන්ත්‍රණ මේ කලාපය තුල ඇති බවට අද වෙනතුරු දැනගන්න ලැබී නැත. මේ දෙගොල්ලම තමන්ට නොමිලේ ලැබෙන හෝ තමා විසින් හදා ගන්න ආයුධ වලින් සටන් කරන පිරිසකි.

එත් මේ කිටි කිටියේ තද වුන කලාපය තුල මේ දෙන්නටම සැලසුමක් නොමැත. ඇති එකම සැලසුම අනිකාගේ වැඩිම ගණනක් මරා සතුටු වීමයි. අඩුම ගානේ එහෙම කිරීමෙන් තමා ගේ එවුන්ට වෙන අතවරය ඉවර වන්නේ ද නැත. එත් මේ මරා ගැනීම එපා වන්නේ ද නැත.

මේක හරියට දීර්ඝ කාලින වෛරයෙන් පොර කන බල්ලන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් වැනිය. බල්ලන් දෙදෙනා ට අසල්වැසි වසම් දෙකක් තිබ්බද උහු දුටු තැන සපා කති. සපා කන්නේ අනිකා සපා කෑමට පෙර වෙන කරන්න දෙයක් නැති නිසාවෙනි. සපා කෑමෙන් ලැබෙන යමක් නැත. ඉතිරි වන්නේ තුවාල පමණි.

ඒ නිසා ඉතිහාසය ලිහාගෙන අර්බුදය ගැන හාර බලන්නේ නැත. ඉතිහාසය හාරා බැලුවද තරාදියේ දෙපැත්ත සමාන වන සේ සාධක මට පෙනේ. අතවරයන් ගත්ත ද [ඊශ්‍රායලයේ ප්‍රහාර වල බලපෑම වැඩි නමුත්] දෙපාර්ශ්වයම එක සේ විඳවනවා විනා මේ යන සටනෙහි අවසානයක් පෙනෙන්නේ නැත. ඊශ්‍රායල යුධ බලය ගැන අධි තක්සේරුවක නැතිනම් අද ඊශ්‍රායලය තනන අයෝමය පියස්ස හෙට පලස්තීනුවන් විදින බව තේරුම යනු ඇත.

කතාවේ යටින් යන මෝඩ ආගමිකත්වය පමණක් විත්තිකරු ලෙස සලකා ජුදා ආගම හා මුස්ලිම් ආගම එකවර එල්ලා මරා දමමි.

පසු සටහන: "අනේ යන්න මෙයා ආගම මාර පවිත්‍ර යි. ඔය ඕකුන් ගහ ගන්නේ අපේ අහවල් පොත හරියට කියවලා නැතිව" ආදී ලෙස මනෝරාජික ආගමක පුද්ගලික අහින්සකත්වයක් පෙන්නා දීමට ඉදිරිපත් වන අය සිටිති. අහන්නත් කලින්ම කියන්නේ මා මෙහි ආගම කියන්නේ මිනිස් සමූහ ඇදහිලි මත මෙහෙයවී කරන සාමාජිය ක්‍රියාකාරකම ගැන විනා ටෙක්ස්ට් බුක් එකක් ගැන නොවන බවයි.

Saturday, June 21, 2014

ජයපාල කුමාරිට හාදුවක් දීලා... මළ කෙළියයි

මේ ගොසිප් අඩවි [හා සමහරවිට ජාතික පුවත්පත්] වල පලවන පුවතකි. මෙය මෙහි උපුටා දක්වන්නේ ඒ පුවත තුල ඇති ලංකාවේ මිනිසුන්ට ඇලජික් වචන සංඛ්‍යාව අතිශයින් වැඩි නිසාය. ටිකක් දිගට ලියන්නට සිදුවන්නේ මේක ඇතුලේ දුවන කතාව දිග නිසාය.

මෙම පෝස්ටුවේ අරමුණ ජයපාල හා කුමාරි දෙන්නගේ හෝ පෙර විවාහයේ සිද්ධියක් ගැනවත්, පොලිස් පාකින් ස්ලොට් වල පාක් කිරීම ගැනවත් කතා කිරීම නොවේ, ලංකාවේ උන්ට නිව්ස් ලියන්න හිතෙන්නේ මොන වගේ මානසිකත්වයකින්ද කියා කතා කරන්නටයි. එය මාතෘකාව මිස් කිරීමකි. එහෙත් නඩත්තු සිද්ධියක් හෝ පෙර විවාහයේ දරුවෙකු පැහැරගැනීමක් හෝ වැනි කතාවක් ගැන නඩුවක් වාරතා කරන කෙනෙකු කතා කර ඇත්තේ කා පාක් එකේ වෙච්ච දේ ගැන පමණක් නිසා මාතෘකාව මිස් වෙන්න ගත්තේ මට පමණක් නොවේ.

නම්ගම් හා ස්ථාන මනක්කල්පිත අතර, පුවත ඔරිජිනල් තැන සත්‍ය සිද්ධියක් ලෙස ලියා තිබුණි. මෙම සිදුවීමේ සත්‍ය පුද්ගලයින්ගේ නාම සහිත සබැඳියක් කොමෙන්ට් ලෙස දමන කෙනාට දවසේ BAMP සම්මානය හිමිය [බූරු  ඇඳේ මෝඩ  "අගමැති" සම්මානය].

කියවන අය පහත දැක්වෙන වචන අවධාරණය කරගන්න.වදන් පැහැදිලිකිරීමක් මේ සමග අමුනන්නට සිතා සිටිමි.

- ක්‍රිකට්
- පෙර විවාහයේ
- නිළිය
- හමර්
- හාදු

---------------

පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන 'ජයපාල හතරලියද්ද' ඔහුගේ පෙර විවාහයේ දරුවා දකුණු සුඩානයට රැගෙනයාමට උත්සහ කළ බවට චෝදනා කරමින් ඔහුගේ පළමු බිරිය රූමස්සල පොලිසියට පසුගිය දිනක පැමිණිල්ලක් කර තිබුණි. පසුව එම පැමිණිල්ල විභාග කිරීමට රූමස්සල පොලිසිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ජයපාල හා ඔහුගේ වත්මන් බිරිය, ජනප්‍රිය නිළියකව සිටි 'කුමාරි මංගලිකා' ද ඔහු සමග පොලිසියට පැමිණ සිටියේ ය.

ලියාපදිංචි නොකරන ලද හමර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි ජයපාල සහ කුමාරි ඔවුන්ගේ මෝටර් රථය නවත්වනු ලැබුවේ රූමස්සල පොලිසියේ ස්ථානාධිපති වික්‍රමබුද්ධි මහතාගේ ජීප් රිය නවත්වනු ලබන ස්ථානයේ ය. මොවුන් පැමිණීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාද එහි පැමිණ ඇති අතර ඒවන විට මෝටර් රථයේ සිටි කුමාරිට සිය මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස ද ඔහු දැනුම් දී තිබේ. පසුව හමර් රථය ඉස්සරහට පස්සට ගත්තද කුමාරිට එය ඉවත් කිරීමට නොහැකිවී ඇත.

මේ කලබෑගිනිය දුටු ජයපාල එතනට විත් කුමාරි රියදුරු අසුනෙන් බස්සා ඇයට හාදුවක් දීමට උත්සාහ කිරීමේ දී පොලිස් ස්ථානාධිපතිවරයා හාදු දෙන එක පසුව කරගන්නා ලෙසත් මුලින් මෝටර් රථය ඉවත් කරන ලෙසත් ජයපාලට විදානය කර තිබේ.

----------------

වදන්

ක්‍රිකට්:
අපේ පණ මෙනි. එහෙත් පර සුද්ද ගෙනාපු එකකි. මේවා ගහන එවුන් අඟහරු ලෝකෙන් ආපු උන්ය. උන්ට සල්ල අම්බානටය. උන්ගේ අම්මලටය. අපි උන්ගේ අගු පිලක හැංගී උන්ගේ මහා ධනස්කන්ධ ගැන හොයන්නට රුසියෝ වෙමු. ඔකුන්ගේ සල්ලි පෙරේත කම නොදකින්ය [අපි වගේ සල්ලිවලට පෙරේත නොවී ඉන්න උන්ට බැරිහැටි]. පුලුවන්නම් කවුරුහරි ඔකෙකුගේ වාහනයක් හප්පපිය. කීයක් හරි කඩා ගනින්. ඒ වුනාට අපේ ටීම් එකේ කොල්ලෙකුට සුද්දෙක් පාට් දැම්මොත්. අඩෝ අපේ සිංහ පැටවූ හරිය. පිට්ටනියේ සිංහ පැටවූ ...

පෙර විවාහයේ:
මහා අසෝබන දෙයකි. විවාහයක් කර ගත්තේ නම් එය තුල සිටිය යුතුය. දික්කසාදය අපේ සංස්කෘතියේ ආනන්තරීය පාපයකි. හොර ඒවා කලාට කමක් නැත. අපි හෙන බෞද්ධ නිසා මේ වගේ සංකර සිරිත් වලට අකමැත්තෙමු. මොකද දෙවියන් වහන්සේ විසින් එක්කල දෙය මනුෂ්‍යයා විසින් වෙන්කළ යුතු නොවන බැවිනි.

නිළිය:
වෙසගනට පර්යාය පදයකි. එහෙත් පාර අයිනේ ලගින කළු හඩු  වෙසඟනන් මෙන අහිංසක නැත. උන් බුදියා ගත්තුවා ගොසිප් ගත කර අපේ නින්ද කඩති. මෙම ඕනෑම  ගෑනියෙක් ලංකාවේ ධනවත් බලවත් පිරිමි 10% සමග නිදිවැද ඇතිබව ස්ථිරය. අපිට සල්ලි නැති නිසා අපි වගේ සදාචාරවාදීන්ට මෙය කරදරයකි.  ඒ නිසා ඕකිලාගේ රෙදි ගැලවිය යුත්තෙමු.

හමර්:
ධනපති පන්තියේ වාහනයයි. හදන්නේ ලෝක ධනවාදයේ නිජබිම වන ඇමරිකාවයි. ජයපාල වැනි මිනිසුන් පුද්ගලිකව හම්බු කල ධනයෙන් ගත්ත වුනත් මේවා තනිකරම වංචාකාරී ලෙස ඉපයූ දේවල් වේ. හමර් යන නාමය ම ඊට ශාක්ෂිය. මේවා හදන්නේ දුප්පතා සූරාගෙනය. දුවන්නේ දුප්පතා හප්පා ගෙනය. මේ පවතින ක්‍රමයේ ධනේශ්වරයේ තුප්පහි කමයි. නිර්ධන පන්තිය නැගිට මේ හමර් වල යන එවුන් ගෝල්ෆේස් එකේ එල්ලිය යුතුය.

හාදු:
අවිනීත අසංවර බටහිර සංකර ජුගුප්සාජනක දෙයකි. මේවා කාට හෝ පෙනෙන්නට දිය යුතු නොවේ. දෙන්න ඕනේ කසාද බැන්දට පස්සේ කාමරයේය. ඒවා අපේ රටේ එකාලා  යතුරු හිල් වලින් බලන එක අවුලක් නැත. ආදරය යනු මේවා නැති එකකි. මේවා තියෙන විට ආදරය වෙනුවට බලා සිටින සුවාසුදහසක් අපේ ස්නායු පද්ධතියේ දුරුවලම තැනට පහර වදියි. එක වරම එයින් ජනිත වන්නේ කුණු රසැති ලිංගික හැගීමක් හා දැවැන්ත සදාචාර ආරක්ෂණ වාදයකි. ප්‍රසිද්ධියේ මේවා දෙන එවුන් ගල්ගසා මැරිය යුතුවේ.

Tuesday, June 17, 2014

ලෝක විහිළුකාරයා

ඉරාකය තුල ආගමික අන්තවාදය පැතිරීම වලකා සිටියේ සදාම් හුසේන් ය. ඇමරිකාවේ සහයෙන් ඔහු මුලින්ම යුධ වැදුනේ ඉරානය සමගය. ඇමරිකාවට අනුව එදත් අදත් හැමදාමත් ඇමරිකාවේ අංක එකේ සතුරා ඉරානය යි.

එහෙත් ඉරාකය තුල ආගමික අන්තවාදය පැතිරීම පාලනය කල සදාම් ඇමරිකාව විසින්ම මරා දැම්මේය. ඇමරිකානු ආක්‍රමණයේ ප්‍රතිපලය අන්තවාදී ඉරාකයක් බව පෙනී පෙනීත් ඉරාක සේකියුලර් පද්ධතිය වනසා රූකඩයක් හිටෙව්වේය. ඊට පස්සේ හිමිහිට මාරු විය.

අසල්වැසි සිරියාවේ ආගමික අන්තවාදය පාලනය කල සේකියුලර් අසාද් රජයට පහර දුන්නේ අමරිකානු සහයෙනි. එතනත් රූකඩ සිරියා නිදහස් වීයාපාරය අස්සේ හුන් ප්‍රබල බලය මුස්ලිම් අන්තවාදයයි. එය නොදැක්කා සේ ඇමරිකාව ඊට සහය දුන්නේය

අන්තිමට දැන් සිරියාව හා ඉරාකය එකතු කර අන්තවාදී කාලිෆෙට් එකක් හදන්නට මුස්ලිම් අන්තවාදීන් පටන්ගෙන තිබේ. මෙම සංවිධානය මුලින් හැඳින්වූ ISIS ඉරාකය හා සිරියාව තුල ඉස්ලාමිය රාජ්‍යය කියන එකේ නම වෙනස් කර ISIL හෙවත් ඉරාකය හා ලෙවන්ත් කලාපයේ [මේ කලාපය තුර්කියේ සිට ඊජිප්තුව දක්වා පැතිරේ] ඉස්ලාමිය රාජ්‍යය ලෙස පුළුල් කර ඇත. ISIL ම්ලේච්චත්වය කෙතරම් ද යත් අල් කයීඩා පවා ඔවුන් ම්ලේච්චයින් ලෙස සලකා තම සංවිධාන සමූහයෙන් ඉවත් කර ඇති බව කියවේ. දැනටමත් ඉරාක සිරියා රාජ්‍ය දෙකේම අගනුවර හැරුණුවිට බොහෝ ප්‍රදේශ අල්ලා ගෙන ඇත. ඇමරිකාව කල බූරු ක්‍රියාවේ ප්‍රතිපලය කළු සුදු අකුරෙන් ලියවී ඇත.

මේ වෙලාවේ නිවටයෙකු මෙන නියවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ඇමරිකාවට අන්තිමේදී සහයට ඉන්නේ දෙතුන් වසරකට පෙර ඇමරිකාවෙන් සම්බාධක පහර කෑ ඉරානයයි. ඉරානය මේ ප්‍රහාරය සමගම තම විශේෂ හමුදා සහය ඉරාක රූකඩ රජයට දී ඇත. ඇමරිකාව ඉරාන සහයෙන් ආක්‍රමණය නතර කරන්නට උත්සහ කරන බව දැනටම පිළිගෙන ඇත.

සදාම් හා අසාද් උන්නා නම් අහවල් කෙමනක් වනු ඇද්ද?

ලෝක පොලිස්කාරයා වීම තරමක ප්‍රචණ්ඩ වැඩක් වුවද එය නම්බුකාරය. ලෝක විහිළුකාරයා වීමට වඩා අගනේය. දැන් ඇමරිකාවේ භූමිකාව කෙමෙන් මාරුවන්නේ දෙවැන්නටය.

Friday, June 6, 2014

ගූගල් සහ කළුගල්

ශ්‍රී ලංකා රජය කළ  කිසියම්  නොමනා ඉල්ලීමක්  නිසා  ගූගල් සමාගම ලංකාවට  ගෙනා  කලාපිය  දත්ත  මධ්‍යස්ථානයක ආයෝජන  අවස්ථාවක් අහිමි  වූ බව ආණ්ඩු විරෝධී මාධ්‍ය හෙළි කල අතර ඒ බව විශ්වාස නැති නිසා කතා කලේ නැත. එහෙත් දැන් ආණ්ඩුවට කඩේ යන පිරිස ගූගල් වගේ සමාගම් මොකට ගෙන්න ගන්නවද කියා මිදී තිත්ත බව කියන්නට පටන් ගත් නිසා කතාව සත්‍ය යයි සිතන්නමු.

ඒ නිසාම වෙනත් සමූහයක පලකල අදහසක් නැවත මෙහි පළකරන්නට සිත් විය.

වරක් එක්තරා දේශපාලකයෙකුට ගුවන් තොටුපලකදී විදේශ ධන කුවේරයකු හමු වූ විටෙක දේශපාලකයා කරන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිසා එම ධන කුවේරයාගේ සමාගමේ පළමු විදේශීය ශාඛාව දේශපාලකයාගේ ප්‍රධාන නගරයේ ස්ථාපනය විය.

මේ දේශපාලකයා චන්ද්‍රබාබු නායිදු. හයිදරාබාදය මත ඉදිවන ඉන්දීය තොරතුරු තාක්ෂණ අධිරාජ්‍යයේ නියමුවා. ධන කුවේරයා බිල් ගේට්ස්.

බාබු ගේට්ස් හම්බු වුනේ 1997. මේ දෙවැනි හමුව 1998මේ සියල්ලට මුල වෙන්නේ හදිසියේ ගේට්ස් ව දැකලා බාබු හදන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකයි.

1995 දී ආන්ද්‍ර ප්‍රදේශ් කියන කෘෂිකාර්මික පසුගාමී ප්‍රාන්තයේ බාබු බලයට ඇවිත් සර්වේ එකක් කලාම දැක්කලු මුළු ප්රාන්තෙටම තියෙන්නේ කම්පියුටර් අසු දාහයි කියලා. මේ කෝටි අටක ජනගහනයකට. බාබු මේ ගැන ලජ්ජා වුනාලු.

ඒ අතරේ තමා බාබුට ගේට්ස් අහම්බෙන් හමු වන්නේ 97 දී. ගේට්ස් පිස්සු වැටෙන්නේ ආන්ද්රයේ ඇති කෙහෙම්මලකට නොවේ. එත් චීෆ් මිනිස්ටර්ගේ පරිගණක උනන්දුව හා ගේට්ස් වෙනුවෙන් දුන්නු කාලය ගැන. ඒ නිසා තමයි මයික්‍රොසොෆ්ට් වල පළමු පිටස්තර ශාඛාව හයිදරාබාදයට දෙන්නේ. එතනින් පටන් ගත්තු රැල්ල තමා හයිදරාබාදය ලෝකයේ අයි ටී හබ් එක දක්වා ගෙනගියේ. පහුගිය කාලේ ඇමරිකාව ආදී රටවල රැකියා හිඟයට පවා හයිදරාබාදය හේතුවක් කියා කියනවා. ඒ කාලේ ඉන්දියාවේ නොම්මර එකේ මිනිහා බාබු. ක්ලින්ටන් බ්ලෙයාර් වගේ මිනිස්සුත් ආවලු බාබු හම්බුවෙන්න. ලොව පුරා සම්මාන රාශියක් දින්නා වගේම නායිදු දිනය කියා දිනයක් පවා ඇමරිකාවේ සැමරුවා. නායිදු මොඩලය කියා ආර්ථික මොඩලයක් පවා තියෙනවා. බාබු තමන්ව හඳුන්වා ගත්තේ ආන්ද්රයේ මහා ඇමති ලෙස නොවේ. සයිබරාබාද් [cyber + hyderabad] සමාගමේ සී ඊ ඕ ලෙස.

මේ කතාවෙන් ගන්න තියෙන හරය මොකද්ද?


මේ බාබුලා තමා බටහිරට කත් අදින බටහිර සමාගම් වල ලාභ බැලන්ස් කරලා දෙන කාලකන්නි. ඕකුන් වගේ ද අපේ රත්තරන් දේශපාලකයෝ. ගූගල් ආවා ආපහු ගියා. අපි සැලෙයිද? අපි කළුගල් වගේ. හැමදාම එකතැන.

ප.ලි.

පනහ හැට දශක වල අප සංසන්දනය වුනේ ජපානයටය. හැටේ දශකයේ සිංගප්පුරුව අපේ තැනට එන එක ඉලක්කයක් කර ගත්හ. ඊට පසු සිංගප්පුරුව, මැලේසියාව, එවකට "කොරියාවක් බඳු" කොරියාව, චීනය හා ඉන්දියාව පවා අප ඉක්මවා ගොසිනි. තායිලන්තය වියට්නාමය මේ ලිස්ට් එකට ළඟදී එකතු විය. ඒ අතර අප්‍රිකාවේ උගන්ඩාව ඉතියෝපියාව ආසියාවේ බංග්ලාදේශය බුරුමය වගේ මානව ඛේදවාචක වූ දේශයන් පවා ක්‍රමයෙන් අප දිහාට එමින් සිටිති.

අපි මේ අය පෙරට ඇදෙන මාර්ගය අයිනේ පොඩි අම්බලමක් හදාන ඒකෙ කුලල් කා ගනිමින් පගා ගහමින්, බටහිරයාට අම්ම මතක් කර බනිමින්, බනින්නට අවැසි තරම් තිතට මත්වෙමින් ඔන්න ඔහේ සිටිමු. අපි හෙන කළුගල්ය. නොසැලෙමු. නොදුවමු. අව්වට වැස්සට වේලි වේලි තපින්නෙමු

Thursday, May 29, 2014

ජවිපෙ 88-89 භීෂණ සමයේ කල ඝාතන ගැන සමාව ගනියි

88-89 භීෂණ සමයේ සිද්ධ වූ ඝාතන 6000 කට ජවිපෙ විසින් සමාව ඉල්ලු බව පළවේ. හරියටම ප්‍රකාශය දුටුවේ නැති අතර එය කලේ ප්‍රසිද්ධ රූපවාහිනියේ  හෝ පුවත්පත් නිවේදනයක් ලෙසද නැතිනම් තමන්ගේ පුද්ගලික රැස්වීමකද කියා දන්නේ නැත. කිනම් පදනමක කල දෙයක් වුවත්, ජවිපෙ ඝාතන ගැන විවේචනය කල කෙනෙකු හැටියට මේ ගැන මගේ ප්‍රසාදය හිමිවේ. අඩුම වශයෙන් ජවිපෙ නායකයා පඩත්තල කමට ඒවා සාධාරණය නොකරන විචාර බුද්ධියෙන් එම කරුණු විමසා බලන කෙනෙකු ලෙස මෙයින් හඳුනා ගත හැකිය. ගොනාට අන්දාගත් ආගමික පාක්ෂිකයන් රන්චුවකගේ කල්ට් එකක් කියන තැනින් විතැන් වී ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් කියන දිහාවට එන ගමනට මේ විචාර බුද්ධිය වැදගත් වේ.

එහෙත් වඩාත් වැදගත් කාරණය 88-89 කල ඝාතන ගැන කරන සමාව ගැනීම නොවේ. ඇත්තෙන්ම එහෙම සමාව ගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබී නැත. [ඒ අනුව මෙය එවැනි දෙයක් දුටු පළමු අවස්තාව ලෙසද හැඳිනිය හැකිය]. එහෙත් වඩා වැදගත් වනුයේ එබඳු වනචාරි ක්‍රියා දෙසට යලිත් තල්ලු වී යාමට එරෙහිව තම සාමාජිකත්වය රිහැබිලිටෙට් කරවා ගැනීමයි. 88-89 සොරි කියා ලොක්කා කියද්දී වරෙවූ ධනපතියාගේ කැවුත්ත කන්න කියන පාක්ෂික ප්‍රජාවක් සිටීනම් ඒ සමාව ගැනීමේ පලක් නැත. 

මෑත අවධියේ බුකිය වැනි සීමා සහිත තෝරාගත් සාමාජික ප්‍රජාවක් අතර පවා මෙලෙස හැසිරුණු ජවිපෙ සාමාජිකයෝ උන්හ. එමෙන්ම 88-89 කමක් නැහැ කියා සාධාරණය නොකළ ජවිපෙ සාමාජිකයෙක් නැති තරම් ය. ආයිත් වරක් වුනත් රට හදන්න එහෙම සෙට් එකක් මරන්න අවශ්‍යයි කියා පොල්පොට් පාට් දැමූ අවස්ථා අනන්තවත් දුටුවෙමි.

88-89 ලිඳකට දැම්මා ඒ ලිඳෙන් ගොඩ එන්න ඒ විදිහේ වැඩ කරන්න ඕනේ කියන කතාව එසේ කියන ලද එක කතාවකි. මහවැලි ව්‍යාපාරය වගේ වැඩක් කරද්දී ගැඩවිල්ලු මැරෙන එකට කරන්න දෙයක් නැහැ කී මහතා ගැන මට තාම හිතා ගන්න බැරි අපිත් මොහොතකට හෝ ඔවුන්ට මානුෂිය පදනමක් තිබු බව සිතු බැවිනි [මේ උදාහරණයේ ලොකුම වරද නම් මහවැලිය හරවන්නේ හිතාමතා ගැඩවිල්ලු මරන්න නොවන මුත් ජවිපෙ තුවක්කු හැරුනේ ඒ මිනිසුන් හිතා මතාම මරන්න බවයි]. ඉතාම සුපිරිසිඳු සත්ගුණවත් ජවිපෙ සාමාජිකයෝ පවා තවම අවිගත් විප්ලව ගැන කියවති. ධනපති පන්තිය භෞතිකව මරා දමන හැටි ගැන කියවති. මේවා වෙනස් කිරීම සමාව ගන්නවාට වඩා බෙහෙවින් අසීරු නමුත් එතරම්ම වටියි.

කිනම් පසුබිමක වුවද සමාව ගැනීම ඉහලින්ම අගයන අතර, මේ වගේ පිරිසක් තුලින් කල්ට් එක වෙනුවට බුද්ධිමය ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් හදා ගන්නට අනුර කුමාර දිසානායක මහතාට [සහෝදරයට නොවේ] ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු.

Sunday, March 30, 2014

පළාත් සබා චන්දයේ පසු විපරම

චන්දෙට පසු විපරමක් ලියන්න හිතුවත් මලාට එහෙම ෆීලින් එකක් එන්නේ නැත්තේ මේ චන්දය ආසූත ජලය වගේ තත්වයක් නිසාය. අනික සියලු දෙනා දිනන ලද තත්වයක් තුල තොපි ඔක්කොම පරාදයි කියන්නට හිතට මොකද්ද වගේය. මේ විශ්වය වාස්තවීක යතාර්ථයක් නොවන බවත් හැම එකාම දකින්නේ තමන්ගේ ලෝකයක් බවත් කී මහාචාර්ය නලින් ද සිල්වා මහතා ට ස්තූතිවන්ත වන්නට හැම එකාම චන්දය දිනන හැටි වැටහෙන නිසා ඒ ගැන මොකුත් ලියා ආතල් කඩන්නේ නැතිය.

ඒ අස්සේ චාමි සෑමයා ඌට ආවේනික යාවත්කාලින වීමේ දෝෂයක් නිසා අහන්නේ "කන් ගැට්ටට මොකද වුනේ" කියාය. කවුදෝ එකෙක් කන්ගට්ටා යනු කවුද කියා අසා ඇත. නොදන්නා කෙහෙම්මල් කියන්නේ කන්ගැට්ටා යනු සංකල්පයකි. ඇසිය යුත්තේ කන්ගැට්ටා යනු කුමක්ද යන්නයි.

මේ සටහනේ අරමුණ චාමියා දවන ඒ පැනයට පිළිතුරක් හොයන්නට නොවේ. චාමිලාට තියෙන විජාතික ප්‍රශ්න ගැන හොයන්නට අපිට වෙලාවක් නැත . මෙහි අරමුණ මේ සම්බන්ධයෙන් මා පත් වී ඇති අසරණ භාවය ගැන පොඩි පැහැදිලි කිරීමක් කිරීමට පමණි.

මට මතක කන්ගැට්ටා වැලිකඩ හිර ගෙදරදී වෙඩි කා මළ බවයි. මේ වෙඩිල්ල පූර්ණ ලෙස අහඹු ආකාරයෙන් අහඹු කැරලි මර්දන තුවක්කුවකින් පිට වූ අහඹු උන්ඩයකි. ඇත්තෙන්ම මේක උණ්ඩයක් වීමට ඇත්තේ කොන්ටම් සම්භාවිතාවයකි. සමහර සම්භාවිතා අනුව මේක වනාතේ කොලුවෙක් ගැසූ ටීක් බෝලයකි. ඒ කොලුවාට බෝලය අරගෙන දුන්නේ පළාත් සබා චන්දෙන් පැරදුනු වනාතේ සුනිල්ය.

මේවා ගැන කාටවත් චෝදනා නොකරමු. මේකලා හිරේ පැත්තක් අල්ලාගෙන ජෝගි නටද්දී මෙහෙම දේවල් සිද්ද වේ. එහෙත් ගැටලුව නම් මට මේ කතාව ෂුවර් නැත. එහෙම එකක් ඇත්තටම වුනාද නැතිනම් මවිසින් මවා ගත්තාද කියා ෂුවර් නැත.

මට මෙලෝ දෙයක් ෂුවර් නැත. මා පත් වී සිටින තත්වය ඇතිවන්නේ ඉන්ෆෝමේෂන් ඕව ෆලෝ නම් දියුණු දේශපාලන ක්‍රමවේදය නිසාවෙනි. ඉපැරණි න්‍යායක් වන ගොබෙල්ස් න්‍යාය ඉවත ලන දියුණු ශ්‍රී ලංකා රාජ්‍යය දැන් භාවිතා කරන්නේ මෙම ක්‍රමවේදයයි.

ගොබෙල්ස් කලේ එකම බොරුව දිගටම කීමයි. මෙය අසා හුන් ජර්මනියේ ප්‍රාථමික ජනතාව ඒවා පිලි ගත්තේ ලු. එහෙත් ඊ නිව්ස් කියවන සී නිවුස් එකේ කොමෙන්ට් දාන අපේ බුද්ධිමත් ජනතාව එහෙම අන්දන්න අමාරුය. ඒ නිසා අපෙ කට්ටිය කරන්නේ වෙනම දෙයකි.

ඔවුහු දිගින් දිගටම කතා මවති. එකම සිද්ධිය ගැන කතා හත අටක් මවති. ඒවා ගැන අපිට හිතාගන්න බැරි තරම් කාරනා ගොඩක් රිලීස් කරති. කාරණාවෙන් කාරනාවට ඒවා පරස්පර විරෝධී වේ. කතන්දර ඔක්කොම සුරංගනා කතා වගේය. ඒවා කෙලින්ම අපේ සුරංගනා කතා විඥානය හරහා ගොස් කුඩා කල සිට අප එකතු කල සුරන්ගනා කතා අස්සේ පැලපදියම් වේ. අන්තිමට අපිටත් පැටලේ. උදාහරණ යහමින් දිය හැකිය.

- කන්ගැට්ටා මලේ ගමරාල එක්ක දිවිය ලෝකේ යද්දී අලියාගේ දල දෙක ගන්න හරි බිල්ලක් හැටියට හරි ලොරි තට්ටුව කඩා වැටුන නිසා ද කියා ෂුවර් නැත.

- හසිත මඩවල මැරුණේ කකුළු මාළු අස්සේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල කරබද්ජාන් නැවේ දෙවෙනි ඔෆිසරයා වෙඩි තියලද, ඒ වෙලාවේ කැප්ටන් හැඩොක් උන්නේ එක්ස්ටසි ගහලද කියා ෂුවර් නැත.

- හැන්සල් හා ග්රෙටල් කුඩු කන්ටේනරයේ හෙරොයින් අස්සේ දමාගෙන බෝල්ට් ඇණ ස්මගල් කරපු වෙලාවේ ළමයි දෙන්නව කන්න හදාපු හාමුදුරුවන්ට අපහාස කල අගමැතියා තාම ඉන්නවද කියා ෂුවර් නැත.

- හිරුනිකාලයි තාත්තට හීයෙන් විද්ද තැන දිය කින්දුරියට රඟපෑවේ එයා ද එයාලයි අම්මාද කියා ෂුවර් නැත 

- ශිරානි බණ්ඩාරනායක නම් නපුරු මායාකාරිය ඉතිරිකිරීමේ බැංකුවේ සේප්පුවට ඉදලෙන් අනින කොට චන්දරසිරි බණ්ඩාර මහත්තයා මායා බලයෙන් එයාට විශ්වාසබන්ගයක් එව්වද කියා ෂුවර් නැත

- රතුපස්වල තිබ්බ පොකුණට මිනිස්සු වතුර බොන්න එනකොට එකා එකා කාපු රාක්ෂයට හොරෙන් වෙනිග්රෝස් රබර් නල වලින් වතුර බොන්න පුරුදු කරපු නායක හාමුදුරුවන් ඇත්තටම උන්නද කියා ෂුවර් නැත

ඔහොම ඔහොම බොහෝ දේ මට ෂුවර් නැත. මට මෙන්ම බොහෝ චන්දදායකයින්ටද එසේ ෂුවර් නැතුවා වන්නට පිළිවන. ඒ නිසාම එකක් ෂුවර් ය. ඊයේ තිබ්බ චන්දෙන් ආණ්ඩුවට තාමත් සීයට හැටක් විතර ලැබී තිබේ. ෂුවර් එපමණකි.

මේ අනුව බත්කන මිනිසුන් රටේ ඉන්නේ සීයට හතළිහයි කියන අයට ඒ හතළිහේ චන්දෙන් පත් වූ එකාලා මාස ගානක් තටම තටමා සිට එක පාරට ආණ්ඩුවට පැන්නම බත් එක්ක කන්න නොමිලේ පුන්නක්කු දෙන්නේ ආණ්ඩුවෙන්ද විපක්ෂයෙන්ද කියා ආයිමත් ෂුවර් නැත.

ලෝකය නිර්මාණය වන්නේ කතා වලිනි. මීට වඩා පැහැදිලි චන්ද පසු විපරමක් අවශ්‍යද?

ප.ලි. ආතල් කැඩුණු චන්ද දායකයෙකුගේ කරච්චල් කෙඳිරිලි වලට උත්තර දෙනු නොලබේ.

Monday, March 10, 2014

මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පොලිසියට

අතුරුදහන්  වූ  MH370 මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පොලිසියට දුන්නොත් මොකද වෙන්නේ කියලා මංජුල සමරසේකර මහතා ෆේස්බුක් එකේ අහලා තිබ්බා. දැන් මේක ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සිත් සතන් ශෝකයෙන් වෙලා ගත්ත මොහොතක් නේ. ඒ වගේ දුක්බර අවස්තාවක මොකුත් කියන ඒක හරි නැති හින්දයි මම කට පියාගෙන ඉන්න උත්සහ කළේ. ඒත් අපේ පොලිසියේ ඇතැම් ක්‍රියා ගැන හිතුවහම රටේ ජනතාවට ඊට වඩා දුක හිතෙන්න ඕනේ කියලත් මට හිතුනා.

ඔන්න ඔහොම දෙගිඩියාවක මේ ගැන හිතමින් ඉන්න අතරේ අතුරුදහන් වූ MH370 යානය ගැන පරීක්ෂණ කරන වගකීම අසල්වැසි රාජ්‍ය සියල්ල අසමත් වෙන කොට ශ්‍රී ලංකා පොලිසියටම ලැබිලා.

මේ ගැන ප්‍රකාශයක් කරන්න පොමා ප්‍රකාශක තුමා කල්පනා කළා. දැන් මේ පොමා තුමා නිදහස් ලේඛකයෙක් කියලා කියන උන්ට පිස්සු. [එතුමා තියා කේ කේ සර්ප කුමාර වැනි ලේඛනයේ පතාක යෝධයින් පවා ස්වාධීන ලේඛකයන් නොවේ. ඕකුන් ලියන්නේ ටෙම්ප්ලේට් වලට. සර්ප කුමාර නම් සයිමගේ ටෙම්ප්ලේට් කියලා ඒ වගේ වැදගත් පොත් කියවපු දැනුම් තේරුම් ඇති අය කියලා තිබ්බා]. පොමා ට ටෙම්ප්ලේට් හදන්නේ කවුද කියලා හරියටම දන්නේ නැහැ. ඒත් මෑතකදී වෙච්චි වැඩේ තමා පොමාට ටෙම්ප්ලේට් වැඩි වීම.

ඉතින් පොමා එලෝ මෙලෝ නැතුව ටෙම්ප්ලේට් පෙරලන්න ගත්තලු. ඔක්කොම එක ගානට පට්ට සිරා නිසාත්, ඔය ඕන එකක් ගැහුවත් ගින්දර වගේ මෙතෙක් වැඩ කළ නිසාත් පොරට එකක් තොර ගන්න මාර අමාරුලු. ඔන්න ඔහේ වෙන වැඩකුත් නැති එකේ පොමා ලිව්වලු එක එක ටෙම්ප්ලේට් වලට.

කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
===================

පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්‍රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්‍රියේ ඔහු භාවිතා කළ බීඩි .....


කුඩු කන්ටේනර් ටෙම්ප්ලේට් එක
=======================

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පැහැරගත් හෝ පුපුරුවා දැමූ සියලු දෙනාම අත් අඩංගුවට ගන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙම ක්‍රියාවට සම්බන්ධ කිසිවෙකුත් අගමැතිතුමා සමග සේවය නොකරන අතර ඒ සියලු දෙනා මාස කීපයකට පෙර ගුවන් යානා සොරකම් කිරීමට සැලසුම් කරන බව දැනගත් වහාම එතුමා සේවයෙන් ඉවත් කර තිබේ. හොර පාස්පෝට් මගින් ගමන් කළ දෙදෙනා එසේ සේවයෙන් ඉවත් කළ අය බව සැක කෙරෙන අතර ඒ දෙදෙනා අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් වියට්නාමය අසළ මුහුදට යවා ....


මන්දනා ඉස්මයිල් ටෙම්ප්ලේට් එක
========================

සෙනසුරාදා මැලේසියාව ආසන්න ගුවනේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව මංකොල්ලයක් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. පාරේ යන වාහන නවතා මගීන් මංකොල්ල කන ආකාරයට නියමුවා හා සේවක පිරිස බැඳ දමා මගීන් මංකොල්ල කෑමට උත්සහ ගනිද්දී මේ අනතුර සිදු විය. මෙම මංකොල්ල කරුවන් එදින රාත්‍රී 12.45 ට හමුදා සේවය හැරගොස් ඇත.


වනාතමුල්ල ටෙම්ප්ලේට් එක
====================

සෙනසුරාදා මැලේසියාවේ සිට චීනය කරා ගිය ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව කියමින් කලහකාරී ලෙස හැසිරුණ එම ගුවන් යානයේ මගීන් ගේ ඥාතීන් ලෙස හඳුන්වා ගත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ. මෙම පිරිස සම්බන්ධ දර්ශන ගුවන් තොටුපොළවල සී සී ටී වී වල සටහන් ව ඇති අතර .....


එතුමා තව ලියනවලු. මට කම්මැලියි ඕයි ඔක්කොම රිපෝට් කරන්න.

Friday, February 7, 2014

ගුරු ගෝල කතා - සාපරාධි ෆේස් බුක් එකවුන්ට්ස්

පාසල් දැරියකගේ ෆේස් බුක් එකවුන්ට් එකක් [සහ ප්‍රේම සම්බන්ධයක්] ගැන විදුහල්පතිවරයෙක් ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බැනවැදුණු නිසා දැරිය සියදිවි නහගනී. අදාල විදුහල්පතිට කේලම පවසා ඇත්තේ ගුරුවරියකි. බොහෝ විට විදුහල්පති ගුරුවරිය කියූ දේ ඇසුවායින් එහාට මේ ගැන කිසිම පරීක්ෂණයක් කරන්නට නැතුවා වන්නට පිළිවන.

මේ අපට අසන්නට ලැබුණු කතාවයි. කතාවේ පසුබිමේ අප නොදන්නා දේවල් තිබිය හැකි නමුත් අදාළ ගුරුවරුන් දෙදෙනා බරපතල වරදක් කල බව නම් ස්ථිරය. විශේෂයෙන්ම විදුහල්පති ගුරු බකමූණා ගේ වනචාරී ක්‍රියාකලාපය කෙසේවත් සාධාරණ කල නොහැකිය. මේ කතාව අදාළ කෙල්ලගේ පිට දමා "අපේ අවලම් කම" හෙවත් අපේ කම කියා හිතාගෙන ඉන්න එකේ ජාමේ බේරාගන්නට මේ මොහොතේ එහි බහිරවයින් ක්‍රියාත්මක වන බව පෙනේ. 


පාසල් දැරියක් නිල ඇඳුම කොටට ඇඳපු නිසා ප්‍රසිද්ධියේ වාටි කපපු කතාව මතක ඇතැයි සිතමි. එදා එතන දේශපාලන මැරයෙකු වූ දැරියගේ පියා කලාක් මෙන් මේ මෝඩ පිනාව ඒ ස්ටේජ් එක උඩටම නංවා පොන්නයා කියා බනින්නට දැරියගේ පියා දේශපාලන මැරයෙක් නොවීම කනගාටුවට කරුණකි. මේ වගේ ගුරු බකමූණන් විසින් බිහි කරන සමාජය අර දේශපාලන මැරයා සේ වියයුතුය. නොගලපෙන අයට පැවැත්මක් නැත.

ප්‍රධාන මාතෘකාව ඔතනම තබා අතුරු මාතෘකා කතා කරමු. ප්‍රධාන මාතෘකාව [හෙවත් කාලකන්නි පිනාට දඬුවම් කිරීම] තාවකාලික වන අතර අතුරු කතා දීර්ඝ කාලිනය.

- ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණු පොත යනු කවරක්දැයි නොදනිති. කෙල්ලට අම්බානට අප්සෙට් ගිය බවක් පෙනෙන්නේ තමන් නොදැමූ පින්තුර වලට‍ බැනුම් අහන්නට වීමයි [ලිපියේ එහෙම කියා ඇත]. එය සාධාරණ කනගාටුවකි. වරදකට දඬුවම් කරන්නා වරදෙහි ස්වභාවය ගැන දැනසිටිය යුතුය. මේක මේ වගේ සිද්ධි බොහොමයකට හේතු විය හැකිය. ගුරුවරුන්ට හමුදා පුහුණුව දීමට වඩා ගුරුවරුන්ට බේසික් අයි ටී යුසේජ් ගැන කියාදීම කාලින මාතෘකාවකි.

- ලංකාවේ පාසල් ළමයින් අතර හුවමාරුවෙන ෆෝන් එක හා අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන පාසල් ගුරුන් දක්වන්නේ පුදුම අවුලකි. ෆෝන් එකක හුටප්පරෙකට කොළඹ පාසලක ගුරුවරුන්  කෙල්ලක් බියගන්වා ඇය පාසලේදීම ගෙල වැල දා ගත් කතාවක් මීට පෙර අසන්නට ලැබුණි. මීට හේතුව සරල වනචාරි කමයි. හැටේ දශකයේ දරුවන් බයිසිකල් පදින විට දෙමව්පියන් එය නසරානි වැඩක් සේ සලකා දඬුවම් කල බව අසා තිබේ. හෙන ඉස්සර කාලේ සුද්දගේ රේල් පාරේ කෝච්චි දුවන විට ඒවා මහා නරක දේවල් කියා බිය වී ගම්වැසියන් වන වැදුණු බවද අසාතිබේ. තමන් ඉන්නා යුගයට මේ යල්පැනගිය ගුරුන් යාවත්කාලින කිරීම දෙවන කාරණයයි.

- දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීමේ වරද අපි කුරුණෑගල දිහාවේ නිල ඇඳුමේ වාටි කපාපු කේස් එක වෙලාවේ ද කතා කළෙමු. නැවත ඉස්මතු කරන්නට ඇත්තේ මේ වනචාරි දඬුවම් ක්‍රමයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් පිළියම් යෙදිය යුතු බවයි.

- ගුරාගේ හැසිරීමෙහි දක්නට ඇත්තේ සමාජ විරෝධි මානසික ආතතියකින් පෙලෙන මනුස්සයෙකුගේ හැසිරීමකි. මෙහෙම වීමට මිනිසුන්ට සැහෙන හේතු ඇත. ලංකාවේ පාසල් වල තමන්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න නිසා ලමයින්ගෙන් පලිගහන සහ ඇතැම්විට බීමත්ව පැමිණෙන ගුරුහු සිටිති. මෙය තවත් ගැටලුවකි.

- සිසුවියගේ ලිපිය කියවූ විට එහි මූලික කරුණු දෙකක් පෙනුනි. පලමු වන්න නම් හොඳ ළමයා කියන අයිඩලය මේ දරුවන්ගේ සිත් වලට කෙතරම් නරක බලපෑමක් කරන බවයි. අයිඩියලිස්ටික් රාමුවක් දරුවන්ට බලෙන් එබ්බීමෙන් එම රාමුවෙන් අපගමනය වන තැනදී දරුවා මානසික ආතතියකට ලක්වේ. සිද්ධිය තුල එහෙම ගතියක් මට පෙනේ.

- දෙවැන්න නම් පාසල් මව කියන මල කෝලම මේ ළමයින්ට කෙතරම් බලපාන බවයි. ලංකාවේ සියලු පාසල් තමන් පාසල් මවක් ලෙස දරුවන්ගේ සිතට කාවද්දයි. එම හරහා බාහිර ක්‍රියාකාරකම් වලට හැකිතාක් පිරිස අද්දවා ගනියි. මේ දැරියත් එවන්නියකි. එහෙම කෙනෙකුට පාසල තුල මෙවැනි කෙනෙහිල්ලක් සිදුවීම දරාගන්නට අමාරුය. මේ වගේ කෙනෙහිලි අප බොහෝ දෙනෙකුට සිදු වුවද මෙතරම් මානසිකව නොවැටෙන්නේ අම්මා පටලාගෙන නැති නිසාවෙනි. පාසලට ගරු කිරීම හා බැඳීමක් තිබීම යහපත් වන නමුත් පාසලේ කෙහෙම්මල් වලින් දිවි නහ ගන්නට උවමනා නැත.

- අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.

Friday, January 17, 2014

මේවා මෙසේ සිදු වුනි නම් .....

[මෙහි සඳහන් කිසිදු කතාවක් ඉතිහාස කතන්දරයක් නොවන බව කරුණාවෙන් සලකන්න]

----------------

සොඳුරු පාටලී පුත්‍ර නගරයයි. නිග්‍රෝධ සාමනේර හිමියෝ ශාන්ත ගමනින් වඩිති. එක්තරා දෛවෝපගත හමුවීමක් සිදුවීමට නියමිතව තිබේ. සකල දිග භාරත දේශයම තමන්ගේ අණසකට නතු කල අශෝක නම් මහාධිරාජයා එහිමියන් දැක පැහැදී දම් අසා තෙරුවන් සරණ යාමට නියමිතව තිබේ.

එහෙත් එය එසේ නොවිණි. කෙතරම් පරාද වුවද ලෙහෙසියෙන් යටත් නොවූ කාලිංග දේශ වාසීහු අධිරාජයාට එරෙහිව බිහිසුණු කැරැල්ලක් ආරම්භ කළහ. යුධයෙන් කලකිරී හුන්නද තම මර්මස්ථාන බිඳලමින් සතුරා තම සෙන්පතියන් මරා දමනු දුටු මහාධිරාජයාට තවත් නම් ඉවසිය නොහැකි විය. සියල්ල පසෙක තබා අධිරාජයා යුධ බිමට වන්නේය.

නිග්‍රෝධ සාමණේර හිමියන්ට අශෝක අධිරාජයා මුණ නොගැසිනි. මෞර්ය අධිරාජ්‍යයට බුදු දහම අහිමි විය. තව තවත් යුධයට ම වන් අධිරාජයා චීනයෙන්ද බුරුමයෙන්ද පර්සියාවෙන්ද කොටස් අල්ලා ගෙන යුධයෙහි ම ඇලී ගැලී මළේය.

----------------

පොන්ටියස් පිලාත් නඩුකාර අසුනේය. නාසරතයේ ජේසු තුමා විත්ති කූඩුවේය. පෙරදා විඳි අනේකවිධ වධයෙන් ලේ ගලන තුවාල සහිතව වේදනාභරිතව උන වහන්සේ වැඩ සිටිති. ජේසු ව කුරුසියේ තබා ඇණ ගසන ලෙස බලකරන යුදෙව් පූජකයෝ ගිනි ගන්නා දෑසින් බලා සිටිති. තවත් දෛවෝපගත නඩු තීන්දුවක් දීමට නියමිතය.

එහෙත් පොන්ටියස් පිලාත් තවම තීන්දුව දුන්නේ නැත. මේ මිනිසා කල වරදක් ඔහුට නොපෙනේ. දහදුක් විඳ වේදනාවෙන් ඉන්න අහිංසක මිනිසා මරන්නට ඔහුට සිත් නොදේ. ඔහුට එය කරන්නට සිදු වන්නේ ජුදා දේශයේ පූජක රැළ බල කරන නිසාය. සමහර විට එහෙම නොකලොත් කැරැල්ලක් ඇති විය හැකිය.

පොන්ටියස් පිළාත් අනාගතය අනුමාන කරයි. මෙතන මොනවා උනත් ජුදා දේශයේ කැරැල්ල නොවැලැක්විය හැක්කකි. යුරෝපයම හොල්ලා සුළු ආසියාවට පැමිණි රෝම අධිරාජ්‍යයට බලපෑම් කරන්නට මේ පූජකයින් කවුද? පිළාත් නැවත මාලිගය තුලට යයි. "ජුදාවේ කැරැල්ල වලක්වන්නට අමාරුයි. වහාම හමුදා තර ක‍රන්න" හදිසි පණිවුඩයක් රහසේම රෝමය කරා යැවේ. ජේසුගේ නඩුව කල් යයි. ඊට සති කීපයකට පසු අමතර සේනා ලැබුණු වහාම ජේසු තුමා නිදහස් කෙරේ. බරබ්බස් නම් පල් හොරා ගොල්ගොතාවේ කුරුසියක මරා දැමුණි.

යේසුස් වහන්සේ එයින් පසුවද ජනයාට දේශනා පවත්වමින් චිරාත් කලක් ජීවත් වූහ. ජීවිත පූජාව හරහා ක්‍රිස්තියානිය ට රෝමය තුල ලැබුණු ප්‍රචාරය නොලැබුණි. මින් සියවස් කීපයකට පසු කොන්ස්ටන්ටයින් අධිරාජයා තීරණාත්මක සටනකට වන් කළ එහි තීරණයට බලපාන තරම් සෙනගක් ක්‍රිස්තියානියට උන්නේ නැත. කොන්ස්ටන්ටයින් උඩ බැලුවිට කුරුසාකාර වලාකුලකින් හිරු වැසෙනු දැක්කේ ද නැත. රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම කලේද නැත.

----------------

යත්රීබ් හෙවත් පසුව මදීනා අල් නබි ලෙස නම් ලබන්නට නියමිත නුවරයි. මොහොමඩ් නබි තුමාගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොතයි. නගරයේ පාලකයින් අතර අසමගිතා සහ ගැටුම නිසාවෙන් නගර ජනයාගේ සහයෝගය ඔහුට ලැබීමට නියමිතය.

එහෙත් කිසියම් අසාමාන්‍ය හේතුවකට නගර පාලකයෝ එකමුතු වූහ. නබි තුමාට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල විය. මක්කම් වැසියෝ දිගින් දිගටම පරාජය ලැබූහ. අවසානයේ මොහොමඩ් නබි තුමාට මක්කමත් අතහැර සටනින් පසු බසින්නට සිදු විය. අරාබි කාන්තාරයේ කෙළවරක කුඩා ගෝත්‍රයක් ලෙස පැවතීමට නිදහස ලැබුණද, කවදාවත් ඔවුන් ට ප්‍රධාන නගරයක් නතු නොවීය.

මේ සිදුවීම නිසාවෙන් එතුමාගේ අනුගාමික ප්‍රජාවට මදීනාවක් හෝ මදීනාව පදනම්ව ලෝකයේ බිහිවූ විශාලම ආගමික රාජ්‍යයන් වන රශිදුන් උමායඩ් හා අබාසිඩ් කාලිෆේට් බිහි කරන්නට අවකාශ නොලැබේ. අරාබිය ඉස්ලාමය වැළඳ ගැනීම තබා ඒ ගැන දන්නේද බොහොම ටිකකි.

----------------

දිල්ලිය ගිනි ගනී. නගරය වටලා හුන් මොංගල් හමුදා නගර ප්‍රාකාරවල දුර්වල තැනකින් නගරයට ඇතුළු වී ඇත. කවදාවත් මොන්ගලයින්ට නොවැටෙන්න නියමිතව හුන් භාරතයේ මුර කපොල්ල කිසියම් හේතුවක් නිසා බිඳ වැටී තිබේ. ඉතිහාසයේ උන් කෲරතම ආක්‍රමණිකයෝ දිල්ලිය වනසා එහි හුන් ගැහැණුන් වහල් කමට විකුණා පිරිමි දරුවන් සිය හමුදාවට කොල්ල කාගෙන සියලු වැඩිහිටි පිරිමින් පෙති ගසා දමන ලදී.

දිල්ලිය තුලින් පටන් ගත් සමූල ඝාතන ගංගා නදිය ඔස්සේද සින්ද් නදිය ඔස්සේද පසුව ඩෙකාන් සානුව ඔස්සේ ද විහිදී ඉන්දියාව රුධිර ගංගාවක් බවට හරවන ලදී. නගර වූ තැන්හි සති ගණන් දැවුණු මහා ගිනි පමණක් ඉතිරි විය. ශිෂ්ටාචාර වූ කිසිවක් ඉතිරි වූයේ නැත. වේද ග්‍රන්ථ ද මහා භාරතය ද රාමායනය ද ඉපැරණි ඉන්දියාව සතු සියලු දැනුමද ඒ ගින්නේ ම අළු වී ගියේය. සියවස් ගණනකින් නැවත අළු ගසා නැගිටින කුඩා ඉන්දියානු ජන ප්‍රජාව හින්දු ආගම ගැන අබමල් රොනක කාරනාවක් දැන උන්නේ නැත.

----------------

මේවා මෙසේ සිදු වුනි නම් .....

අද බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ආගමික වියරුවකින් තැන තැන අමන ක්‍රියා කෝලහාල ත්‍රස්ත ප්‍රහාර හා යුධ සටන් කරන්නට යමක් ඉතිරි වන්නේ නැත. කිසියම් දෙවියෙකුට රාජ්‍ය තනන්නට හෝ ඒ දෙවියා වෙනුවට වෙනත් දෙවියෙකුට ඒ රාජ්‍ය කොල්ල කන්නට හෝ දේවාලයක බිම්කඩක් වෙනුවෙන් ගම්මාන ගිනි තියන්නට හෝ ධර්මයක් උදෙසා රාජ්‍ය පිහිටුවන්නට අනික් ආගමිකයන් සමග ගහ මරා ගන්නට කාටවත් අවශ්‍ය නොවේ. මුදල් දී අනෙකාගේ ආගමික පොත් හා ප්‍රතිමා ගිනි තබා තමන්ගේ ගුබ්බෑයමට මිනිසුන් වද්දා ගන්නට හෝ, එවැනි ගුබ්බෑයම් ගිනි තබා තමන්ද ඊට නොදෙවෙනි බව කියන්නට අවශ්‍ය නැත. කන්දකට ගලකට ආගම් කීපයක ආගමික අගයක් ලබා දී ඒ වෙනුවෙන් ප්‍රතිවාදියා මරාගෙන යුධ වදින්නට අවශ්‍ය වන්නේ නැත.

එසේ නම් බුදුදහම, ක්‍රිස්තියානිය, ඉස්ලාමය හා හින්දු ආගම ගැන කතා කරන්නේ එක්කෝ පුරා විද්‍යාඥයින් හා ඉතිහාසඥයින්ය. නො එසේ නම් ප්‍රාදේශීය දර්ශනවාද විශ්වාස හා ඇදහිලි ගැන පර්යේෂණය කරන විද්වතුන්ය.

ලෝකය සුන්දර වනු ඇතැයි ඔබට සිතෙනු ඇත.

එහෙත් ඔබ වැරදිය.

ඒවා නොතිබ්බේ නම් වෙනත් කාගේ හෝ කතාවකට, මතවාදයකට, පොතකට, ජීවිත පූජාවකට, තරු පොකුරකට, දේශගුණ වෙනසකට, කන්දකට මුහුදකට හෝ වෙනත් කිසියම් දෙයකට මෙලෙසින්ම ගැලී අගක් මුලක් නැතිව, අපේ එක හරි ඩෝ, තොගේ එක බොරු ඩෝ, මේක අපේ එකේ බිම ඩෝ, කියාගෙන ලෝකයේ විවිධ බසින් කෑ ගසන පෙනුමෙන් වෙනස් එහෙත් අත්‍යන්තයෙන් ම සමාන වූ මානව ප්‍රජාවක් දැකිය හැකි වනු ඇත. ආගමික නායකයා හිස ගැසුම් කෑ දවසට දරුවන්ගේ මුහුණු කපනවා වෙනුවට අහස රතුපාට වන අවුරෝරා කාලයට එයම කරනු ඇත. අර ආගම් වැනිම වූ වෙනත් ආගම් වෙනුවෙන් එලෙසින්ම ගහ මරා ගනිමින් නිල් පාට බෝලය මෙලෙසින්ම පෙරළෙනු ඇත.

කරන්නට දෙයක් නැත. බලු වලිගේ ඇද තීන්දු වන්නේ දැමූ උණ පුරුකේ වක්‍රතාවය මත නොවේ.