Saturday, December 22, 2012

මායා වරුන්ට සුබ නව යුගයක්

වැඩියෙන් දියුණු යයි සම්මත ලෝකයක් දියුණු මෙවලම් ලෙස සම්මත අන්තර්ජාලය හරහා ප්‍රාථමික හා වනචාරි ලෙස ලෝක විනාශයක් ගැන බිය වෙද්දී, නිහඬව එහෙත් උත්කර්ෂයෙන් නව යුගයක් සමරන මායා වරුන්ට පුබ පැතුම්.

නව බක්ටුනයක [වසර 394 ක් විතර කාලයක්] උදාව විඳීමත් වරප්‍රසාදයක් වන අතර බක්ටුන දහතුනක් ගෙවා උදාවන නව යුගය අත්විඳින පළමු පිරිස ඔබයි.

ඔබට සුබ නව යුගයක් හා නව බක්ටුනයක්.

පසු සටහන:

මායාවරුන් අවශේෂ ලෝකයේ කොමඩි ජවනිකාව ගැන හිතන හැටිත් ඒ 


ගැන ඔවුන් කනගාටු වෙනහැටිත් මේ ලිපියෙන් කියවන්න.

ප.ලි.

එනිවේස් ඕක අපේ හෙළයෝ කල්තියා දැක්ක. ඔය 2012 වෙන සීන්ස් එකේ අපේ හෙළයෝ දැක්කේ අසූව අනූව දශක වල.

ඒ හෙළ පවුලක හෙළ කොල්ලෙක් තකහනියක් තඩි සංගීත මෙවලම්මක් හදාගෙන ලෝකෙටම ඇහෙන්න කිව්වා "මායාව මායාව ලොව රවටනා" කියල. එකෙක් ඇහුවේ නැහැ. පොර ඊට පස්සේ සිල්ලර කඩයක් දාගෙන නිකම් ඉන්න ඇති. මොකෝ ඇහුවේ නැහැ කියල පොරට මොකද? ආත්මා ලියනගේ ආයිත් සින්දු නොකිව්වේ ඕකයි. මුන්ට කියල වැඩක් නැහැ.

Wednesday, November 14, 2012

ඉල් මහේ මතක

[අසු නවය ගැන දැමු මුහුණු පොත් ප්‍රතිචාරයක් ඇසුරිනි]

අසූ අට - අසූ නවය සමය මුළු රටම පීඩා විඳි සමයකි.

සහෝදරත්වයේ තුවක්කුවට බියේ දහවල නිවෙස් තුල සැඟව උන්නෙමු. සමහරු බඩගින්නේ හිටි අතර නීති කඩකර බඩගිනි නිවන්නට ගිය උන් ගල් කටස් පහරට ලක්විය.

රාජ්‍ය නිල හා නොනිල හමුදා වලට බියේ රෑ නොනිදා හුන්නේමු. රාත්‍රිය දහවල තරම්වත් නිශ්චිත නොවුනි. මිනි මැරුනේ බේබද්දන් පාරේ ඇවිදින්නාක් මෙනි.

හුදෙක් නීතියක් කියා දෙයක් නොතිබි පූර්ණ අරාජික සමයකි.

කිනම් හෝ හේතුවකට පිරිසක් අවි බලය අතට ගෙන අවියෙන් දිනන්නට උත්සහ කරන විට අරාජික තත්වයක් උද්ගත වේ. 1971 හා 1987-89 දකුණේ ඇතිවූයේද, 80 මුල කාලයේ සිට 2009 දක්වා [වරින් වර ලද "පිට් ස්ටොප්" හැරුණු විට] උතුරේ ඇති වුයේද මේ තත්වයයි. එම පරිසරය තුල නීතිය අතුරුදහන් වූ විට, වනචාරි සමයක් ඇරඹේ. ආයුධය ආයුධයකින් විනා වෙනත් ආකාරයකින් පරාජය කල නොහැකි නිසා ආයුධයට හා එය දරන්නාට රිසි සේ ක්‍රියා කිරීමේ නිදහස ලැබේ. ලොව කිසිම යුද්ධයක් ජිනීවා සම්මුතියට අනුව සිදු නොවන්නේ එබැවිනි.

අප අත්දුටු 87-89 වැනිම තත්වයක් 2006-2009 උතුරේ ඇති වන්නට ඇත. ගල් කටස් එක්ක හැප්පෙන්න ඔතරම් මහන්සියක් ගන්න උනා නම් ස්ලින් ගුවන් යානා දක්වා ගිය සංවිධිත යුධ යන්ත්‍රයක් එක්ක හැප්පෙන්න තව මොනවා කරන්නට ඇතිද?

මේවා අස්සේ මිය ගිය දහස් ගණන් අහිංසකයින් ඇති. එහෙත් අවසානයේ කියන්නට ඇත්තේ පළමු වරදකරු නීතිය අතුරුදහන් කල කෙනා බවයි. නීතිය වෙනුවට ආයුධය සරණ ගිය ඔවුන් ලඟා කල ප්‍රතිපලය වනුයේ ඔවුන් නවතන්නට එවැනිම අවි බලයකට නිදහස ලබා දීමයි. අවියකට එරෙහි අවියක් යන පදනම තුල මේවා සිදුවීම පුදුමයට හේතු නොවේ.

කෙතරම් දූෂිත වුවද අප ජීවත්වන සමාජයේ සිවිල් නීති පද්ධතිය අප කෙතරම් ආරක්ෂා කරන්නේද යන්න මෙහි හරයයි. කිසියම් ගැටලුවක් ඇතොත් එය සිවිල් නීති පද්ධතියට එරෙහිව නොයා හැකි පමණින් එය තුල හිඳ විසඳා ගැනීම අවශ්‍යතාවයක් වන්නේ එබැවිනි.

සමාජය වෙනස් කරන්නට පෙර ලෝකාවබෝධය ලැබිය යුතුය. සමාජය වෙනස් විය යුත්තේ මිනිහෙකුට හෝ අවි දරන පිරිසකට ඕනේ දිහාවට නොවේ. තමන්ට මතය තාර්කික රාමුවකින් පෙරට ගෙන යා නොහැකි නම් එය අතහැර දැමිය යුතුයි. ලෝකය කොහොමත් අසාධාරණ ගොඩකි. එකෙකු එහි සාධාරණය කියා තනන්නේ වෙනකෙකුට අසාධාරණයක් ම පමණි.

යම්කිසි පිරිසක් අවි අරගෙන එන්නේ මේන් ස්ට්‍රීම් එකේ පරාජිත මතවාදයක් නිසාවෙනි. මේන්  ස්ට්‍රීම් එකේ සාර්ථක මතවාද රාජ්‍ය බලයෙන් මර්ධනය කල නොහැක. එහි පරාජිත මතයක් කෙනෙක් අරගෙන යුද්ධ කරන්න ආවාට පස්සේ අවි බලය යොදා ගන්න එක හැරෙන්න විකල්පයක් නොමැත. දෙගොල්ලම කරන්නේ මිනි මරණ එකයි. එක පැත්තක් මැරුවේ නැතිනම් අනිත් පැත්තෙන් මරණ එක වැළකිය නොහේ. ඒ නිසා පළමු ඝාතකයා වැලකීම රටක හමුදාවක වගකීමක්.


ඒ නිසා ආයුධයක් ගෙන නීතිය අතුරුදහන් කරන්නා අදාළ නෛතික රික්තය තුල සිදුවන සියලු ක්‍රියා වලට මූලිකව වග කිව යුතු අතර, ඒ පාර්ශ්වය විශේෂයෙන්ම එහි නායකත්වය වනසා දැමීම අද්‍යතන මානව හැකියාවන් තුල කළහැකි එකම විසඳුමයි. 89 දීත් 2009 දීත් ඔප්පු වන එකම සත්‍යය එයයි.

ඉල් මහ සැමරිය යුතු මතකය එපමණකි.

ප.ලි. කැරලි මර්දනය යන ලේබලය යටතේ පාලක පක්ෂයක් කරන සියලු ක්‍රියා මින් සාධාරණීකරණය නොකරන්නෙමු. ක්‍රියාවේ බරපතලකම මත ඒවා ගැන පරික්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් දීම සිදුවිය යුතුය. එහෙත් නීතිය අතුරුදහන් කල එකාට අවනීතියේ වැරැද්ද ගැන චෝදනා කරමින් වසරක් ගානේ හඬා වැටෙන්නට අයිතියක් නැත.

Thursday, November 1, 2012

ආශ්චර්යක් නේද හසන්ත


හසන්ත මේ තමා අපේ ගම. ඒ ගම ඇතුලෙන් අපට මේ ඇහෙන්නේ අපේ කම. ඔය කොළඹ ඉඳං ගම ගැන නං දොඩවන මහත්තුරුන්ට මම කියන්නේ, බලාපල්ලා ගමට ගිහිල්ල. දැකගනිල්ලා අපේ ගමේ අසිරිය, සුන්දරත්වය. 

http://www.divaina.com/2012/11/01/news02.html
මෙන්න මේ අපේ ගම තමයි හසන්ත අද මේ දියසෙන් පරපුර මුල් බැහැ ගත්තු පදනම. මේ ගම නිසා තමයි හසන්ත කවදාවත් ඒක හොල්ලන්න බැරි. ආශ්චර්යක් නේද හසන්ත.

[මෙම පුවත අහඹු ලෙස තෝරා ගත්තකි. මගේ අරමුණ ගමට පාලමක් තනා දෙන්න නොවේ. මෙටෆෝර් පටලා නොගන්න]

Friday, August 3, 2012

Laugh with me: හිග්ස්‌ ඔබ හෙළයෙකු වී නම්

නදීෂා චන්ද්‍රසේන මට ලියන්නට යමක් දී ඇත. ඒ ඇයත් සමග සිතන්නට යාමෙනි. බොසෝනය නම් ඉතා කුඩා උප-පරමාණුක තරම් අංශුවක  පැවැත්ම ගැන පීටර්  හිග්ස් පලකළ මත සඳහා සාක්ෂි වසර  පනහකට  පසු සොයා ගැනීම   සම්බන්ධයෙනි.

මේ සටහනට බෙහෙවින් වැදගත් ඉහත නදීශාගේ ලියමන කියවන්නේ නම් මැනවි.

ඒ ඇයත් සමග සිතන්නටය. මේ මාත් සමග හිනැහෙන්නටය. නිකම් නොවේ හෙළයෙකු වීම ගැන සාඩම්බරයෙනි.

----------

හිග්ස්‌ ඔබ උපදින්නට තිබුනේ මේ පුණ්‍ය භූමියේය. එසේ නම් ඔබට අඩ සියවසක් චාටර් කන්නට සිදු නොවනු ඇත.

එහෙනම් අවශ්‍ය වනුයේ රන්දිව හෝ රිවිර වැනි පුවත්පතක් සමග සාකච්චාවක් පමණි [දිනමිණ රිසර්ච් බුලටිනය හරහා තරුරටා වලින් භූමිකම්පා ගැන පර්යේෂණ පත්‍රිකා පළකර රටම කම්පා කල භූ විද්‍යා මහැදුරන් උදාහරණයකි].

එහෙනම් අපේ මාධ්‍යවේදීන් බෝසෝනය මොන පාටයිද කියාත් පත්තර වලට ලියනු ඇත. රූපවාහිනියේ අගමැතිතුමා හෝ [බෝසෝනයේ අගය වැඩි නම්] ජනපතිතුමා සමග බෝසෝන අහුලන්නට හිග්ස්‌ මැතිතුමාට හැකි වන්නට ඉඩ තිබුණි.

හිග්ස්‌ අපේ නිසා බොසෝනය පවතින බව සියලු දෙනාම පිළිගන්නවාට කිසිම සැකයක් නැත. අනික් අතට
බෝසෝනය ප්‍රත්‍යක්ෂයෙන් බාර ගන්නට අපේ ජාතික චින්තනයට සුළු දෙයකි. අවශ්‍ය වන්නේ බෝසෝනය විසින් චතුස්කෝටික භාවය සම්පූර්ණ කිරීම පමණි. එනම් බෝසෝන ඇති බව, බෝසෝන නැති බව, බොසෝනය ඇති බව හා නැති බව, බෝසෝන ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව වේ.

බෝසෝන ගලවන්නට කවුරුන් හෝ හිග්ස්‌ ට සල්ලි ලබා දීමට ඉඩ තිබේ. වසර කීපයකින් හිග්ස්‌ සල්ලි වලට ගේම දුන්නා කියා ඔහුට නඩු යාමට සිදු වනු ඇත.

"
හිග්ස් මොළකාරයෙකු මිස කේන්තිකාරයෙකු නොවේ.විද්‍යාව විසින් ඉල්ලා සිටින සංයමය හිග්ස් ප්‍රගුණ කර ඇතැයි සිතමි.හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය." මෙසේ කියන්නී නදීෂා ය. 
හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය. එහෙත් පර්යේෂණ වල ප්‍රතිපල දාන්නට ලංකාවේ පුළුවන.

IEEE වාගේ එකක පර්යේෂණයක් පල කරන්නට කෙතරම් දුක් විඳිය යුතුද? එතුලින් පර්යේෂණ කෙතරම් යටපත් වේද? අපේ හෙළයා මෙම බරපතල කඩ ඉම ජයගත්තේ එබැවිනි.

අද විවි මහාචාර්ය වරුන් ඉතාමත් සංවේදී පර්යේෂණ ක්ෂණිකව පල කරන්නේ දිනමිණ රිසර්ච් බුලටිනයේය. [එසේ නොවන්නට කල්වෙලා ඇතුව භුමි කම්පා ගැන අනාවැකි පළකර ජනයා පාරට බස්සවන්නට හැකි නොවේ].

නව නිමැවුම් කරුවන්ගේ නිර්මාණ වල ශක්‍යතා අධ්‍යනය කරන්නේ මාධ්‍යවේදීන් විසිනි [එසේ නොවන්නට ජර්මන් ටෙක් එකෙන් හයිඩ්‍රජන් හොරකම් කර වතුරෙන් දුවන එන්ජිමක් හදාගත් කොලුවා තවමත් එතැනමය]

දෙයක් ප්‍රත්‍යක්ෂයෙන් විනා තාර්කික හෝ පර්යේෂණ ඔප්පු කිරීමකින් බාර නොගන්නා ලෙස ජාතික චින්තකයෝ බලකරති. යමක් ඔප්පු කරන්න හදනවා කියන්නේ සැක කටයුතු තත්වයකි. ඔප්පු කලේ නම් ෂුවර් බොරුවකි.

මේ ඔක්කොම වැඩ නොකරත් පර්යේෂණ ප්‍රතිපල ටක් ගාල අවුට් කරගන්නට ඕනේ නම් රිවිර හෝ රන්දිව වැනි පුවත් පතකින් පිළිවන. පර්යේෂණ ගැන අතිශයින් ලිබරල් අපි පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් වෙළඳපොල තරගයක් ඇති කර එතුලින් පත්‍රිකා පල කිරීම තවත් වේගවත් කර ඇත.

දේශයේ කොඳු නාරටිය වූ මාධ්‍යවේදියා ලන්ඩන් ඔලිම්පික් එකටත් යවන්නේ එබැවිනි. ක්‍රීඩකයින්ට වඩා මාධ්‍යවේදීන් ඉන්නා එකම "ක්‍රීඩා කණ්ඩායම" අපේ කණ්ඩායමයි.

"මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ හසන්ත" ප්ලාස්ටික් වලින් සැදු බෝසෝනයක් අතින් ගෙන සූරියප්පෙරුම පඬිවරයා කියනු ඇත.

[ඔබේ ලිපිය මෙව්වා කලාට ලේඛිකාවනි සමා වනු මැන]

Saturday, July 14, 2012

ගෝල්ඩ් ෆිෂ් හෙවත් ලංකාවේ චන්ද දායකයා



ඉහත පින්තුරයේ පනින්නේ ශ්‍රී ලාංකික චන්ද දායකයෙකි. පිහිනන්නෝ ද ඔවුහු ම වෙති.

පින්තුරයේ ටැංකි දෙකක් තිබේ. එකක් එපා උනාම අනිකට පනින්න පුළුවන. ආපහු දවසක් මුල් එකට පනින්නට වනු ඇත. ගෝල්ඩ් ෆිෂ් ලා නිසා මතක නැහැනේ කොහොමත්. ලංකාවේ දේශපාලනයේ ඇත්තේ මාළු ටැංකි දෙකක් පමණි. ටැංකි දෙකේම ඇත්තේ එකම වතුරය. මදි උනාම එකකින් අනිකට හලා ගැනේ. ගස් නැත. වටේ පිහිනමින් ඉන්නට පුළුවන.

මෙහෙම කිව්වාම අපේ "ක්‍රම වෙනස් කරන" සෙට් එකට මාර ආතල් වනු ඇත. ඇත්තෙන්ම පින්තුරයේ නොපෙනන තරම් කුඩා ජෑම් බෝතලයක් ද තිබේ. ටැංකි අතර පනින ගෝල්ඩ් ෆිෂ් ලාට ක්‍රම වෙනසක් කර එම ජෑම් බෝතලයට පනින ලෙස ඉල්ලීමක් තිබේ. ඇත්තටම එය ක්‍රම වෙනසකි. හැබැයි පැනපු විට තේරුම යනු ඇත්තේ එම ජෑම් බෝතලයේ සීමා සහිත ඉඩේ ඉන්නට ගෝල්ඩ් ෆිශ්ලාට බැරි බවයි. ඊටත් එහා ගැටලුව නම් එහි වතුර නොමැති වීමයි. එවිට වතුර ලැබෙන තුරු වීදුරුව හැරීමේ විප්ලවීය යුග මෙහෙවර පැවරෙන්නේද හුස්ම හිරවූ ගෝල්ඩ් ෆිෂ්ලා ට ය.

ඒ හැරෙන්නට විවිධ ජාතිවාදී තීන්ත කුප්පි ද තිබේ. තීන්ත මාළුන්ට විස නිසා ඒවාට පනින එවුන් විස වැදී දඟලති. මහා පාරේ ඩෙගා නටති. කිලෝ ග්‍රෑම් වලින් බර කිරන මේ යුගයේ ෂයිලොක් මෙන් මස් රාත්තල ම ඉල්ලති.

තවත් පිරිසක් සිටිති. ඔවුහු ගැඹුරු තියරියකින් තැනු සිහින් කේශික නල අල්ලා ගෙන නන් දොඩවති. තියරි ගැඹුර වැඩි වන තරමට නලයේ කේශික සිදුරේ විෂ්කම්භය කුඩා වේ. නලය සිහින් වන තරමට ඒවා කෑලි කැඩී අලුත් කේශික නල බිහිවේ. කිසිම මාලුවෙක් ඒ දිහාට නොපනිති. අප්පිරියාව පමණක් නොවේ.
සම්මන්ත්‍රණ හා පොත් හරහා තෙල් වෙළඳාම ලොරි ගානට කලත්, ගෝල්ඩ් ෆිෂ් කේශික නලයට පනින ආකාරය කාටවත් වැටහෙන ලෙසින් ඔවුන් විස්තර නොකරන බැවිනි. එම තෙල් වලින් කේශික නල පුරවා කැම්පස් වල පිටි පස්සේ අත දරුවන්ට පොවනු ලැබේ. ඇප බේරන්නට වත් එය මදිය.

කලින් කලට මාළුන්ට කෑමදාන අය බිහිවේ. තරු හතරේ කෙනෙක් වරක් කෑම දැම්මද දැන් තරුත් නැත. කෑමත් ඉවරය. හිස් පැකට්ටුව අතේ තියාගෙන ඔහු වටේ ඇවිදියි.

මේ සමග ලස්සන ස්ටේට්මන්ට් එකක් ඇත. ඒක මාර මෙව්වා කියා හැමෝම කියති. එහෙත් එහි පින්තුරයට කිසිම සම්බන්ධයක් නැත. මං හිතන්නේ ඒ බලයට එන්න ඉන්න පක්ෂයේ "මුදල් නොගෙවා හොරෙන් දැමු" දැන්වීමක් පමණි. ඕවා කියවන ගෝල්ඩ් ෆිෂ් ලා ටැංකි අතර පනිමින් කාලය ගෙවා දමනු ඇත.

කන්ක්ලුෂන් එකක්  නොමැත. හෙටත් අනිද්දාත් ඊට පසුවදාත් හිරු පායා බැස යනු ඇත.


[පින්තුරය දුන් දිල් ට ස්තුතියි]

Saturday, May 19, 2012

ඔක්සිජන් [තෙවර්ෂ පූර්ණ සමරුව]

තුන් වසරකට පෙර අප හුස්ම ගත්තේ අමාරුවෙනි. ඔක්සිජන් නොතිබුණි. නිතර හුස්ම හිරවීම සිදු විය. බාල මහලු බේදයකින් තොරව ජනයා මිය ගියහ.

ඔක්සිජන් ගෙනෙන ගමන එසේ මෙසේ එකක් නොවේ. නිර්භීත ජීවිත බොහෝ කැප කරන්නට සිදු විය. එසේ ජීවිත පූජා කලේ එකතැන් වුනේ අංග විකල වුනේ සිය කැමැත්තෙනි. අනික් එවුන්ගේ හෙට දවස වෙනුවෙනි. හුස්ම ගන්නට ඇති අයිතිය වෙනුවෙනි.

"හයියෝ ඔයා තාම ඔය පරණ කතාව ද කියන්නේ" වර්තමානය අසයී.

"මොනවාද ඔය තෙවසරකට පෙර ලැබුන මහා ලොකු බම්බුව?"

"දැන් මොකද්ද ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ? අද මොනවාද ලැබිල තියෙන්නේ?"

වර්තමානය පහසුවෙන් අතීතය අමතක කරන්නෙකි. අනික් අතට හුස්ම ගැනීමේ නිදහස සිහි වන්නේ ඔක්සිජන් අහිමි වූ දිනයක පමණි.

මේ සටහන අර ශ්‍රේෂ්ට අමරණීය මිනිසුන් වෙනුවෙනි.

Thursday, March 22, 2012

සමත මණ්ඩල තරවටුවෙන් පසු...

දැන් සිද්ද වනුයේ තවත් අවලමේ යන පූසා නිතර සමත මණ්ඩල ගොඩනැගිල්ලේ රෑට පැහැරීම තුලින් එම අවලං කම වසා ගැනීමයි. අප ඇසුවොත් "නැහැ මම සමතයාට පාඩමක් උගන්නන්න යන්නේ" කියා තම ගමන තවත් සාධාරණ කරනු ඇත.

සමත මණ්ඩලය දඬුවම් දෙන්නේ එහි සාමාජික අපේ පවුලට මිස පූසාට හෙම නොවේ.

[පෙර කතාව: මීයයි පූසයි]

Monday, February 27, 2012

මීයයි පූසයි

පූසෝ මීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේ කරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති. ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.

එබැවින් අපි පූසෙකු හැදුවෙමු.

මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනික සතුන් ද ඉස්සරහට දමා මීයෝ හැංගෙති. පූසා මීයන් අල්ලන්නේ ප්‍රාථමික තාක්ෂණික ක්‍රම උදව්වෙනි. මේ කතාවේ ඉන්න මීයන් කොපමණ දියුණු වීද යත් උගේ මර උගුල් වලට හසු වී මිය ගිය පූසන් ගණන අපමණය. එහෙයින් පූසාට මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. දුටු තැන පහරදෙන්නට වූ නිසා පූසා මේ සටන තුල මීයන් කියා කෑ ලෙහෙනුන් යම් තරමක් සිටිති. එවැනි ලෙහෙනුන් මීයන් කියා කීමට පූසා ද, මියගිය හැම මීයාම ලෙහෙනෙක් කීමට මීයා ද පොර කන මේ තරගයේ, ඉන් ඔබ්බට සංඛ්‍යා ලේඛන නොමැත. 

උකුස්සා ට සියල්ල පෙනේ. උගේ තාක්ෂනය දියුනුය. එහෙත් ඌ අපට මීයන් අල්ලා දෙන්නට ප්‍රමාණවත් උදව් නොදුන්නේය. ඒ වෙනුවට ඌ මිය යන ලෙහෙනුන් ගණන් කරන්නට ඉහල අහසේ සිට උත්සාහ කළේය. අපි ඌට ගල් ගැහුවේ එනපොට හොඳ නැති නිසාය. අන්තිමට හරි ගණන් ඌට ද මිස් විය.

උකුස්සා අල්ලන්නේ ඌරු මීයන් ය. උගේ කූඩුව තියෙන ගස මුල හාරා අකල් බකල් කරන්නේ උන් බැවිනි. ඉහල අහසේ ඔටෝ පයිලට් දාගෙන නිදි වනින් ඉන්නා උකුස්සා විටින් විට පැමිණ ඌරු මීයන් මෙන්ම හාවන්, කටුස්සන්, පමණක් නොව ඌරන්, ඉත්තාවන්, බල්ලන්, කුකුලන් ද ඩැහැ ගෙන යයි. ඒ උන් අහර පිණිස ගන්නද නැතිනම් ඌරු මීයන් කියා රැවටී ද අපි නොදන්නෙමු. අල්ලන ඕනෑම සතෙක් කුදලා ගෙන යමින් ගමන "මේ ඌරු මීයෙක්" කියා ඌ මොර දෙයි. උකුස්සා ගේ සද්දේ සැරය. කවුරුත් හරස් ප්‍රශ්න නොකරති.

ගැටලුව තවත් දුරදිග යන්නේ අහල පහල ගෙවල් වල ඉන්න සමහරුන් මීයන්ට ආදරේ බැවිනි. අපේ ගේ වනසන මීයන්ට කන්න බොන්න දී හදා ගන්නේ ඔවුන් ය. මීයන්ට දාන කෑම ගන්නේ සල්ලි එකතු කරලාය. ඉතිරි සල්ලි උකුස්සන්ට කෑම ගන්න වියදම් කල බැවින්, මීයා උකුස්සා, මේ කට්ටිය ඇතුළු ඔක්කොම එක පැත්තක කියා ද අපට හිතේ. ඉහල අහසේ ඉන්න උකුස්සා මොන පැත්තක ද කියා කීමට සක්කරයටවත් නොහැක්කේ සක්කර වාස බවන ද ඊට පහල බැවිනි.

දැන් අපේ පූසා මහ මීයන් මරා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ නැවත බිහි විය හැකි මී ගුල් හා රෝසපාට මී පැටවුන් ගැන පුංචි බියක් හැරෙන්නට අන් කිසිම මී අවුලක් නොපෙනේ. ලෙහෙනුන් වෙනුවෙන් යමක කල යුතු බව ඇත්ත නමුත් ලෙහෙනුන්ගේ අභිප්‍රායන්, ලෙහෙනුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කියවීමක් ගන්නට බැරිය. මේ පැත්තේ ලෙහෙනුන් ගොලුවෝය. උන් වෙනුවෙන් හඬ නගන්නේ මීයන් හා මීයන් හදන කස්ටියයි.

හැමදාමත් ගෙදර බත්පත ගැන වලි දාන මද්දුම අයියා මීයන්ට සහය දෙන්නේ මීයා පීඩිතයා කියාය. තම බත් පංගුව හැරුණු විට අන් සියල්ලක්ම පීඩිතයා හා පීඩකයා යන ඇහින් දකින මද්දුම අයියා කැම්පස් ගොස් ගොම්පස් වූවෙකි. මීයන් වෙනුවෙන් සමුළු රැස් වනවිට මද්දුම අයියා ප්‍රීතියෙන් පිනා යයි. අම්මලා තාත්තලා නැති තැනක බලා අයියා "මීයාට ජය වේවා" කියා බෝඩ් දමයි. අම්මලා ඉන්න තැන්වල "කොහෙද මීයෝ ඉන්නේ. ලෙහෙනුන් ලක්ස ගානක් මරුවා මිසක්" වැනි කතාය. හරස් ප්‍රශ්න කලොත් "ලෙහෙනෙක් මීයෙක් වෙන්නේ අම්මලාගේ වරදින්. කිසිම මීයෙක් උපතින් මීයෙක් නොවේ" වැනි අපබ්‍රංශ කියයි. ලෙහෙනුන්ට දෙන යමක් මීයාටම දීපියෝ කියා ඔහු කියයි. මද්දුම අයියාට අනුව අප මී කරදරය ඉවසිය යුතු වේ. මහාමාරිය අපේ උරුමයකි. අල්මාරිය උගේ උරුමයකි. අපි ඔටුවෝය [මද්දුම අයියාට අනුව අපි කොහොමත් ඔටුවෝ ම වෙමු. සියලු කතා වල අවසාන නිගමනය එයයි].

සිද්ධිය දුරදිග ගියේ ලෙහෙනුන් මැරීමේ වරදට අපේ පූසාව සමත මණ්ඩලයට ඇන්න ගිය විටයි. පූසා මූලිකව අපේ ගෙදර වැඩිහිටි අය එකතු වී සමත මණ්ඩලයට මුහුණ දෙන්නට නියෝජිත පිරිසක් යැවුහ. සමත මණ්ඩලය මේ ගැන අවබෝධයකින් ඉන්නා නිසා ලොකු බියක් නැත. උකුස්සා ගේ බිල්ල තරමකට හෝ ලැබෙන නිසා ඌ අප පූසා කුදලා ගෙන යනු ඇතැයි සිතිය නොහේ. එහෙත් සමත මණ්ඩලයත් උකුස්සාත් ගැන අනාවැකි පල කිරීම අසීරු බැවින් මේ කතා බහ එන එක එතරම් හොඳ නැති දෙයක් බව දකින්නෙමු. මේ මල කරදරය ඉවර විය යුත්තක් මිස වසරක් පාසා කතා විය යුත්තක් නොවේ. සියල්ල අහවර කරන්නට  උකුස්සා ඉල්ලන තඩි බිල්ල දෙන්නට අපට වස්තුව නැත. අපේ වත්තේ තෙල් නැති බව උකුස්සා දනියි [තිබ්බා නම් ඌ මෙලහටත් මීයන් සමග සෙට් වී හාරා ගෙන ගොහිනි].

මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේ නොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසා කරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.  පූසා ගේ ගැන්සියේ වල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියා කුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති. ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැති මුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින් තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරි හමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවා දමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.

සමත මණ්ඩල රැස්වීම දා පූසා කරන්නේ අපූරු වැඩකි. පූසාගේ තල්ල පිරිමදින පොඩි එකා ගෙන්න ගෙන උගේ මොන්ටිසෝරියේ ක්ලාස් මේට් ලා සමග පූසා රැකීමේ මහා උද්ඝෝෂණයක් සංවිධානය කලේ පූසාමය. ඒ කිසිවෙකුත් හපන්නේ නැති බවත් වැඩේට අවශ්‍ය කළමනා සපයන බවත් ඌ පොරොන්දු වී ඇත. ලොකුම විහිළුව නම් උද්ඝෝෂණය ඇත්තේ සමත මණ්ඩලේ නොව අපේම සාලයේ බැවිනි. පොඩි එවුන්ගේ දඟ හැසිරීමෙන් විඳවන්න ඕනේ ද අපමයි. ලෙඩ වී ඉන්නා ආච්චිට හදිසියේ වැසිකිලියට යන්නට මේ කලබගෑනිය නිසා බැරිය. අම්මාට තාත්තාට වැඩට යන්න පරක්කු වේ. අනික මේක සමත මණ්ඩලයට හෝ උකුස්සා ට නොදැනේ. උහු සුපුරුදු පරිදි රැස්වීම් තැබීම හා කුදලාගෙන යාම නම් වූ තම ක්‍රියා වල යෙදෙති. සමහරවිට අපේ ගෙදර වෙන හතර විහිළු වලට පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇත.

අද රෑටත් වලත්තුවේ යන්නට පූසාට ඉඩ හසර ලැබෙන්නේ අම්මා හා තාත්තා මේ ළමා උද්ගෝෂණය ගැන මිස පූසාගේ වලත්තකම් ගැන නොහොයන බැවිනි.

සමත මණ්ඩලයට ගිය නියෝජිත පිරිසට සුබ පතන අතර මොන්ටිසෝරි මල්ලිලා ගැන දුක් වෙමු. අඩෝ ගෙරි පූසා ගෙදර මට්ටමින් බඩු පෙරලගන්නේ නැතිව තෝ අල්ලා ගන්නට දවසක් එනතුරු අප බලා සිටින බව දැනගෙන හිටු.

Saturday, February 11, 2012

ටිකෙන් ටික අනා ගන්නා ගයාන්

Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගයන ටිකෙන් ටික ගීතයේ බෞද්ධ සුබපැතුම් ගාථා භාවිතය ගැන සෑහෙන සංවාද හා විවාද ඇති වී තිබේ. පළමුවෙන්ම කියන්නට ඇත්තේ මේ ගීතය තුල භාවිතා වන ගාථා වෙනත් කළා නිර්මාණ තුල ඕනෑතරම් භාවිතා කර ඇති බවයි. මෙම අනිකුත් නිර්මාණ කල අය බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් ද වේ. බෞද්ධ සුබපැතුම් ගාථා බෞද්ධ විවාහ තුල භාවිතාවන තරම නිසා කලා නිර්මාණ කරුවන් විවාහයක සංකේතාත්මක නියෝජනයක් ලෙස මේවා යොදා ගනිති. එවැනි රූප මාධ්‍යයක බෞද්ධ ගාථාවට පසු මධු සමයේ ප්‍රේමාලිංගන ජවනිකාවට යාම වුවද [මෙතෙක් වී නැතිනම්] ලෙහෙසියෙන්ම විය හැක්කකි. ගැටලුව ඇත්තේ ගාථාවේ පූජනීයත්වය ඉක්මවා එය එදිනෙදා දිවියේ කාර්යයන්ට යොදා ගැනීමයි. [දෙවනුව මෙම ගාථාව ධර්මය පැහැදිලි කරන පූජනීයත්වයකට වඩා පසුකාලීනව එදිනෙදා දිවිය සඳහා ලියවුනක් බවටද සමහරු මත පල කරති]. එය යොදා ගෙන ඇති තරමට ගයාන් කරන ක්‍රියාව පමණක් වෙනම වරදක් ලෙස සැලකිය නොහේ.


එදිනෙදා දිවියේ දෙයක් නිර්මානයක යොදා ගැනීම වැරදි යයි කීම එතරම් නිවැරදි නොවේ. උදාහරණයකට සිරස ටෙලියක එන මේ ජවනිකාව [http://www.youtube.com/watch?v=9g1IU55k_JE&feature=player_embedded] බලන්න. ගාථාව සජ්ජායනා කර පිරිත් නූල් බැඳීම සුලභ දෙයකි. එමෙන්ම "නව පරපුරේ" කෙල්ලකට එය අමතක වීමත් එවිට මෙසේ ප්‍රතිචාර දැක්වීමත් සුලභ දෙයකි. මේ ජවනිකාව තාත්වික එකකි. එය ද අපහාසයක් කියා කෙනෙකුට කිව හැක [මා මෙය කොපිකල ගොසිප් සටහනේ එවැන්නක් කියවේ]. එමෙන්ම මේ ජවනිකාව ගාථාව බැරි "නව පරපුරේ" එවුන් උපහාසයට ලක්වන අතුල් පහරක් ලෙසද අර්ථ දැක්වීමට පිළිවන. සංකීර්ණ කලා නිර්මානයක විවිධ දෘෂ්ටි කෝණ මත මෙම ආගමික අපහාස චෝදනාව පදනම වන බවට උදාහරණයකි මෙය.


අපහාස යනු මේවා නොවේ. අපහාස අවශ්‍ය නම් දේව ධර්මය හා විද්‍යාව මිශ්‍රිත නියෝ-රිලිජන් එකක නයන හෙට්ටිආරච්චි බුදුන් වහන්සේ ඉලක්ක කරගෙන කරන ප්‍රහාරය බලන්න. රංග ඇතුළු පිරිස ඉස්ලාම ආගමට එල්ල කරන ප්‍රහාරය බලන්න. ජයමංගල ගාථ කෙලින්ම අපහාසයට ලක් කරන තථාගත කෝලම නාටකයට ඔබ මේ විරෝධය දක්වන්නේද? මෙම අවකාශයෙවත් ඒ ගැන යමක් ලියුවේ අඩුම තරමින් මා පමණි. නයන ට පිස්සු කියා, තථාගත කෝලම වැඩිය ජනප්‍රිය නැහැ කියා ඔහේ ඇස්දෙක පියා ගෙන ඉන්න අය මෙවැනි විවාදාත්මක සිද්ධියකදී නම් කෙලින්ම වීදි බසින්නට සූදානම්ය.


ඉන් ඔබ්බට ගොස් ගයාන්ගේ නිර්මාණය වෙනම සැලකුවොත්; ගයාන් විසින් අදාළ ගාථාව නිර්මාණයට කෘතිමව රිංගවා ඇති බවක් හැඟෙයි. අනික අතට එය සමග යන ප්‍රේමාලිංගනය කොහෙත්ම ඊට ගැලපෙන්නක් නොවේ. වෙනත් විදිහකින් කිව්වොත් මෙය හිතා මතාම එක්තරා ආන්දෝලනයක් ඇති කිරීම [හෝ අපහාසයක් කිරීම] යන අරමුණින් ඇතුළු කල කොටසක් කියන තර්කයේ යම් සාධාරණත්වයක් පෙනේ. දළදා ටී ෂර්ට් සිද්ධියේදී මා දුටුවේ එය අත්වැරදීමක් බවයි. එහෙත් මෙතන මේ සිද්ධිය අත්වැරදීමක් නොතේරුම් කමක් වන්නට ගයාන් තොත්ත බබෙක් නොවේ. නැවතත් කිව යුතු වන්නේ එය එක දෘෂ්ටි කෝණයක් පමණක් බවය. ගයාන් සහමුලින්ම අහිංසකයෙකු ලෙසද අපට ඇවැසි නම තර්ක කල හැක.


කෙසේ වෙතත් ගීතය හරහා බෞද්ධයින් අතර සිත් වේදනා ඇතිකර තිබේ. එය සිදු නොවිය යුත්තකි. ගාථාව බුද්ධ භාෂිතයක් ද නැද්ද යන්න අනවශ්‍ය තර්කයකි. අද එය පූජනීයව සලකන අතර එහි අව-භාවිතය [කියා සිතන කාරණය] පිරිසකට සිත් වේදනා ගෙන දී ඇත. ප්‍රකාශන නිදහස යනු අනිකාගේ සිත් වේදනා හිතා මතා ඇති කරන ව්‍යවස්ථාපිත බලයක් නොවේ. ප්‍රකාශන නිදහස අයිතියක් වන්නේ නම, ඒ ප්‍රකාශන තුල සමාජයේ කිසියම් පාර්ශ්වයකට වේදනා ගෙන නොදීමේ වගකීම ගැබ්ව ඇත. මෙහිදී ගයාන් එම වගකීම පහර හරින බව නම් පැහැදිලියි.


තවත් ප්‍රශ්නයක් වනුයේ ප්‍රකාශන නිදහස සපුරා සුරැකිය හැකිද යන්නයි. පූර්ණ ප්‍රකාශන නිදහස තුල අපහාසයට ද ඉඩ ඇත. හුදෙක් පුද්ගල රීතියක් ලෙස එය සියලු දෙනා රකිනු ඇතැයි සිතන්නට අපහසුයි. මගේ මතය නම් පූර්ණ ප්‍රකාශන නිදහසක්‌ පවත්වා ගත නොහැකි බවයි. උදාහරණයකට යුධ සමයේ සංවේදී පුවත් වාර්තාකරණය සඳහා පූර්ණ නිදහසක් නොදුනි. කිසියම් කෙනෙකුට පුද්ගලිකව වදින තරමේ අපහාස කිරීමට නිදහසක් දිය නොහැක. අනික් අතට රටක සාපරාධි අපහාස නිර්ණය වන්නේ පුද්ගලික නිර්මාණ කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් නොවේ. පොදු හා අයිහික වන එම නීතිය [ලංකාවේද එසේමය] මත පිහිටා නිර්මාණ කිරීමට ඔවුහු බැඳී සිටිති. රටේ නීතිය තුල කලාකරුවා දැක්කෙනු විනා, ඒ ඒ කලාකරුවාගේ පුද්ගලික චින්තන වපසරිය තුල රට හා එහි නීතිය දක්කන්නට ඉඩ දිය නොහැක. එතරම් නිරවද්‍ය වන්නට කලා කරුවා පරමාදර්ශී චරිතයක් නොවේ. නීතියට අනුගත වී වගකීමෙන් නිර්මාණ කල යුතු වන්නේ එබැවිනි.


[ඇතැම් අය හරියට තේරුම් නොගැනීම නිසා ඉදිරි පරිච්චේද කිහිපයක් වෙනස් කරන ලදී]
නෛතික පදනම මට නොවැටහුනද, මෙම ගීතය නීත්‍යානුකූලව වාරණය කලහොත් එහි වරදක් මට නොපෙනේ. ගීතය වාරණය කරන්න කියා මා කියනවා නොවේ. අනික් අතට ගීතය වාරණය කරන්නට කිනම් නෛතික රාමුවක් යොදා ගන්නේද යන්න පවා මට ගැටලුවකි. එහෙත් මා කියන්නේ මෙවැනි වාරණ මින් පෙර කර ඇති නිසා නීතිය එම පදනමින් වාරණය කරන්නේ නම්, මට එහි වරදක් නොපෙනෙන බවයි.

කොටින්ම ඕක වාරනය කලත් නැතත් මට ලොකු වෙනසක් නැහැ. හැබැයි මෙහි සදාචාරාත්මක වරදක් ඇති බව නම් මා දරන මතයක්.

ලංකාවේ මෙවැනි අපැහැදිලි වාරණ වලට ඉතිහාසයක් ඇත. ඉරාජ් ගේ ගීයක් හුදෙක් ආගමික ස්තෝත්‍රයක් පසුබිමින් ඇසුණු නිසා තහනම් විය. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට අපහාස වන පරිදි ලහිරු කල ගීතය [හුදෙක් විහිළුවක් බව පෙනී පෙනීත්] නිල නොවන සේ වාරණය කරන ලදී. වැදගත්ම වාරණයක් වනුයේ කතෝලික සභාවේ ඉල්ලීම මත කල ඩා වින්සි කෝඩ් වාරණයයි. මේ කිසිවක් අක්ෂරය වාරණය මෙන් තේරුම ගතහැකි නෛතික පදනමකින් කල ඒවා නොවේ [අක්ෂරය ලිංගිකත්වය මත කතා නොකළ යුත්තක් ලෙස
නිරවුල්ව වාරණය කරන ලදී]

මේ අතර
ඩා වින්සි කෝඩ් වාරණය ලංකාවේ අයිහික නොවන තත්ත්ව මත ඇති සුළු ආගමික මස් රාත්තල් සම්ප්‍රදාය මත කල වාරණයකි. ලංකාව හැර මෙය වාරණය කල අනෙක් රට අප වැනිම තත්වයක් ඇති ලෙබනනය පමණි. එම කතාව තුල ජේසු තුමන් ගැන මතු කරන අදහස් විවිධ විද්‍යාර්ථින් මෙන්ම අතීතයේ හුන් විවිධ පඬිවරුන් අඩුම තරමින් තම පුද්ගලික මට්ටමින් හෝ පිළිගෙන හුන් ඒවා වේ. මෙම කරුණු මත කල කලා නිර්මාණයක් ආගමට අපහාසයක් කියා වාරණය කරවා ගත්තේ කතෝලික සභාවයි.

මෙහි වැදගත් කරුණ වනුයේ ගයාන් ගේ ආගමද කතෝලික වීමයි. එමෙන්ම මෙම ගීතය වෙනුවෙන් පෙනී සිටින සමහරුන් කතෝලිකයන් වීමයි. ඩා වින්සි කෝඩ් වාරණයේදී බොහෝ බෞද්ධයෝ ඊට එකඟ වූහ. එහෙත් මෙහි සාධාරණ අනික් පැත්ත නොපෙනේ. මෙම ගීතය වෙනුවෙන් පෙනී සිටින කතෝලිකයන්, හෙට දින ඔවුන්ගේ ආගම සම්බන්ධ මෙවැනිම "නිදහස් ප්‍රකාශනයක්" සිදු කල විට එය ද බාර ගන්න සූදානම් විය යුතුය. "නිදහස" නතර කල යුතු වන්නේ ඔබේම නාසයේ පමණක් හැරමිට්ට වැදුනොත් නොවේ, වෙනත් ඕනෑම නාසයකට ද එය වලංගු විය යුතුවේ.



මෙම ගීතය වෙනුවෙන් සිංහල රාවය වඳුරු හමුදාව කුලප්පු වී ඇත. මෙහිදී අගය කලයුතු ක්‍රියාව කල එකම පුද්ගලයා ඕමල්පේ සෝභිත හිමියන් පමණි. සිද්ධිය රටේ නීතිය තුල විසඳා ගන්නවා විනා එය පදනම කරගෙන පාරතොටේ ජෝගි නැටීම සුදුසු නැත. රටකට නීතියක් තිබේ. එම පදනමින් මෙය නෛතිකව අභියෝගයකට ලක් කිරීම කාගේවත් විහිළුවකට හේතුවක් නොවේ. එය ඉතාම නිවැරදි පිළිවෙතයි. හැබැයි මෙය නීතිය තුල වරදක් නොවන්නේ නම් එය උපේක්ෂාවෙන් බාර ගන්නා වගකීමද ඒ හිමියන් ඇතුළු පිරිස සතු වේ. නඩුව පැරදුනොත් පාරට බහින එක නම් නොහොබියි.


හැමදාමත් වෛර පිරිමහින ඊ නිව්ස් කාලකන්නින් මෙතැනදී ඕමල්පේ හිමියන්ගෙන් වාඩුව ගන්නේ යුධ සමයේ ඔවුන්ගේ සිහින ව්‍යාපාරය වූ කොටි සංවිධානයට එරෙහිව මෙම හිමියන් ඇතුළු පිරිස කල ක්‍රියාවලටයි. කොටියා වැනසූ පසු යක්ශාවෙශයෙන් වෛරී පුවත් දමන ඊ නිව්ස් කල්ලියට Daddy සංගීත කණ්ඩායම, ගයාන් පෙරේරා හෝ සංගීතය ගැන ඇති අහවල් කෙමනක් නැත. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ද ඔවුන්ට මහින්දට එරෙහිව ඔසවන අවියක් පමණි.


කතාව මැක්කා දෙසට හැරෙන්නේ මෙන්න මේ "සුළු ජාතික අයිතිය" ගැන නහින්න හදන පිරිස නිසාවෙනි. මෙම ගීයෙන් සුළු ජාතියකට වැදුනේ නම් ඔවුන් අල්ල ගන්නේ කසයේ අනික් කෙළවරයි. අලි පැටවුන්ට වද දී පෙරහරට ක්‍රෑෂ් කෝස් කරන විට නද දෙන මේ අවිහිංසාවේ කටවල් හින්දු  කෝවිලක දෙවියෙකු නමින් දස වද විඳිමින් මියයන සතෙකු හමුවේ සුරකින්නේ එම සුළු ජාතියට සතුන් මැරීමට ඇති අයිතිය යි. සුළු ජාතික "අභිමතාර්ථ" ගැන සිතිය යුතුනම් මහා ජාතියටත් එවැනි දේ ඇති බවත් මුග්ධ ලෙස [ගයාන් කරන්නාක් මෙන්] ඒවා රිදවීම වැරදි බවත් පිළිගත යුතුය. සුළු හෝ මහා ජාතියට උඩින එක නීතියකින් සියල්ල තීන්දු වන බව පිළිගත යුතු වේ.


දීර්ඝ ලෙස කතා කලේ මෙහි අංගෝපාංග රාශියක් ඇති බැවිනි. කෙටියෙන් කිවහොත් පැහැදිලිවම කලා නිර්මානයක විය යුත්ත සිදු වී නැත. එහෙත් බෞද්ධයින් ඉල්ලන මට්ටමේ සීමා කිරීමක් කුමන පදනමක කරන්නේ ද යන්න මට නොවැටහේ. අයිතිය සමග එන වගකීම ගැන ගයාන් මීට වඩා සිතුවා නම් මෙවැන්නක් නොවනු ඇත. හුදෙක් අපහාසයට හෝ නිර්මාණය ප්‍රචලිත කිරීමට ඔහු මෙය කලේ නම්, එය දීර්ඝ කාලීනව තමන්ට කර ගන්නා අවාසියක් බව ඔහුට තේරුම යනු ඇත. නීතියට ඉඩ දීම හා ඊට අවමන් නොකිරීම කාගේත් වගකීමයි.