Monday, June 20, 2011

පිස්සු කතාවක් නොවේ

"කන්ද පටන් ගන්න තැනට එනකොට මට පෙනුනේ මේක නගින්න නම් බැහැ කියලයි. ලංකා සිතියමකින් කියනවා නම් මෙතන හරියටම නුවර හා නුවර එලිය අතර තැනක්. අපි දින දෙක තුනක දුම්රිය ගමනකින් පස්සේ මෙතනට ආවේ. මග දිගටම සොඳුරු සිරිය. ඒ ඔක්කොම පරාදයි කන්ද දැක්කම. ඇරිසෝනාවේ පින්තුරවල දැකලා තියෙන මොනොලිත් කිහිපයක් එක එක උඩ තිබ්බ වගේ.  කිහිපයක් කිව්වද කොච්චරක් ද දන්නේ නැහැ. කෙළවරක් පෙන්නේ නැහැ උඩ වළාකුල් වලින් ඔබ්බට නොපෙනී යනවා. මේ මොනොලිත් වල බඳ දිගේ විටක එළියෙන් හා වරෙක ඇතුලින් කැපු පඩි දිගේ තමයි ඉහලට යන්නේ. සමහර තැන්වල කළුගල හාරා තැනූ ගිමන් හල්.

බයෙන් බයෙන් අපි වලාකුළු පසාරු කරගෙන ඇදුනා. හිත කිරි ගැහෙන සොඳුරු බියකරු හැඟුම් අතරේ පාවෙන්න ගත්තා. ඉවරයක්‌ නැති කන්දක්. මනසේ ගැඹුරුම තැන් දක්වා විහිදුනු කිති කැවීමක්. කියන්න වචන නැහැ කියන්නේ ඇත්තටම නැති නිසා.

අන්තිමේදී මේ මහා උස කන්දේ උඩ මුදුනක් නොවේ තිබ්බේ. මහා ගල් තලාවක යටටයි අපි ආවේ. කන්ද කණුවක් වගේ ඇවිත් ගල් තලාවට සෙට් වෙනවා. ගල් තලාව මේ කණුව උඩම රැඳිලා තියේද නැත්නම් සයිඩ් එකෙන් සපෝර්ට් වෙනවද කියලා පේන්නැති තරම් මිදුම. ඒ සිතල මතක් වෙන කොට දැනුත් ඇඟ කිලිපොලා යනවා.  ගල්  තලාව විදගෙන උඩට ඇදෙන සිරස් උමගක් තුලින් පඩි පේලියක්. අපි නැගගෙන ගියා.

අපි කිව්වට කියන්න අමතක උනා. ඉස්කෝලේ සෙට් එකේ කිහිප දෙනෙක්, කැම්පස් ගජයෙක් හා ඔෆිස් එකේ බුවාලා කිහිපයක්.
 

උමග කෙළවර උනේ ගල්තලාව මත තියෙන පුංචි ටවුමක. අපි නිකම් අර "යට බිම් හරස් මග" කියන පාරේ තියෙන [බොරැල්ලේ තියෙන්නේ] පඩි පේලි වගේ තැනකින් බස් හෝල්ට් එකකට තමයි මතු උනේ. ඇත්තටම මේ අර ගල් තලාවද කියලා නිච්චියක් නැහැ. හාත්පස සිසාරා කෙළවරක් නැති කඳු ගැට. සමහර විට උඩට යන්න යන්න අර ගල් තලාව  මහා ලොකු තැනක් වෙන්න ඇති කෙළවර නොපෙනෙන. 

දියතලාව කියලා බෝඩ් ගහපු බස් එකක් සිතල හුළං අවුස්සගෙන අප පහු කරන් ගියා.
 

අපි එතනින් තේ බිලා පාරේ බස් එකකට නැග්ගේ ආපහු කොළඹ එන්න."
------------------
"මං වාඩිවෙලා හිටියේ ඇන්ඩීස් මුදුනක. කෙලින්ම පල්ලෙහාට ගහක් කොලක් නැති වැලි තලාව. ඈතින් කිලෝමීටර ගණනක පහලින් පුංචි නිල් පටියක් වගේ මහා මුහුද. මෙච්චර උඩට වැලි කොහෙන්ද?
 

අපි විතරක් නොවෙයි මෙන්න හෙන සෙට් එකක් ඇවිත්. ඔක්කොම ඉස්සරහට නොයා දුර තියෙන මුහුද දිහා බලන් ඉන්නවා. මගේ සංචාරක හිතට ඉන්න බැහැ මෙහෙම. මං ගියා ඉස්සරහට. කට්ටිය කිව්වා එපා එපා කියලා. මුන්ට පිස්සු. මුහුද හත් ගව්වක් තියන් ස්විමිං සූට් එකට බැහැලද කොහෙද.
 

එක පාරටම ඈත තියෙන නිල් පටිය මහත් වෙන්න ගත්ත. ටිකකින් මහා හඬකුත් එන්න ගත්ත. මට හිතා ගන්න බැරුව තක්බීර් වෙලා ඉන්න අතරේ පැසිෆික් සාගරෙන් එන මහා ජල කඳ වැලි තලාව කලම්බා ගෙන කිලෝ මීටර ගානක් උස ඇන්ඩීස් බෑවුම දිගේ ඇවිත් මාවත් නාව ගෙන රැල්ල බිඳිලා ආපහු ගියා. පුරුවේ වාසනාවට එදා බේරුනේ.
 

සුනාමි කියන වචනේ මට එදා මතක් උනේ නැහැ. ඇත්තටම මේක සුනාමියකුත් නොවේ. මේ ඒ පැත්තේ රැල්ල ගහන හැටිලු."
-------------------
"ඔය කෑගල්ල මතුගම හොරණ කළුතර නගර අතර මැද්දේ තියෙන මහා කැලෑවකට මා නිතර යනවා. කළුතර පැත්තෙන් පටන් ගත්තොත් දවස් ගානක් නගින්න පුළුවන් කන්දක් තියෙන්නේ. මේකේ විවිධ ඇඩ්වෙන්චර් කරලා තියෙනෙවා. මෙතන තියෙනවා කඳු මුදුනක් සිරිපාදේ වගේ කිහිප ගුණයක් උස. එතෙන්ට මුළු ලංකාවම පේනවලු. ඒත් අත පය වෙවුලා සිහි මුර්ජා නොවී ඕක බලන්න බැරිලු.
 

කීප දොහක් මෙහෙ ගියත් මට බැරි උනා මෙතෙන්ට නගින්න. එක දවසක් හිත හයිය අරන් මං ගියා. මං එදා දැකපු දේ කියන්න මට වචන නැහැ. විනාඩියක පමණ අනන්ත ආශ්වාදයකින් පස්සේ මාව වැටෙනවා වගේ මතකයි. සිහිය අසිහිය අතරේ මගේ සගයා මාව වත්තම් කර ගන්න හැටි දැක්ක."
-------------------
"මං වැඩ කලේ පාසලක පාට් ටයිම් මාර්ගෝපදේෂකයෙකු හැටියට. අපි ගියේ ඇන්ටික් මාලිගාවක් බලන්න.  ළමයි ටිකත් එක්ක ඇතුලට ගිහින් අපි මුලින්ම ගිය බේස්මන්ට් එහෙමත් නැත්නම් පොලොව යට තට්ටුව බලන්න.
 

පඩි බහින තැනම තිබ්බ ඔරලෝසුවක්. මොකද්දෝ කටු සුත්තරයකින් වෙලාව හා දිනය ඔක්කොම සටහන් වෙන. මාලිගාවේ උපදේශක කෙළී මේ ඔරලෝසුව ගැන කිව්වා. වෙලාව දුවන්නේ නැහැලු ඔන්න ඔය තියෙන විදිහටම නැවතිලාලු.
 

මං හොඳට බැලුවා.  අඩේ අද දවසනේ තියෙන්නේ. ඒක සෙට් උනේ කොහොමද? මට මගේ ඔරලෝසුව බැලුනා. මගේ ඔරලෝසුවේ තප්පර කට්ට හෙමි හෙමින් ඇන්ටික් ඔරලෝසුවේ සෙට් වෙච්ච තැනට එනවා. මිනිත්තු කට්ට දැනටම සෙට්. පැය කට්ටත් සෙට්. මේ ඇන්ටික් ඔරලෝසුවේ නතර වෙච්ච දිනය හා වෙලාව තමයි මේ එළඹෙන්නේ. මොකක්??
 

ඒ කියන්නේ?? මේක ටයිමර් එකක් ද? අහවල් දෙයකට හදපු ටයිමර් එකක්ද?
 

තප්පර කට්ට සෙට් උනා. දඩාස් ගාල දොරවල් ටික වැහිලා ගියෙත් විදුලි බලය ඇන හිට තිත්ත පල් කලුවරකින් අප වසා ගත්තෙත් එකම වෙලාවේ..."
-------------------
"කැම්පස් එකේ පේමන්ට් එකක් රෙපෙයාර් කරන බුවාලා ඇවිත් දැන් ටික දවසක්. මං පොරවල් එක්ක ෆිට් උනේ නිකම් කුතුහලයට. යාලු කමට තමයි එකෙක් අර පොලොව තලන ගිඩි ගිඩි මැෂිම දුන්නේ. මං ඒක අරගෙන පේමන්ට් එකේ පස් තට්ටුව තලාගෙන ගියා. මේවා මාර ආතල් වැඩ.
 

වයර් කොනක් බිම වැටිලා තියෙනවා දුටුවේ මට කරන්ට් වැදෙන්න තප්පරෙකට කලින්. මාව විසි වුනා. නිකම් නොවෙයි අහසට. විසි වෙලා මං පාවෙන්න ගත්ත. මං වගේම පොරක් බිම වැටිලා හිටියා. මගේ අලුත් යාළුවන් වූ පේමන්ට් හදන සෙට් ඒක ඌව වටකරගෙන.
 

පවන් රොදක පිහාටුවක සැහැල්ලුව මට දැනුනා. ඔන්න ඔහේ ඕන "එකක්" ප්‍රීති වෙසක් කියන පරම සන්තුට්ටියෙන් හිත කියන තඩි පෙනහල්ලේ කවදාවත් නොපිරුණු ප්‍රත්‍යන්ත ගර්ත පවා පිරි ගියා. යට ඉන්න එවුන් මා ගැන දුක් වෙන හැටි, මා මැරිලා කියලා අර මං වගේ අනික් බුවා ව රෙද්දකින් වහන හැටි මා දුටුවා. දුකක් හිතුනෙත් නැහැ. නිරාමිස ප්‍රීතියකින් පිරුණු හිතකට දුකක් දැනෙන්නේ කොහොමද?"
-------------------
 

මේ වගේ කතා තව තියෙනවා ගෝනි ගණන්...

ඔය මෙච්චර වෙලා කියෙව්වේ පිස්සු කතා නොවේ. මේක ලියන්න දිරි ලැබුන නලිනි ලියපු මා බාල කාලේ වගේ නොන්සේන්ස් ජෙන්රියේ කතාත් නොවේ.
 

මේ මා බොහෝ දිනවල රැයේ දකින සිහින.
 

මේ ගැන ලියන්න ගියොත් වෙනම බ්ලොගක් ලියන්න පුළුවන්. හැබැයි මං කවදාවත් මෙහෙම දෙයක් පබ්ලිෂ් කරන්න හිතුවේ නැහැ. මං හිතුවේ මේක පට්ට ප්‍රයිවෙට් මැටර් එකක් කියලා. ඒත් තව ජිවත් වෙන්න තියෙන කාලය බොහෝ විට හිටිය කාලය තරම් නොවන නිසාත්, මේ වගේ සංවාදයකට සුදුසු පිරිසක් හා වටා පිටාවක් තියෙන නිසාත් මේ "කාටවත් නොකියූ" කතාව කියන්න මට හිතුනා. සංවාදයට මිස නිර්මාණ කරණයට නොවේ මේක ලිව්වේ. ඒකයි මගේ කෙටිකථා බ්ලොග් එකේ නොදා මෙතන දැම්මේ.
 

මට තියෙන්නේ මාර ලෙඩක්. සාමාන්‍ය විදිහට පැය හය හතක් නිදා ගත්ත හැම රැයකම හීන තුන හතරක් පේනවා. අඩු ගානේ ඒ තරම මතක හිටිනවා. සියයට අනුවක් සංචාරක සිහින. හැබැයි මාර වෙරයටි එකක් තියෙන්නේ.
 

උදාහරණයක් හැටියට ඒ කාලේ මා වැඩිය ගණන් ගත්තේ නැති භාතිය සන්තුෂ් දෙන්න හදපු පට්ට ම සින්දුවක් ගියා හීනෙන් ට්‍රිප් එකක් යනකොට වාහනේ. වින්දනය උපරිමයි ඇහැරෙන කොට ඒක අමතක වෙලා. පොරවල් තවම නැහැ ඒ සින්දුව දැම්මේ.
 

මං එකම ලස්සන හීනෙ නැවත නැවත දැක තියෙනවා. ඒ වගේම ට්‍රයි කරලා බලලත් තියෙනවා. හීනෙන් චිත්‍රපටියක් [කතාව තිර රචනය අධ්‍යක්ෂණය ඔක්කොම මගේ හිත ඇතුලේ] බැලුවා. නවකතාවක වස්තු විෂය දුටුවා [ලිව්වේ නම් නැහැ]. පහත පද පේලිය ලිව්වේ පාඩම් කර කර ඉඳලා එතනම නින්ද ගිය දවසක පාන්දර තුන විතර වෙද්දී හීනෙන් තොල් මැතිරූ ගීයකින්. නැගිට්ට ගමන හුස්මට ලිව්වා. නැත්නම් ඒකත් මට නැතිවෙනවා.
    "ඉරගල කන්දෙන්  ඉරමල වැටිලා
    ගොම්මන් කළුවර මිදුලට ඇවිදින්
    රුක් ඇත්තන මල් සුවඳ ගෙනාවට
    නුඹේ සුවඳ මට ඊට වැඩියි..."


මට කියලා "බූල් බල්ලෙක්" නොහිටි මේ කාලේ ඔව්ව ඉතින් හීනෙන් හිතුනොත් තමයි. හිතට ආපු පෙම්බර සිතුවිල්ල මුළුමනින් ම ගීතයක් කළා. මෙන්න මං ඒක වෙන තැනක පල කළා සම්පුර්නයෙන් ම.


මට පිස්සුද? ඔහොම නෙවෙයි මට හිතුනේ. මට ලෙඩක් ද? අම්මා සාත්තර අහන වෙලාවක [මං ගැන ඔය සාත්තර අහන්න එපා කියලා කියන්න ගටක් නොතිබි පාසල් වයසේදී] ඔය කතාව ඇහුවම කිව්වා මට දේව වරමක් ලැබිල තියෙනවා කියලා සිහින දකින්න. මං ඉතින් පොඩ්ඩක් "විජ්ජා සම්පන්න" ව හිතුවම මට හිතුනේ මොලේ සිග්නල් ජෙනරටරේ ඕෆ් වෙන්නැති කමක් වගේ ආබාධයක් දෝ කියලා. මං සැක කළා බ්‍රේන් ටියුමර් කියන ඇඟ වෙවුලා යන රාක්ෂයා ව. කැම්පස් හෙල්ත් සෙන්ටරේ ඩොකා ගෙන් ඇහුවම පොර හිනා වෙලා කිව්වා එහෙම එකක් තියෙනවා නම් මිට වඩා හොඳ ක්‍රමයකට මට තේරෙයි කියලා. අහලා දශක එකහමාරක් ගියා, ඒත් එහෙම නොතේරුන නිසා අඩු ගානේ මූ හරී හිත හොඳ රාක්ෂයෙක් නේ කියලයි මං හිත හදා ගෙන ඉන්නේ.

හීන ගැන විවිධ මත තියේ. සමහරු කියන්නේ මට හීනෙන් සිද්ධ උන වැටෙන බියවන සිද්ධි වෙන්නේ අපේ ඇස්ට්‍රල් බොඩිය සිරුරෙන් එලියට ගිහින් ඇතුළු වෙන කොට ලු. මට ඉතින් ඔය වගේ කරුණු රහිත විශ්වාස ගැන විශ්වාසයක් නැහැනේ. එතකොට තව කියන්නේ නින්දේ ස්ටේජ් අතර මාරුවෙන කොට [වාහනේ ගියර් වගේ] ඔහොම වෙනවා කියලා.

අපි රෑට හීන බර ගානක් දකින නමුත් මතකයේ සැකැස්ම අනුව ලු එව්වා මතක හිටින්නේ. මගේ මතකය පින්තුර ගොඩක්. ඒක සමහර විට හරී ඇති. බාහිර සංවේදන ඉන්ද්‍රිය වල සම්බන්ධතාවයක් නැති නිසා හීනයක් බලන්න යන්නේ තප්පර කිහිපයයි කියන්නේ. හයි ස්පීඩ් ඩේටා ෆ්ලෝ එකක්. නෝ පෙරිෆරල් බොටල් නෙක්ස් ලු.

මෙව්වා ඇනලයිස් කරන්න ගියානම් හීන විශ්ලේෂකයෝ කොර වෙනවා. අනේ හැබැයි මගේ සත්‍ය ජිවිතයේ මේ සිහින වලට සම්බන්ධ මොකුත් වෙලා නැහැ. මේවා අහිංසක "සිහින" විතරයි. සැබෑ වෙන්න බැරි.

මොකා මොනවා කිව්වත් මේක මාර ෆන් වැඩක්. සිහින වල වින්දනය සැබෑව වගේ සිය දහස් ගුණයක්. මං හිතන්නේ මොලේ තියෙන සමහර නියුරෝන උද්දීපනය කරන්න ඇස කන නාසය වගේ පෙරිෆරල් වලින් බැහැ. හිතේම පහල වන මේ හීන හිත පතුලටම වදිනවද කොහෙද?

මං මේ හීන වලට මාර ආදරෙයි. සමහර විට මගේ ලොකුම විනෝදාංශය මේක වෙන්නැති. මේ වචන වලින් ඔබ දැක්කට මට දැනෙන හැඟීම් මිට වඩා හරී වෙනස්. ඒත් මට "කියන්න වචන නැහැ". හරී දුකයි ජිවිතේ බෙදා ගන්න මගේ හිත ලඟම ඉන්න අනික් හිත එක්කවත් මේක බෙදා ගන්න බැරි එක ගැන. 

මට නම් හිතෙන්නේ සාත්තර ඇන්ටි හරී. මේක නම් දේව වරමක් තමයි.


21 comments:

  1. හික් හික් හික්.. මාකේස් නැත්තං කුන්දේරා කියෙවුවා වගේ දැනුනා.. මේවත් එක්තරා ආකාරයක ඉන්ද්‍රජාලික යථාර්තය තමා නේද.. මටත් ඔහොම විකාර හීන පේනවා, හැබැයි නැගිට්ටම ඔයාට තරම්වත් මතක නෑ.. :(

    ReplyDelete
  2. නියමයි! මමත් ගොඩක් මගේ කතා ලියන්නේ මගේ හීන මුල් කරගෙන. ඉංග්‍රීසියෙන් නම් තමයි ලියන්නේ. බලන්නකො මගෙ ලින්ක් එක ක්ලික් කරලා!

    අපි ඔක්කොටම පිස්සු බං. ඒක තමයි ජීවිතේ ආතල් එක. ;)

    ReplyDelete
  3. සිහින ගැන මෙසේ ලිවීමට පටන් ගැන්ම හොඳ අදහසක් ලෙසයි මට සිතෙන්නේ. ඔබට තරම්ම නොතිබුනත් (සමහර විට එහෙමම කියන්නත් බැහැ ) මටත් ඔය 'රෝගය' තරමකට පිහිටලා තිබෙනවා. අර ඇන්ඩීස් හීනයේ රළ පහර ගැන කියවන විටම මට මතක් වුනේ මා දැක ඇති එවන් හීන. සමහර විට හැමෝටම විශේෂ හීන පෙනෙනවා ඇති එහෙත් නින්දෙන් පසු මතක හිටින්නේ ඉන් බොහෝම ටිකයි. කාට උනත් අමතක වන හීන ගණන මතක ඇති ප්‍රමාණයට වඩා බොහෝ වැඩි විය යුතුයි.

    ඔබ කියූ දේ සමඟ මට ඇති සමානතා කිහිපයක්.
    1) එකම සිහින (Theme) නිතර පෙනීම.
    2) ඉතා විචිත්‍ර වටපිටාව (panoramic views with adventure)
    3) සුනාමි

    සමහර අසමානතා
    1) කාලීන නිව්ස් සහ සමහර ලෝක දේශපාලන සිදුවීම් (මින් සමහරක් සැබෑ වී ඇත! සිය ගණනක් සිහින අතර එක දෙකක් වත් සැබෑ නොවුනොත් තමා ඊටත් වඩා පුදුම!)

    2) සිහිනයේදී එය සිහිනයක් බව හොඳින් දැන සිටීම සහ සිහිනය කැමති පරිදි හැසිරවීමට හැකි වීම. (කරදරයක් වුනොත්, රිවයින්ඩ් කර නිව් ගේම් කල හැකියි :-) )

    3) සැබෑ ජීවිතයේ සමහර සිදුවීම් ඇති වන විට හෝ සමහර ප්‍රදේශ/ස්ථාන දකින විට අමතකව ගොස් තිබූ සමහර සිහින නැවත මතක් වීම.

    4) සාමාන්‍ය ජීවිතයේ සමහර සිදුවීම් (කලාතුරකින්) නොසිතූ ලෙස සිහිනයකට සම්බන්ධ වීම. සිහිනයක් සැබෑ වනවාම නොවේ නමුත් යම් සම්භන්ධයක් ඇතිවීම. උදා : යම් කෙනෙක් සිහිනයෙන් දුටු පසු පසුදින ඒ පුද්ගලයා ගැන ආරන්චියක් ලැබීම වැනි. මට සිතෙන්නේ මෙය බොහෝ දෙනෙකුට පොදුයි. සම්භාවිතාව මඟින් පැහැදිලි කල හැකියි.

    ReplyDelete
  4. මෙන්න තවත් ''සිහින කුමරෙක්'' ..මටත් ඉස්සර හරියට හිනා පේනවා. දැනුත් පේනවා. විශේෂයෙන් නිදන්න පෙර බලපු හරි කියවපු හරි දේකට ගැවිලා.

    ReplyDelete
  5. Fantasy ය මම තරමක් දුරට අකමැති මාතෘකාවක්.මේක නම් එහෙම එකක් කියලා මට හිතුනෙ නැහැ.

    මේක, නලිනි ගෙ පොස්ට් එක මාව අමුතු ලෝකෙකට අරගන ගියා....

    ඇත්තටම අපි සැබෑ ලෝකය කියන්නෙ අපි ජීවත් වෙන භෞතික ලෝකයටමද එහෙම නැත්නම් ඔබ කියන මේ සිහින වලටද සැක හිතෙන තරම් මේවා අපිට සමීපයි.

    (ඊයෙ පෙරෙදා එක දිගටම online ඉන්නකොට මට හිතුනා මොනව හරි පෙරලියක් තමයි කියලා)

    ReplyDelete
  6. සුජීව, එක ජාතියෙ "ලෙඩ" තියෙන කට්ටිය හමු වෙන එක කොච්චර ප්‍රීතියක්ද:D:D

    මමත් සිහින කප්පිත්තෙක්.

    අවාසනාවකට ඔවැනි දේවල් කතා කරන්නට තරමට හිතවත් වෙන බොහෝ දෙනෙක් වැඩිය සිහින නොදකින අය. (ටිකක් කතා කරලා බැලුවහම, අපි විතර නොනිදියන අය. :D )

    අර සිහිනවල ගියර් කතාව තමයි මටත් මගෙ සිහිනවලට හිතා ගත හැකි එකම පැහැදිලි කිරීම. REM නින්දෙදි තමයි අපි සිහින දකින්නෙ. REM නින්ද ඇති වෙන වාර ගණන අපි නිදියන පැය ගණන අනුව, එන්න එන්න වැඩි වෙනවා. (ඒක තමයි අඩුවෙන් නිදියන, නින්ද කැඩෙන කරුමක්කාරයින්ට අපිට විතර හීන නොපෙනෙන්නෙ. හූ හූ නේද?) සාමාන්‍යයෙන් පැයකට වරක් විතර ඇති වෙන නින්දක් මේක.

    මටත් ඔහොම එකම සිහිනය නැවත නැවත පෙනීම තියෙනවා- පොඩි කාලෙ සිට මේ දක්වා එහෙම පෙනෙන සිහින තියෙනවා. ඒ වගේම, කලින් දැක්ක හීනෙක "ඉතිරි කොටස" පසු දිනයෙක පෙනෙන අවස්ථාත් එමටයි. සමහර විට වෙනත් කථාවක් අර කලින් දුටු සිද්ධියට සම්බන්ධකමක් ඇතිව පෙනෙනවා.

    ඇයි හීනෙ ඇතුළෙ හීන පෙනෙන එක? :D මම අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑ. මම හිතන්නෙ ඕගොල්ලොත් එහෙම දැකලා ඇති.

    හීනෙන් විවිධ "තියරි" පෙනිලා නැද්ද? :D මට හොඳටම මතක හිටිය එහෙම තියරියක් තමයි මේ: මම ඒක රෑ මැද කළුවරේම ලියලා තිබ්බ නිසයි මතක හිටියෙ. මගේ රාජකාරිවලදි භාවිතා කරන උපකරණවල විවිධ ආකාරයේ නළ වර්ග තියෙනවා. ඇතැම් නළ වර්ග පහසුවෙන් එහා මෙහා නැවිය හැකි පරිදි සකස් කෙරුණු ඒවා. (ඒ හින්දම ඒවට ආධාරක අවශ්‍යයි එක විදිහකට රඳවා තියන්නට.) තවත් නළ සවිමත් සෘජු නළ. ඉතින් මගෙ හීනෙදි, ලෑල්ලක රූප සටහනක් එහෙම ඇඳලා පැහැදිලි කරනවා, මෙහෙම නළයක්, යම් කිසි ස්ථානයකට යොමු කළ යුතුනම්, ඒක නිකම්ම එතනට විසි කර කර ඉන්නවට වඩා පහසු ක්‍රමයක්- ඒ තමයි අවශ්‍ය ස්ථානයට යොමු කළ, ඊට වඩා විශාල, සවිමත් සෘජු නළයක් තුළින් යැවීම. ඊට පස්සෙ හීනෙන්ම තව පැහැදිලි කරනවා, අන්න ඒ වගේ, යම් කිසි තැනකට යා යුතුනම්/ විභාගයක් සමත් විය යුතුනම්, නිකම් ට්‍රයි කර කර ඉන්නවට වඩා, කලින් ඒ මග ගිය, වඩා අත්දැකීම් සහිත පළපුරුදු කෙනෙක්ගෙ මගපෙන්වීම යටතෙ එය කිරීම පහසුය කියලා. :D
    ඔහොම එව්වා මම නිකම්නම් විහිළුවකටවත් හිතන්නෙ නෑ! හීනෙන්ම මිසක.

    ReplyDelete
  7. @බුරෝ;
    නැගිට්ටට පස්සේ නින්දත් නොනින්දත් අතර ට්වයිලයිට් සෝන් එකක ටිකක් ඉන්න තරම් ඔබ වාසනාවන්ත නම් මතක හිටියි. මේ දවස්වල නම් මට ඇහෙරෙන මොහොතේම බරපතල වැඩ සහිත දඬුවමක් සෙට් කොරල ඉන්නේ, පුංචි පෝරිසාදිය. දන හීන මතක හිටීම අඩුවෙලා.

    @ප්‍රගීත්;
    ෆිලොසොෆි, කෙටි කතා, කවි බුදු අම්මෝ මෙව්වා අබින් වගේ ඇඩික්ටිව්.
    ටිකක් බැලුවා ඉඩ ලැබෙන හැටියට තව බලන්නම්.
    ඔබේ ඉන්ග්රිසි සටහන් වලට කියවන්නන් ඉන්නවද? මා දන්නවා එය අවශ්‍ය සාධකයක් නොවේ ලියන්නන් ට. මගෙ බ්ලොග් එකේ ආදර්ශ පාටය බලන්නකෝ. හැබැයි මේ බ්ලොග් එක මං ඉංග්‍රීසියෙන් ලියුවා අවුරුදු ගණනක. කියවන්න හිටියේ මගෙ යාළුවන් විතරයි. නමුත් සිංහල බ්ලොග් නම් එහෙම නැහැ.
    මං දැන් මේක දෙබසින් ම ලියනවා. මේක විතරක් නොවේ මගෙ ඔක්කොම බ්ලොග් [කවි ඇරෙන්න. මට ඉංග්‍රීසි කවි ලියන්න තේරෙන්නේ නැහැනේ].

    @අශෝක;
    ඔව් ඔබේ අත්දැකීම් එක්ක මාත් එකඟයි. ඔබ කියූ අසමානතා ගැන කතා කලොත්.
    1. මටත් වෙලා තියෙනවා. ඒත් බොහොම අඩුවෙන් හැබෑ වෙන්නේ. මා හැබෑවෙන් දුරස් මනුස්සයෙක් කියලද ඒකෙන් කියවෙන්නේ?
    2. ඉඳල හිටලා ඕල්ටර් කරලා තියෙනවා. ඒත් ගොඩක් හීන වලදී අපි හිතන්නේ හැබෑවක් කියලා. පොඩිත්තිය ඉපදිලා ලෙඩ වෙන්න එහෙම ගත්තම තමයි මගෙ ලොකුම බයවල් ටික හීන වලින් මතු උනේ. එහෙම දරා ගන්න බැරි හීනයක් දැක්කොත් එ හීනෙ ඇතුලේ මං ට්‍රයි කරනවා ඒක හීනයක් කරලා ශේප් වෙන්න. එ සටන හිතට වෙහෙසකරයි. අවදි වන්නේ සතුටින් [ඇයි ඒක හීනයක් නේ]එහෙත් මහන්සියෙන්.
    3. සැබෑ ජිවිතේ වෙන දේවල් තමයි බොහෝ සිහින වල මුල්.
    4. ඔව්. සිහින පේන තරමට ඕක වෙන්න පුළුවන්.

    @බින්දී;
    ''සිහින කුමරෙක්".... දෙවෙනි වචනය ගැන බොහෝ දෙනෙක් එකඟ නොවීමට ඉඩ ඇත. :)
    නෙලුම් විලේ හොඳ හීනයක් ලියන්නකෝ දවසක.

    ReplyDelete
  8. @ලකී;
    "ඉමජිනේෂන් - දැට් ඉස් යුවර් ක්රියේෂන්" කියලා පඬිවරයෙක් කියලා තියෙනවා අහලා නැද්ද? :)

    ෆැන්ටසි ෆැන්ටසි ලෙසට සුන්දරයි අහිංසකයි. ෆැන්ටසි තුලින් තෙල බෙදීම නින්දිතයි හිරිකිතයි අජුවයි. මං ඔබට නොවේ කිව්වේ. නමුත් අපි වෙන තැනක කල හඳයා ගැන සංවාදයට මේක වලංගුයි මගෙ හිතේ.

    @නලිනි;
    ඒක ජාතියේ පිස්සෝ එක බ්ලොග් වල වසති.
    [ඔය වසති කියන කොටස වාසය කරති කියලත් හිතන්න පුළුවන් නේ]

    ස්තුතියි පැහැදිලි කිරීමට. හැබැයි මගෙ මුළු කතාවම මෙතන නැහැ. විද්‍යාත්මක උනන්දුවක් ඇති [ඔබ කෙලින්ම සම්බන්ධ කියා මා හිතන] කරුණු අනුව මට මාර ප්‍රශ්න තියෙනවා. මට නිකම් බස් එකේ ඉඳගෙන නින්ද යන්න ආවොත් ඒක අවස්තාවක් එනවා ට්වයිලයිට් වගේ. ඒ වෙලාවේ හැබෑ ලෝකේ වෙන සියල්ල පෙනෙන්ද්දී මා හිනයකුත් දකිනවා. පොඩ්ඩි හින්දා හරියට නිදි මැරුවා ඊට පස්සේ එක්සෑම් වලට. ස්ලීපින් ඩිසෝඩර් දෝ මන්දා.

    දැන් මා අයිති වන්නේ ඔබ කියූ අසරණ පව්කාර ලයිස්තුවටයි. හීන ටිකින් ටික ඈත් වෙනවා මගෙන්. "thaaththaa draw butterfly..." වගේ භයන්කාර ඝර්ජනාවකින් ඇහැරෙන මට එලෝ මෙලෝ නැතුව බර වැඩ කරන්න වෙනවා එ මොහොතේම [සමනලයෙක් ස්ට්‍රික්ට් විදිහකට ඇඳීම හා චුට්ටක් එහෙ මෙහෙ උනොත් දැඩි කඳුළු ප්‍රහාරයකට ලක් වීමට සිදු වීම ලෙහෙසි වැඩක් නොවේ. සමනල්ලු විතරකුත් නෙවෙයි නේ]. ඉතින් අනේ අර ලස්සන හීන මතක හිටින්නේ අඩුවෙන්.

    මගෙ හීන මට දීපියෝ....

    ඔව් මං මතු සම්බන්ධයි හීන බලලා තියෙනවා. හැබැයි හීනෙන් හීන බලලා නැහැ. තියරි කියලා මා දකින්නේ මෙතෙක් හෙළි නොවූ ලොකු තියරි. ඇහැරෙන කොට මැකිලා යනවනේ, නැත්නම් අද මං මෙතන නොවේ ඉන්නේ.

    හිත ගැන ස්ටඩි කරන්න කැමතියි. මගෙ ඉගෙන ගන්න පැත්තට මේක සමීපයි. අපි මේ දවස්වල ඊ ඊ ජි වලින් හිත කියවන ගැජමැටික් එකක් ගෙන්න ගත්ත කැම්පස් එකට. ඔයා කැමති නම් විස්තර එවන්නම්. 80000 ක් විතර උනේ. ඩිවලොප්මන්ට් කිට් එකත් එක්කම.

    ReplyDelete
  9. අශෝක කිව්වා කරන්ට් එෆෙයා හීන ගැන. මෙන්න මගෙන් තව එකක්.

    මේ හීනෙට කලින් මා කියෙව්වා මෑතදී උන ජපන් සුනාමියේ ගේ දොර ඇතුළු අබලි ද්‍රව්‍ය ඇමරිකාවට හා හවායි වලට තව අවුරුදු කිහිපයකින් ගොඩ ගහන බව. මේක මහා දැවැන්ත කුණු ගොඩක්.

    ඔන්න ඉතින් හීන ලෝකෙට. එදා අපි ගියේ නෑ ගෙදරක. කළුතර වාද්දුව හරියේ තිබ්බේ. මේ ගෙදරට යනකොට මුහුද අයිනෙන් යන්න වෙනවා. ලස්සනම ගමක. අම්මෝ පටේ පට්ට. මේ මුහුද අයිනෙන් යන තැන ටිකක් උසයි. රූමස්සල වගේ [මං හැබෑ ජීවිතෙත්, මුහුද ආශ්‍රිත කඳු වලට ආසයි]. ගියේ මමයි මාමා කෙනෙකුයි, මල්ලිලා සෙට් එකයි ඔන්න ඔය වගේ පිරිසක්.

    අර මුහුද ලඟින් යද්දී ඈත ක්ෂිතිජයෙන් යම්කිසි වස්තුවක් මතු උනා. පාවෙලා ආපු මෙය ගෙයක්. මෙන්න දැන් ඒක පස්සේ ඒක ගෙවල් පාවෙලා එන්න ගත්තා. ඔක්කොම ජපන් ස්ටයිල් ගෙවල්. එක එක පාවී ඇවිත් වෙරළේ සෙට් වෙනවා. හැබැයි ජොලි වැඩේ තමයි මේ එක ගෙයක් වත හිරිලා වත් නැහැ. නිකම් චොකලට් ස්ලැබ් කඩනවා වගේ මේ ගෙයි ගෙවත්තයි එකට එන්නේ.

    ජොලිම ජොලි වැඩේ එක වත්තක හරකෙක් හිටියා තණකොළ කකා.

    මේක පුංචි හීන ඇඩ් එකක් විතරයි. ඒ ගෙවල් බලාගෙන අර නෑ ගෙදර ගියා මිසක් ආයිත් ඒක කතාවේ මතු වුනේ නැහැ.

    ඔන්න කරන්ට් එෆෙයා හීනයක්.

    ReplyDelete
  10. Sujeewa, I am glad that you have done the ground work to discuss this very private matter of "dreams". I too am an avid dreamer :)

    ඔබට දැන් පෙනෙනව ඇති ඔබ වගෙ තව ගොඩක් අය ඉන්නව කියල. ඔන්න මමත් ඔය ලෙඩේම තියන කෙනෙක්. හැබැයි අර නාලිනී චන්දිමා කිව්ව වගෙ මම ගොඩක් නිදියන කෙනෙක් නම් නොවෙයි. ඒත් නාලිනි කිව්ව අනෙක් හැම ලක්ෂනයක්ම මගේ හීන වලත් තියෙනව. ඔබ කිව්ව බොහෝ දෙවලුත් මගේ හීනවල තියෙනව.

    මම ජීවිතේ අත්දැකල තියෙන තීව්‍රම හැඟීම් දැනිල තියෙන්න හීනවලින් විතරයි. දුක, භීතිය, ආදරය, හා තව නම් කරන්න බැරි (ඒවට නම් නැතුව ඇති) තීව්‍ර හැඟීම් ඇතිවන හීනවල තියෙන දේවල්ම හැබෑ ජීවිත්යයෙ ඇත්තටම උනහම සමහර විට මට ගානක් වත් නැහැ. ඒකත් හරි අපූරු වැඩක්.

    මම දන්න බොහෝ දෙනා හීනවලට බයයි. ඒ හින්ද හීන ගැන වැඩිය කතාකරන්නෙ නැහැ. එහෙම නැත්නම් මම හිතනව තවත් බොහෝ අය හීන ගැන මේ වගේ දේවල්ම කියයි කියල.

    හීන ගැන කතා කරනකොට මතක්වෙන හොලිවුඩ් චිත්‍රපට දෙකක් තියෙනව. එකක් තමයි ලුසිඩ් ඩ්‍රීම් (http://en.wikipedia.org/wiki/Lucid_dream) සංකල්පය ගැන කියවෙන වැනිල ස්කයි (Vanilla Sky) අනෙක මෙමෙන්ටෝ (memento). සමහර අවස්තාවලදි හීනයක් දකින අතරමදි ඇහැරුනොත්, කොච්චර මතක තියාගන්න උත්සාහ කලත් අර memento හි ප්‍රධාන චරිතයට අවදියෙන් ඉඳිද්දි වෙන සිද්ධි වලට වෙනව වගේ හීනයේ සිද්ධි පිලිබඳ මතකය විනාඩි කිහිපයක් ඇතුලත දියවෙලා යනව.

    මතක තියාගන්න තියෙන එකම ක්‍රමය කොලයක සටහන් කර ගැනීම විතරයි. සමහර වෙලාවට ඒකත් හරියන්නෙ නැහැ. කොලයක පෑනක් හොයනකොට අමතක වෙලා ඉවරයි.

    හැබැයි මෙතන අදහස් දක්වපු කට්ටිය නොකියපු එක වැදගත් කරුනක් තියෙනව. ඒක මේ හීන දකින්නන්ගෙ සංගමයෙ අනික් අයටත් පොදු දෙයක්ද දන්නෙ නැහැ. මගේ හීන බොහොමයක් සුජීවගෙ ඒව වගේ. නමුත් ඔය සුජීව කියපු විදිහට ලස්සනට පිලිවෙලට පේන්නෙ ඉතාම කලාතුරකින්. ඉතාම විකාර අභව්‍ය sequence එකක් හිටිගමන් පටන් අරන් අර ලස්සනට දැකපු හීනය සම්පූරනයෙන්ම "අල" වෙලා යනව. ඒ දකින දේවල් ලියන්නත් බැරි තරම් අභව්‍යයි ("අසභ්‍ය" කියල නෙමෙයි කිව්වෙ හරිද!) කියන්න පුලුවන් විදිහේ උදාහරණයක් ගත්තොත් මෙහෙමයි "ඔන්න මම ඉතාම තද බෑවුම සහිත කන්දක උඩට යන පාරක මගේ කාර් එක වේගයෙන් ඉහලට පදවනව. පාර එන්න එන පටු වෙනව. කාරෙක ඉතාම අමාරුවෙන් යනව. හැබැයි එක පාරටම මට දැනෙනව මම කාරෙකක නෙමෙයි ඉන්නේ වීල්බැරෝවක් ඇදගෙන යන්නෙ කියල. පස්සෙ බැලුවහම වීල්බැරෝව ඇතුලෙ මැරිල කුනුවෙලා මැස්සො වහන මොකෙක්දෝ අමුතු සතෙක්ගෙ මල කුනකුත් තියෙනව. අර ලස්සන හීනෙ ඉවරයි. මේ මොන විකාරයක්ද කියල මම හීනෙ ඕෆ් කරල අනෙක් පැත්ත හැරිල නිදාගන්නව. (ඔව් මට හීන ඕෆ් කරන්න පුලුවන්)

    අර හීනෙන් පේන තියරි ගැන මට කියන්න තියෙන්නෙ නාලිනී කිව්ව එකට වඩා ඉතාම වෙනස් දෙයක්. සමහර විට මට හීනෙන් වැටහෙනව ඉතාම ගැඹුරු දේවල්. "සිරා තියරියක් නේද මම මේ හීනෙන් හොයාගත්තෙ!" කියල හිතල ඇහැරිලා ඒ තියරිය කොලේක සටහන් කරන්න හදනකොට තමයි වැටහෙන්නේ මොන පිස්සු විකාරයකටද මම සිරා තියරියක් හොයාගත්ත කියල හිතාගත්තෙ කියල.

    හීන වල මට වෙන ටිකක් අප්සෙට් වැඩක් තමයි වැරදි මතකයන් (false memories) ඇතිවීම්. ඒ කියන්නෙ මට හීනයක් ඇතුලෙ පේනව මට හැබෑ ජීවිත්යේ ඇතටම සිදුවුන දෙයක් ගැන තව දිගුවක්. (extenstion to a real life event) අර දිගුවට තේරුමක් තියෙන්නෙ මට සැබෑ ජිවිතයෙ අර ඇත්තට සිදුවූ සිද්ධිය නිසයි. හීනෙ ඇතුලදි මම දන්නව මේක හීනයක්, නමුත් අර සැබෑ ජීවිතයෙ මතකය ඇත්ත එකක් කියල. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ඇහැරුනාට පස්සෙ මට තේරෙනව අර "සැබෑ ජීවිතයෙ මතකය" කියල හීනෙන් පෙනුන එකක් හීනයේම කොටසක් කියල. ඒ වගේම මට සැකයක් තියෙනව සමහර වෙලාවට ඇහැරුනාට පස්සෙ මට අර "බොරු මතකය" වෙන්කරල හඳුන ගන්න බැරි අවස්ථා තියෙනව කියල. එතකොට ඒක ඇත්ත මතකයක් විදිහට හිතේ තැන්පත් වෙනව. (ඒ වැඩේ නම් ටිකක් කේස් නේද?)

    ඔය "බොරු මතකය" නිස සමහරුන්ට තමන්ට ඇත්ත ජීවිතයේ සිදුවුනු සමහර සිදූවීම් මීට කලින් හීනෙන් දැක්ක කියල (false deja-vu) කියල වැරදි මතකයක් ඇතිවෙන්න පුලුවන් කියල මට හිතෙනව. ඒක මට වෙන එකේ අනික් එක. මට ඒක වෙන්නේ නැතුවට ඒක වෙන කෙනෙක් මම දන්නව. ඒක ගැන මම පස්සෙ කියන්නම්.

    ReplyDelete
  11. නියමයි අයියේ... මටත් පුළුවන් වර්චුවල් හීන බලන්න.

    හීනේ දකින ගමන් ඇත්ත ලෝකේ එහෙන සංගීත කෑලි... එලාම් වදින එව්වා එහෙම හරියට හීනේ කෑල්ලක් වගේම දැනෙනවා. සමහර හීන වලදී එලාම් සද්දේ එන තැන හොයාගෙන ගිහිනුත් තියෙනවා. අන්තිමේ සද්දේ එන තැනට කිට්ටු කරලා බැලූවම මුකුත් නෑ...

    පස්සේ ඔන්න ඈහෙනවා ඇත්ත ලෝකෙන්... ලොකු පුතා නැගිටිනවා... එලාම් එකත් වැදි වැදි තාම නිදා කියලා පාරක් දෙකක් වදිනවා..

    ReplyDelete
  12. අපොයි කො‍කා.... තව මරුම බ්ලොග් එකක්... මේ සේරම මට මිස් වෙලා තිබ්බෙ..

    මමත් දවසක් හීනෙං කෙටිකතාවක් ලිව්වා. 'බලු කුක්කන්ගේ ප්‍රදීපාගාරය' කියලා. හොඳම ප්‍රමිතියට ලියවුනා. දැං ඒකෙ ප්ලොට්එක නං මතක නෑ. හැබැයි නැගිට්ට ගමන් කොල කෑල්ලක කුරුටුගාපු නිසා නම මතකයි.

    ඔයාල මන්දා. මමනං දෙවියෙක් වගේ උඩින් පාවෙලා ගිහිල්ලත් තියෙනවා. පස්සෙ දොස්තර කෙනෙක් නං කිව්වා ප්‍රෙෂර් අවුල් වලට එහෙම පේනවලු. ඉරිසියාවනෙ.

    ReplyDelete
  13. හීන තෝරන කෙනෙකුට මේවා මාර කම්ප්ලේක්ස් ඇති කියලා කිව්වට මේවා කඩලා එක ෆෝමැට් එකකට දගන්න ක්‍රමයක් ඒගොල්ලන්ගේ තියෙනවා මගේ හිතේ... විශේෂයෙන් ඔය කන්දක් නගින හීනේ එහෙම බේසික් එකක් මම දන්න විදියට...

    ටූ රොඩ්නිස් කියන ව්හිළු වැඩසටහනෙ ගිය කතාවක් ලියලා යන්නම් මතක් වුණ නිසා...

    රොඩ්නි උදෙ රැකියාවට යන්න පිටත් වෙද්දී වයිෆ් කියනවා, "මාර වැඩේනේ අනේ මම ඊයේ රෑ හීනයක් දැක්කානේ ඔයා හවස ගෙදර එද්දි මට රත්තරන් මාලයක් අරගෙන එනවා... මොකද්ද දන්නේ නෑ ඒකේ තේරුම නේද?"

    "ඒකේ තේරුම ඔයාට අද හවස හරියටම දැනගන්න පුළුවන්" කියලා අමුතු හිනාවක් දාලා රොඩ්නි වැඩට යනවා...

    හවස රොඩ්නි ගෙදර ආවම වයිෆ් දුවගෙන එන්නේ රත්තරන් මාලේ ගන්න... රොඩ්නි දික්කරන්නේ "සිහින ඵලාඵල" කියලා ගහපු පොතක්...

    ReplyDelete
  14. Oh, please, please tell us more about that forest near Kalutara and how to get there... I would also like to find natural places for priritual activities. Vasana would also like to know about such places.

    ReplyDelete
  15. මං අද රෑට දෙන්නම එක්ක යන්නම්.

    මගේ own delusional universe එක ඇතුලේ ඒක සුළු දෙයක්.

    :)

    ReplyDelete
  16. එක්කෙනෙක් මෙහෙම කියනවා..
    "අවාසනාවකට ඔවැනි දේවල් කතා කරන්නට තරමට හිතවත් වෙන බොහෝ දෙනෙක් වැඩිය සිහින නොදකින අය. (ටිකක් කතා කරලා බැලුවහම, අපි විතර නොනිදියන අය. :D )"

    ඇත්ත එහෙම නිදාගන්න පින් නොකරපු උනුත් ඉන්නවනේ..අපි නොදකින හීන අහං ඉන්නවත් ලැබෙන එක මොන තරම්ද නේද..?"

    නින්ද කියන දේ පහුගිය කාලයක් පුරාවට දවසට පැය තුනත් හතරත් අතර කායකට සීමා වෙලා තිබුන හින්දා හීන ගැන කතා කරන්නවත් ඕන නැහැ..ඒත් මොන හේතුවක් හින්දා හරි මේ දවස්වලනං ටිකක් විතර නින්ද යනවා..ඒත් හීනනං තවමත් නැත...

    ඇත්තටම මම හීන ඉතාමත් අඩුවෙන් දකින කෙනෙක්... සමහර වෙලාවට හීන දකින එකත් හරි භයානකයි..මොකද මං හීනයක් දැක්කට පස්සේ පහුවදාට සාමාන්‍යයෙන් ඇඟ හිරි වැටෙන ආරංචියක් මාව හොයාගෙන එනවා... ඒ හින්දා හීනයක් දැක්කා කියලා මට උදේට මතක් උන දවසට මං එදා දවස ඉක්මනට ගෙවිලා පලයං කියලා හිත හිත ඉන්නේ..අර නරක ආරංචිය එන්න කලින් දවස ඉවර කර ගන්න ඕන හින්දා..ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ..වැඩි වෙලාවක් යන්න කලින්ම ආරංචිය එනවා...

    දැකපු හීන අතරේ කිහිපයක්ම තියෙනවා අමතක නොවන ඒවායින් මං ආසම සහ ඇත්තටම සැබෑ වේවි කියලා බලාගෙන ඉන්න එක තමා මං අහසින් ගිය එක... ඒක හරියට අර ජෙට් එකක ගමන් මාර්ගය වගේ..මං ගියේ අපේ ගමේ තියෙන කන්දේ ගලේ ඉඳන් සරල රේඛීය මාර්ගයක පොළවේ සිට අඩිඅසූවක් සීයයක් පමණ උඩින්...මං අත් දෙක දෙපැත්තට විහිදගෙන හිටියා...සුළු ශබ්දයක් නැගෙන හින්දා මං බලන කොට ඇත්තටම මං යන්නේ යන්ත්‍රයක ආධාරයෙන්..ඒත් ඒක මගේ ඇඟටම බද්ද වෙලා වගේ තිබුනේ... ඒකෙන් කලේ මගේ ඇගේ බර අඩු කරවන එක කියලා මං ඒ හීනේ දැකපු පුංචිම කාලෙත් අවබෝධ කරගෙන හිටියා..එතකොට මට වයස අවුරුදු අටක් දහයක් විතර ඇති...ආතර් සී ක්ලාක් මහත්මයාගේ පොත් කියවන්න කලින් කියන එකත් මතකයි..කොහොම උනත් පසුකාලීනවත්..හරියටම කිව්වොත් මිනිස්සුන්ට හිනාවෙන්න කාරණා සපයන්න ඒ හැටිම උවමනාවක් නැති හින්දා නොකිව්වට අදටත් මං ඒ ගැන කල්පනා කරනවා..ඒත් විද්‍යාව පැත්තෙන් නෙවෙයි... මානසික ඒකාග්‍රතාවය හරහා ඇගේ ඇති කොටස්වල බර අඩු කරවීමක් සැහැල්ලුවක් ඇති කරවීමක් වැනි දෙයක් ගැන...පංච මහා භුතයින්ගෙන් හැදුන කොටස්වල අයිතිය ලිහිල් කිරීමක් ගැන.. ඒක ගැන මට තියෙන අදහස මෙහෙම වචන ටිකකින් කියන්න ඇත්තටම අමාරුයි...

    හැබැයි අවසානයේදී කියන්නම ඕන දේ තමා..නින්දෙන් හීන නොදකින මං අවදියෙන් හීන දකින්න..එහෙම නැත්තං චිත්තරූප මවාගෙන ඒ අතරේ ජීවත් වෙන්නට නම් සමතෙක්..ඒක තමා මගේ ජීවිතේ හැමදාමත් තිබුන පුරුද්ද..මං පොඩි කාලේ ඇගිල්ලෙන් අහසේ ඉලක්කං ඇදලා ඒවා එකතු කරනවා අඩුකරනවා වැඩි කරනවා..තාත්තා මට බනිනවා ලොකු එකෝ උඹට පිස්සුද අහසේ ඉරි අදින්නේ කියලා..ඒත් මං එයාට ගණන් හදලා උත්තර දෙනකොට එයා ටිකක් තේරුම් ගත්තා මට ඇත්තටම ඒ අකුරු පේනවා කියන එක..සමහර විට මට අංක හයක විතර සංඛ්‍යා පේලි දෙකක් හෝ තුනක් වගේ ප්‍රමාණයක් මනසේ ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාවක් කියලත් හිතන්න පුළුවන්... ඒත් මංනේ දන්නේ මට ඒ ඉලක්කං පේනවා කියලා තත්පර දහයක් විතර යනකල්..‍.

    ආ හීන ගැන කතාව ගියා කැලේ...

    ReplyDelete
  17. මාරයා ඔය කරලා තියෙන එක කේබල් ගලයිඩින් වගේමයි. මට නම් හැබෑ ජීවිතේ ඒ ආසාවන් නැත්තේ ගුරුත්වයත් එක්ක කරන "සෙල්ලම්" වලට මං ආසා නැති නිසා. මගේ ඔලුව කැරකෙන්න ගන්නවා එතකොට.

    ඉතින් මාරයෝ පියාඹන හමුදාවේ නේද උන්නේ. ඒත් බැරි උනාද පියාඹන්න?

    මගේ "සිහින අසනීපය" දැන් අසාධ්‍යයි. මේක නිකම් සැට් ටීවී වගේ. ඇස්දෙක පියාගෙන විනාඩි පහක් යනකොට චැනල් එකට සෙට් වෙනවා. ඒත් දැන් මතක හිටින තරම අඩුයි. ඒ මොකද පැය හයක අටක නින්දක් ලැබෙන්නේ එහෙමත් දවසක නිසා. මේ දවස්වල කන්තකයට තණකොළ කපනවා එකයි.

    අවුල තියෙන්නේ ඔෆිස් ඒකෙ මීටිං වල නිදා ගන්න කොටයි. එව්වයේ නිදියන ඒකමත මහා ප්‍රශ්නයක්, ඒත් මගේ ඇස්වල ආබාධයක් නිසා මට [වහාම කන්නාඩි ගන්න වෙන අතර] ඇස්දෙක පියවෙනවා. හැබැයි අහගෙන ඉන්නේ. ඒ අතරේ අඩ සිහියෙන් ප්‍රසන්ටේෂන් එකේ කතන්දර මැවෙන්න ගන්නවා. බෝඩ් එකේ තියෙන පෙට්ටි ඩයග්රාම් වල එවුන්ට පන ඇවිත් නොයෙක් මගුල් නටනවා.

    මගේ සිහින හා ජීවිතය අතර සම්බන්ධයක් නැහැ. ඒවා මේ ලෝකේ විඳිය නොහැකි තරම් එහා දේවල්.

    මට වෛද්‍ය උපදෙස් පතන්න වේවිද? :)

    ReplyDelete
  18. මල විකාර කියන්නේ මෙන්න මේවට..මං මේ පාවෙන එකක් ගැන හිත හිත ඉන්නකොට මෙන්න මේ දැන් හම්බ උනා නියම ලිපියක්...

    දැන් ඔන්න මට තව ටිකක් හීනය මවාගෙන බලන්න අයිතියක් තියෙනවා...

    http://sinhalabuddhist.com/2011/12/secret-of-the-coral-castle/

    ReplyDelete
  19. [[http://sinhalabuddhist.com/2011/12/secret-of-the-coral-castle/ ]]

    ලොකුවට තර්ක කරන්න තරම් සාධක නැහැ. ඒත් සාමාන්‍ය පෙළ විද්‍යා පොතේ තිබ්බ දැනුමින්, එනම් ලීවරය ආනත තලය, චක්‍රය හා අක්ෂ දණ්ඩ, කප්පි කියන දේවලින් පමණක් මේ ඔක්කොම කරන්න පුළුවන්. මේ කියන සයිට් එකේමත් කප්පි ආධාරයෙන් එහෙම කරන පින්තුරයක් දාලා තියෙනවා. කොහොම වුනත් මේ පොසිබිලිටියක් පමණයි. මා කිසිත් නොදන්නා දෙයක් ගැන පැහැදිලි කිරීමක් දෙන්න තරම් මට සදාචාරාත්මක අයිතියක් නැහැනේ.

    [[පියාඹන්න]]

    හිච් හයිකර්ස් ගයිඩ් ටු ගැලැක්සි කියන කොමික් විද්‍යා ප්‍රබන්ධ පොතේ කියන හැටියට මිනිසාට පියාඹන්න පුළුවන්. එහි රහස ඔහුගේ මොලය තුල තියෙනවා. එහෙත් පියාඹන හැකියාව සිත තුල ඇති බය හැගීම නිසා ක්‍රියාත්මක වන්නේ නැහැ. කෙනෙකුට හැකිනම් මහා උඩකින් ආරක්ෂාවක් නැතිව පහලට පැනලා බිමට වැටෙද්දී බය නැතිව පියාඹන්න ට්‍රයි කරන්න ඔහුට පියාඹන්න පුළුවන්. හැබැයි බය හිතුනොත් හැකියාව නැති වෙනවා.

    ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම් හොඳේ.

    ReplyDelete
  20. බොරැල්ලේ "යට බිම් හරස් මග" 2011 දීත් තිබුණාද?
    මං මුලින්ම ගියේ 2015 දෙසැම්බර් අග දී!

    ReplyDelete
    Replies
    1. දන්නා කාලෙක පටන් තිබ්බා. මං හිතන්නේ 90 දශකයේ වැඩක්

      Delete